දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇගවීම් | සිළුමිණ

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇගවීම්

මධ්‍යම, සබරගමුව පළාත් අතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර ඉතා තද වැසි තව දුරට ත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශ රැසක් හරහා හමා යන සුළං තත්ත්වය ද තව දුරට ත් ඉහළ අගයක පවතින අතර සුළං වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර කළු ගඟේ රත්නපුර ප්‍රදේශයෙන් පැවති සුළු ගංවතුර තත්ත්වය පහව ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, සුළු ගංවතුර අවදානම හේතුවෙන් රත්නපුර, ඇලපාත හා පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ජනතාව ඊයේ පස්වරුවේ ඉවත් කළ බව ය.

පවතින වර්ෂාවත් සමග රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම් අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ, ජනතාව මේ පිළිබදව අවධානය යොමු කරන ලෙස ය.

මේ අතර මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, හේතුවෙන් තව දුරට ත් මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙන්නේය.

මේ අතර දැඩි සුළගින් ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම් වාර්තා වන බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ විදුලිය බිඳ වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ය.

 

Comments