මල් කඩේ අහිංසකී පොත් කඩේ නපුරි වුණා | සිළුමිණ

මල් කඩේ අහිංසකී පොත් කඩේ නපුරි වුණා

- සැබෑ ජීවිතේට ගොඩක්ම සමීප චරිතෙ ගුවනි
- ආවට ගියාට ආදරය කරන්න මං කැමැති නෑ
- ඇත්ත ජීවිතේ මං ඒ වගේ නපුරු කෙනෙක් නෙවෙයි

රෝස සුදුයි ආදරියේ මේ දිනවල දෙරණ නාළිකාව ඔස්සේ වැඩිම ප්‍රේක්ෂක මනාපයක් දිනාගනිමින් විකාශය වන ටෙලි නිර්මාණයකි. එහි නෙතුෂිගේ චරිතය කාගේත් අවධානයට ලක්වන්නේ සුන්දර රුවට නොගැළපෙන නපුරුකමක් හිමි තරුණියක නිසාය. සංගීතේ රන්දිමා සහ හිතුවක්කාරහි ගුවනි ලෙසින් අහිංසකව ඔබ ඉදිරියට පැමිණි අවිශ්කා උමයංගනී මේ දිනවල උද්දච්ච නපුරු චරිතයකින් ඔබ අබියස පෙනී සිටින්නීය. රංගනයේ විවිධ පැතිකඩ නිරූපණයෙහි දස්කම් පාන ඇය සමඟ කළ කතාබහකි මේ. 

අහිංසකාවියම වෙලා හිටපු අවිශ්කා එකපාරටම නපුරු වුණේ කොහොමද?

රෝස සුදුයි ආදරියේ තුෂාර තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයක්. තිර රචනය යෞවන සමීන්ද්‍ර රත්නායකගේ. හරිම ලස්සන කතාවක්. නෙතුෂි කියන ප්‍රධාන චරිතය තමයි මගේ භූමිකාව. සල්ලිකාර, උද්දච්ච, නපුරු, හැමෝම කන්ට්‍රෝල් කරන් ඉන්න උත්සාහ කරන චරිතයක්. අහිංසකයි කියන රාමුවේම හිටිය නිසා මටත් ඕන කළා වෙනසක් කරන්න. මේ පාර ලැබුණු නපුරු චරිතය මං කැමැත්තෙන්ම බාරගත්තා. තුෂාර සර් වගේම ලක්සිරි සර් විශේෂයෙන්ම මතක් කරන්න ඕන.

කොහොමද නෙතුෂිට ලැබෙන ප්‍රතිචාර?

තාම නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියට කොහොම වෙයිද දන්නෑ. අහිංසක චරිතවල ඉඳලා එකපාරම නපුරු වුණාම ප්‍රේක්ෂකයාට ගැටලුවක් වෙන්න ඇති. තාමත් ඔවුන්ගේ හිතේ ඉන්නෙ සංගීතේ මල් කඩේ මිස්. හිතුවක්කාර එකේ ගුවනි. මේ ළඟදිත් ෆේස්බුක් කමෙන්ට්වල තිබුණා මල් කඩේ අහිංසකාවිය පොත් කඩේ නපුරිය වුණේ කොහොමද කියලා. ගොඩක් අය අහන්නෙ ඔච්චරම නපුරුද? ඇත්ත ජීවිතෙත් ඔහොමද කියලා. මං ඒ හැමෝටම කියන්නෙ ඒක තිර පිටපතට අනුව රංගනයක් විතරයි. ඇත්ත ජීවිතේ මං ඒ වගේ නපුරු කෙනෙක් නෙවෙයි. පාඩුවේ ඉන්න කෙනෙක්.

නෙතුෂි, අවිශ්කාට අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම අභියෝගයක් වුණා. මුලදි මුලදි මට නපුරු වෙන්න, බණින්න බැරි වුණා. එතැනදි තුෂාර අයියා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියල දුන්න. චරිතයට සාධාරණයක් කරන්න ඕන නිසා මං මට පුළුවන් උපරිමයෙන් කළා. හිනා යන්න ආවත් හිනාව කාගෙන කොහොමහරි කළා. තරහ, කේන්තිය මවාගන්න ලොකු ශක්තියක් දෙන්න වුණා. සාමාන්‍ය විදිහට හිනාවෙවී ඉඳලා එකපාරම සෙට් එකට ඇවිත් නපුරුකම ගන්න එක ටිකක් අමාරුයි. ලැබෙන ප්‍රතිචාර එක්ක බලද්දි වැඩේ සාර්ථකයි කියල හිතෙනවා. මං නපුරු වෙලා තියෙන නිසානෙ ප්‍රේක්ෂකයන්ට මගෙ වෙනස තේරිලා තියෙන්නෙ.

කණ්ඩායමෙන් ලැබුණු සහාය ගැන සඳහන් කළොත්?

ඒ ගැන නම් කියන්නම ඕන. කෲ එක නම් ගොඩක් හොඳයි. සහයෝගයෙන් සතුටින් වැඩ කළා. කීප දෙනෙක් ඇරුණම අනිත් ඔක්කොම වගේ හිටියෙ නවකයො. චරිතෙ සාර්ථක කරගන්න රන්දිකගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා.

අවිශ්කා කලා ක්ෂේත්‍රයට පැමිණි ගමන සිහි කළොත්?

2018 දෙරණ අවුරුදු කුමරිය වීම වෙන්න ඇති කලාවට පිවිසෙන්න වෙස්වලාගත් ආශීර්වාදයක් වෙන්න ඇත්තෙ. 2019 අග වගේ තමයි සංගීතේ මල් කඩේ මිස්ගෙ චරිතයට ආරාධනා ලැබුණේ. ඒක ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිය ප්‍රධාන චරිතයට සමගාමීව ගිය චරිතයක්. ඊට පස්සෙ දෙවැනි ඉනිමෙ කෙටි කාලීන චරිතයක් කළා. හිතුවක්කාර ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණෙ ඊට පස්සේ. මගේ සැබෑ ජීවිතේට ගොඩක්ම සමීප චරිතෙ ගුවනි. රෝස සුදුයි ආදරියේ මං සම්බන්ධ වුණු හතරවැනි නිර්මාණය. තව දෙකකට ආරාධනා ලැබිල තියෙනවා. ‍ 

අවිශ්කා චරිත තෝරා ගැනීමක් කරනවද?

ඇත්තෙන්ම මම ඒ ගැන ටිකක් හිතනවා. චරිතයක ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවා. ගොඩක්ම ඕපන් ඇඟ පේන ඇඳුම් අඳින්න කැමැත්තක් නෑ. කැරැක්ටර් එකට සාධාරණයක් කරන්න පුළුවන් කියල හිතෙන මට ගැළපෙන එකක් නම් භාර ගන්නවා. පෞද්ගලික කටයුත්තක් නිසා ටික කාලයක් මං ක්ෂේත්‍රයෙන් ඈත්වෙලත් හිටියා. දැන් නැවතත් දිගටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නිර්මාණ එක්ක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.

අවිශ්කා පුංචි තිරයට විතරක් සීමා වෙලාද?

සිනමාවටත් ආරාධනා ලැබුණා. හේතු කාරණා කිහිපයක් නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. මගේ චරිතයට හානියක් නොවන හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා.

ආදරය ගැන අවිශ්කාට මොනවගේ අත්දැකීමක් ද තියෙන්නෙ?

ආදරවන්තියක් වෙන්න තාම මට සුදුසු කෙනා මුණගැහුණෙ නෑ. ආවට ගියාට ආදරය කරන්න මං කැමැති නෑ. මගේ ජීවිතේ මං ලේයර්ස් දාගෙන ඉන්න කෙනෙක්. මට ගැළපෙන කෙනෙක් නම් විතරයි මං ළංකර ගන්නෙ. එහෙම කෙනෙක් තාම හමුවුණේ නැති නිසා මං තාම සිංගල්. හමුවුණොත් ඒ ගැනත් හිතනවා.

Comments