“මේ පුහුණුව යුද හමුදා කඳවුරුවල තිබෙන නිසා අපි හුඟක් බයෙන් ආවේ. ඒත් දැන් අපිට හිතෙන්නේ මේ පුහුණුව අපිට ලැබුණු ලොකු භාග්‍යයක් කියලා.” අපේ අම්මලා තාත්තලා පවුලේ අය මේ ගැන බයෙන් හිටියේ. දැන් අපි ඇවිල්ලා දවසෙන් ම අපි ඒ අයගේ බිය නැති කළා. මේ මගින් අපිට දුකක් නොව සතුටක් කියලා අපි ඒ අයට දැන්වූවා. මේ පුහුණුව රටට ජනතාවට වාසි දායි මෙතෙක් මෙරට නොවූ විරූ නව රාජ්‍ය සේවක පරම්පරාවක් බිහි කරන අලුත්ම විදියේ සංවිධානාත්මක පුහුණුවක්.”
මේ බව සතුටින් පැවසුවේ පනාගොඩ යුද හමුදා කඳවුරේ දී අපට හමුවූ රාජ්‍ය අංශය සඳහා තෝරා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ නායකත්ව පුහුණු වැඩමුළුවට එක්වූ යුවතියන් රැසකි.
ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයට සමගාමීව රාජ්‍ය අංශයට උපාධිධාරීන් 50000 ක් බඳවා ගෙන ඇත. ඒ අය සඳහා ජනාධිපති තුමන්ගේ උපදෙස් අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය ඇතිව යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන නව ‘නායකත්ව අභිප්‍රේරණ’ පුහුණු වැඩසටහන දිවයින පුරා ආරක්ෂක සේනා මූලස්ථාන රෙජිමේන්තු මූලස්ථාන හා පුහුණු පාසල් ඇතුළු ස්ථාන 51 කදී දැන් ආරම්භ වී සාර්ථකව පවත්වාගෙන යයි.
නායකත්ව පුහුණුවට අදාළ ක්‍රියාකාරකමක යෙදෙමින්
|
මෙම උපාධිධාරී සම්පූර්ණ පුහුණු වැඩසටහන සඳහා ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැනි ආයතන ද පූර්ණ සහාය දක්වයි.
වත්මන් රජයේ උපාධිධාරීන් 50000 කට රැකියා ලබාදෙන වැඩපිළිවෙළ මෙහෙයවන රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසන්නේ මේ අලුත් උපාධිධාරි රැකියාලාභීන් සඳහා මෙරට නොවූ විරූ අලුත් නේවාසික පුහුණු වැඩසටහන් 5 ක් දින 105 ක් තුළ පැවැත්වෙන බවයි.
“මේ හැම පුහුණු වැඩසටහනකට දින 21 ක් පැවැත්වෙනවා. මුල්ම පුහුණු වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. එය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවල සහාය ඇතිව ය. ඒ අනුව තෝරාගත් 10000 බැගින් 50000 ට වට පහකදී පුහුණුව ලබාදෙනවා. මුලින් ම නායකත්වය පිළිබඳව සති 3 ක පුහුණුවක් දෙනවා.
ඉදිරියේදී ජනතා හිතකාමී රාජ්‍ය සේවකයෙක් බවට පත්වන මේ පිරිස තුළ නායකත්වය හා ආකල්ප කුසලතා වර්ධනය කරමින් සාමූහිකවත් වගකීම් සහගතවත් රාජකාරිය ඉටු කරන ආකාරය පිළිබඳ මනා පුහුණුවක් ලබාදීමට මෙම මුල් පුහුණුවේ අරමුණ බව ද රත්නසිරි මහතා පවසයි.
යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලබන මෙම වැඩසටහන මගින් පුහුණු, කාර්යක්ෂම ශ්‍රම බළකායක් ලෙස ජාතිය ගොඩනැගීම සඳහා දායකත්වය තීව්‍රර කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබයි. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන මෙම වැඩසටහන යුද හමුදා මූලස්ථානයෙහි සම්බන්ධීකරණය ඇතිව ක්‍රියාත්මක කෙරේ.
මෙම ක්‍රමවේදය මගින් ‘නායකත්වය හා සමූහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම’, ‘ව්‍යාපෘති කටයුතු සහ ක්ෂේත්‍ර අධ්‍යයනය’, ‘සහජීවනය සහ අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව’ වැනි විෂයයන් ඔස්සේ රාජ්‍ය ඵලදායිතාවයට බලපෑ හැකි දුබලතා අවම කරමින් කාර්යක්ෂම රාජ්‍ය අංශයේ සේවකයකු බිහිකිරීමට අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන සාර්ථකව නිම කරනු ලබන පුහුණු උපාධිධාරියෙකු පුහුණු කළමනාකරණ කුසලතා, රාජ්‍ය අංශයේ අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධය, උනන්දුව සහ කැපවීම, ආත්ම විශ්වාසය, නවෝත්පාදන බිහිකිරීමේ හැකියාව, නම්‍යශීලීභාවය, මනා දැක්ම වැනි ගුණාංග ප්‍රගුණ කර සමාජයේ ගෞරවයට හා පිළිගැනීමට භාජන වන කාර්යක්ෂම රාජ්‍ය අංශයේ නිලධාරියෙකු වශයෙන් සමාජගත වීම අපේක්ෂා කෙරේ.
මේ වැඩසටහන පිළිබඳව කටයුතු සොයා බැලීම පිණිස යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගියදා පනාගොඩ යුද හමුදා කඳවුර වෙත පැමිණියේය.
එහිදී ඔවුන් ඇමතූ හමුදාපතිවරයා පැවසුවේ මෙය කිසිසේත්ම හමුදා පුහුණුවක් නොවන බවයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේ පුහුණුව මගින් අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍ය තුමාට අවශ්‍යතාව වෙන්නේ මේ උපාධිධාරී අය රැකියාවක් කරන අයකු පමණක් නොවෙයි. රටටත් ඔබටත් ජනතාවටත් වැදගත් කාර්යක්ෂම රාජ්‍ය සේවකයකු හා පුරවැසියකු ලෙස මේ පුහුණුව මගින් රටට දායාද කරවීමයි.”
“මෙතන කිසිම හමුදා පුහුණුවක් නැහැ. නමුත් යම් ඉලක්කයකට යන්න යම් අරමුණක් ඉෂ්ට කරගන්න අපි අනුගමනය කළයුතු දේ පිළිබඳව අපි ප්‍රවීණ විද්වතුන් ලවා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙනවා.” ප්‍රථමාධාර, අලුත් දැනුම ලබාදීම හා කුසලතා වර්ධනය පිළිබඳ දෙසුම් මගින් නායකත්ව අභිප්‍රේරණ වැඩසටහනක් ලෙස අපි මේක පවත්වනවා.”
“ඔබේ යුතුකම වන්නේ අපේ මේ සුවිශේෂී නායකත්ව පුහුණුව හොඳින් ලබාගෙන ඒ පුහුණුවේ අත්දැකීම් හා පන්නරය මගින් ජනතාවට හා ඔබටත් වැඩදායි කාර්යක්ෂම රාජ්‍ය සේවකයෙක් ලෙස රටට සේවය කිරීමයි.
අපේ නිලධාරීන් ඔබට සියලු පහසුකම් දෙනවා යැයි ද හමුදාපතිවරයා පැවසීය.
මෙහිදී හමුදාපතිවරයා මේ පුහුණු ලාභීන්ගේ ආහාර පාන හා නවාතැන් පිළිබඳව ද පෞද්ගලිකව සොයා බැලීය.
පනාගොඩ කඳවුරේ මෙම පුහුණු වැඩසටහන බාර ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු නිලධාරීන් පවසන පරිදි මේ අය සඳහා පුහුණුව දින 21 කි.
පුහුණුවන්නන් සියලුම දෙනා නියමිත කාල සටහනක අනුව සියලුම කටයුතු කළ යුතු ය. ඒ අනුව උදේ 6 ට පිබිදී උදේ 7.30 පමණ උදේ ආහාරය ලබාගත යුතුය.
පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා ඔවුන්ට විවිධ ක්ෂේත්‍ර දේශන පිළිබඳව විවිධ දේශන පවත්වනු ලැබේ. යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් අනුව මෙහිදී විශේෂයෙන් නායකත්ව ප්‍රවර්ධනය කාල කළමනාකරණය, අභිප්‍රේරණය, ගැටුම් නිරාකරණය, ප්‍රථමාධාර, කුසලතා ප්‍රවර්ධනය, සාමූහිකව වැඩ කිරීම ආදිය පිළිබඳව රටේ ප්‍රවීණ විද්වතුන් විසින් මේ අයට දේශන පවත්වනු ලැබේ. එහිදී සාකච්ඡා හා ගැටලු විසඳීම ද සිදුෙකරේ. සවස 4.30 න් පසු ශාරීරික ක්‍රියාකාරකම් ක්‍රීඩා වැඩසටහන් යුද හමුදා කඳවුර පිළිබඳව දැනුම්වත් කිරීම් පවත්වනු ලැබේ.
පාබල හමුදාවේ කර්නල් සුජිත් කුලසේකර පවසන පරිදි පනාගොඩදී පුහුණුවන පිරිස 100 කි. රාත්‍රි 7.30 – 8.30 අතර කාලයේදී කුසලතා, නායකත්ව හා පෞරුෂත්ව ප්‍රවර්ධන ප්‍රායෝගික වැඩසටහන්වලට පිරිස එක්වී සහභාගි වෙති. රාත්‍රි 8.30 ට රාත්‍රි ආහාරය ලබාගෙන රාත්‍රි 10.00 මේ පිරිස නින්දට යාම සිදුකළ යුතු ය. මේ සියලු කටයුතු පනාගොඩ යුද හමුදා කඳවුරේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල්වරු හා නිලධාරීහු පිරිසක් මෙහෙයවති. මීට අමතරව පාබල හමුදාව මගින් තවත් 400 ක් සඳහා වෙනත් කඳවුරුවල මේ පුහුණුව ලබාදෙයි.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙම පුහුණු වැඩසටහන සාර්ථක කර ගැනීමට යුද හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විවිධ ක්ෂේත්රවල ප්රවීණතම සම්පත් දායකයන් මෙයට නිරන්තරයෙන් ම සම්බන්ධකර ගන්නා බවයි.
මෙම ප්රයත්නයේ කෙටිකාලීන ඉලක්කය වන්නේ නායකත්ව කුසලතා සහ ගති ලක්ෂණ, කණ්ඩායම් හැඟීම මත පදනම්ව රටේ සියලුම පුරවැසියන්ට උසස් තත්ත්වයේ රාජ්‍ය අංශයේ සේවාවක් සැපයිය හැකි ශක්තිමත්, ඉලක්කගත, විනයගරුක හා කාර්යක්ෂම සහ නිපුනතාවයන්වලින් පරිපූර්ණ ශ්‍රම බළකායක් බිහි කිරීමයි.
එසේම, වසර පහකට අඩු කාලයක් තුළ සපුරාගැනීමට අපේක්ෂිත දිගුකාලීන අරමුණු අතරට පිළිගත් රාජ්‍ය අංශයේ ශ්‍රම බළකායක් ලෙස සංවර්ධනය කිරීම, කාර්යක්ෂම යාන්ත්‍රණය, ආකල්ප හා ප්රවේශයන් පරිවර්තනය කිරීම, රාජ්‍ය අංශය, සමාජයේ ‘වැඩ කරන සංස්කෘතියක්’ ලෙස ප්‍රවර්ධනය කිරීම, පිළිගැනීමක් සහිත රාජ්‍ය අංශයේ සේවයක් බිහිකිරීම, අඛණ්ඩ සමාජ මෙහෙයුම් අංශ හඳුනා ගැනීම සහ ඇගයීම ආදි වර්ධනයන් අපේක්ෂා කෙරේ.
දේශන, සාකච්ඡා, එළිමහන් පුහුණු ක්‍රියාකාරකම්, සමූහ ක්‍රියාකාරකම්, අධ්‍යයන චාරිකා, ශක්‍යතා අධ්‍යයන සහ ක්ෂේත්‍ර අධ්‍යයන මගින් සිදුකරනු ලබන මෙම යුද්ධ හමුදා පුහුණු වැඩසටහන ස්වාධීන මෙන් ම අන්තර් සම්බන්ධීකරණ ක්රමෝපායන් 05 ක් යටතේ රාජ්‍ය අංශයේ ක්‍රියාශීලී දායකත්වය සහිතව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම පුහුණු වැඩසටහන මැනවින් පවත්වා ගැනීම වෙනුවෙන් උපායමාර්ගික මග පෙන්වීම් ලබාගැනීම සඳහා පුහුණු වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන මාස 05 ක කාලය පුරා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්ෂක අමාත්‍යාංශය සහ සම්බන්ධව කටයුතු කරනු ලැබේ.
පනාගොඩ යුද හමුදා නායකත්ව පුහුණුවට පැමිණි උපාධිධාරිනියන් කිහිප දෙනෙක් හමුවීමට ද අපට අවස්ථාව ලැබිණි.
මෙහිදී අපට මුලින් ම හමුවූ ගලේවෙල සිට පැමිණි හංසි නවරත්න පැවසුවේ මේ පුහුණුව ඒමට පෙර සිතුවාට වඩා හොඳ බවයි. මේ වගේ නායකත්ව වැඩමුළු අපිට විශ්ව විද්‍යාලයට යන කොටත් ලැබුණා. හැබැයි මේක නම් ඊට වඩා ඉහළම මට්ටමේ නායකත්ව පුහුණු වැඩසටහනක් බව කිවයුතුයි. රාජ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රවර්ධනය කරන හැටි කියා දෙනවා. අපි දැන් කාල සටහනක් අනුව වැඩ කරනවා. රටට වැඩදායි නායකයෙක් අප තුළින් බිහි කරන්න අවශ්‍ය පුහුණුව අපට නොඅඩුව ලබාදෙන්නට ඊට අදාළ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා” යැයි හංසි නවරත්න පැවසීය.
අත්තනගල්ලේ සිට පැමිණි සුභාණි විජේසිංහ පැවසුවේ මුලදී මේකට බියක් අකමැත්තක් තිබුණත් දැන් ඒ වෙනුවට ඇත්තේ සතුටක් බවයි.
“යුද හමුදා කඳවුරක් තුළ පුහුණුව තිබෙනවා. කීවාම පවුලේ අයත් බයවුණා. නමුත් දැන් අපි ඒ අයටත් දැන්වූවා මේක හරිම සුහද හා සහෘදශීලී නායකත්ව පුහුණුවක් පමණක් බව. ඒ අනුව දැන් ගෙවල්වල තිබෙන බිය නැතිවෙලා. අපට පුහුණුවට අමතරව ඕනෑම පෞද්ගලික ගැටලුවක් වුවත් මේ යුද හමුදා නිලධාරිනියන් ළඟට ගිහින් කියන්න පුළුවන්. මේ වැඩසටහන අපට අපේ ජීවිතයට හුඟක් ඵලදායි. මේකට සහභාගිවෙන්න ලැබීම භාග්‍යයක් කියලා මම සලකනවා” සුභානි විජේසිංහ පවසයි.
ඊළඟට අපට හමුවූයේ ගම්පහ සිට පැමිණි රෂ්මි වෛද්‍යතිලක පැවසුවේ මේ නායකත්ව පුහුණුවට එක්වුණු හැමට උපරිම පහසුකම් ලබාදීමට යුද හමුදාව කටයුතු කරන බවයි.
“සියයට 200 ක් අපට පහසුකම් තිබෙනවා. අපි පළමු වැනි කණ්ඩායම ඊළඟ කණ්ඩායමේ අයට අපි කියන්නේ බයක් නැතිව මේ පුහුණුවට එන්න කියලා” ඇය පැවැසුවාට මේ පුහුණුවට මේ රැකියාවට අපිව යොමු කළ ජනාධිපතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා යැයි ද ඇය කීවාය.
මහනුවර ප්‍රදේශයෙන් ද මේ පුහුණුවට උපාධිධාරීනියෝ පැමිණ සිටියහ. මහනුවරින් පැමිණි කාන්ති රණසිංහ පැවසුවේ මේ මනා පුහුණු වැඩසටහන මගින් කාර්යක්ෂම රාජ්‍ය සේවකයෙක් රටට ජනතාවට ලැබෙන බවයි. මුලින් නම් ටිකක් බය හිතුණා. දැන් නම් ඇත්තේ ලොකු සතුටක්. ඇය තවදුරටත් කීවාය.
මෙම නායකත්ව පුහුණු වැඩසටහනින් පසු ඊළඟ සති තුනේදී මේ පිරිසට විශ්වවිද්‍යාලවල සහාය ඇතිව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පූර්ණ සහාය ඇතිව තවත් සති 3 ක පුහුණුවක් ලබාදෙනු ලැබේ.
ඒ පිළිබඳව අපට අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසන පරිදි එහිදී කළමනාකරණ පීඨවල ආචාර්යවරුන් විසින් මේ පිරිසට කළමනාකරණය සහ කළමනාකරුවකුගේ ගුණාංග පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙහිදී කාර්යාල පරිපාලනය, පිරිස් පාලනය, සාමාන්‍ය කළමනාකරණය පිළිබඳව සති 3 ක පුහුණුවක් ලබාදෙයි.
මේ පුහුණු වාර දෙක සාර්ථකව අවසන් වීමෙන් පසු ඊළඟට මේ පුහුණුලාභීන් රජයේ කාර්යාලවල පුහුණුවට අනුයුක්ත කරනු ලැබේ. විශේෂයෙන් මෙහිදී ඔවුන් යොමු කරනු ලබන්නේ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතනවලටයි.” මෙහිදී විශේෂයෙන් අපේ උපදෙස් ඇතිව ලිපිගොනු පවත්වාගෙන යාම, සාමාන්‍ය කාර්යාල කටයුතු, මුදල් රෙගුලාසි විනය පවත්වාගෙන යාම වැනි කාරණා පිළිබඳව අවබෝධයක් ලබාදෙනවා. ඊට පසු මේ අයට හැකි අයුරින් පෞද්ගලික අංශයේ පුහුණුවක් ද ලබාදීමට ද අපි අපේක්ෂා කරනවා” යැයි ද ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.
ඊළඟට මේ උපාධිධාරීහු කළ යුත්තේ ඒ රට සංවර්ධනය කරන ව්‍යාපෘතිවලින් එකක් තෝරාගෙන ඒ ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකර එහි ඇති ගැටලු ද ඊට සුදුසු විසඳුම් දෙන ආකාරය පිළිබඳව පුළුල් ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමයි.
මෙම පුහුණුව අවසානයේදී සාර්ථක ලෙස පුහුණුව අවසන් කරන උපාධිධාරීන් රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කෙරේ. ඊට පසු සුදුසු උපාධිධාරීන් ස්ථිර රාජ්‍ය සේවයට අනුයුක්ත කරගැනීමට නියමිත බවත් ඒ අයට රාජ්‍ය සේවයේ විශ්‍රාමික වැටුප ආදී සියලු වරප්‍රසාද ලැබෙන බවත් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.
ඒ අනුව මේ නායකත්ව පුහුණුව වනාහි වෙනදාට වඩා රටට ජනතාවට හිතවත් රාජ්‍ය සේවකයෙක් බිහි කරන කාලීන වැඩපිළිවෙළක් බව කිවයුතුය.
සේයාරූ - සමන්ත වීරසිරි