මට ප්‍රතිචාර ලැබෙන්නෙ සැපේ ඉන්න කොල්ලන්ගෙන් | සිළුමිණ

මට ප්‍රතිචාර ලැබෙන්නෙ සැපේ ඉන්න කොල්ලන්ගෙන්

අද වන විට යූ ටියුබ් අවකාශයේ සිංහල ගීත ඉතාම ජනප්‍රියත්වයකට පත්වෙලා. නව රැල්ලේ සෑදුනු නව ආරේ ගීත ශ්‍රාවක හා ප්‍රේක්ෂක රසාස්වාදය උත්සන්න කරලා. මේ ගීත බොහොමයක කියවෙන නමක් තියනවා. ඒ තමයි කයිසර් කයිස්. කයිසර්ගේ තියන අපූරු සිංහල රැප් ශෛලිය නිසාම බොහෝමයක් ගීත ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා.

කයිසර් කයිස් ඒක හරි අපූරු නමක්. උප්පැන්නේ තියෙන්නෙත් එහෙමද?

කයිසර් කයිස් කියන්නේ මම හදාගත්ත නමක්. මගේ අම්මා තාත්තා දාපු නම තමයි අමිල රුවන්ගේ කියන එක.

අම්මා තාත්තා දාපු නම වෙනස් කරන්න හිතුණේ ඇයි?

මම මේ ෆීල්ඩ් එකට එනකොට සෙන්ටිග්‍රේඩ් එකේ අමිල හිටියා. මම හිතුවා අමිලලා දෙන්නෙක් ඉන්න කොට පැටලෙයි කියලා. ඒ නිසා "කේසර" කියන නම දා ගත්තා. කේසර කියන නම පස්සේ කාලෙදී කයිසර් කයිස් වුණා.

ඔබ කොහොමද සංගීත ක්ෂේත්‍රයට එන්නේ?

මම පොඩි කාලේ ඉඳන් මියුසික් වලට ආසයි. 2004දී අපේ රටේ “රැප්“ එක ඉදිරියට ආවා. ඒ කාලේ තමයි මමත් රැප් කරන්න පටන් ගත්තේ. නුවර තිබුණ රැප් කම්පිටිෂන් වලට සහභාගී වෙලා, 2009දී විතර මට කොළඹ හිටියා නොටී කෝස් කියලා කෲ එකක්. එයාලගෙන් ඉරාජ්ව හමුවුණා. ඉරාජ් එක්ක සින්දු ගොඩක් කරලා දැන් ඒ ගමන දිගටම කරගෙන යනවා.

ඔබ ගායනා කරන රැප්වල රචකයා කවුද ?

ඇත්තටම මේක ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක්. රැපගේ වචන ටික කියන එක්කෙනාම තමයි ලියන්නේ. සමහර අය මං ළඟට ඇවිත් කියනවා, “මට රැප් කියන්න පුළුවන්, නමුත් ලියන්න බෑ කියලා“ ඉතිං මම කියනවා “එහෙමනම් මල්ලී රැප් කරන එක බොරු වැඩක්“ කියලා. තමන් කියන රැප් එක ලිවීමේ හැකියාව අනිවාර්යයෙන්ම රැපට කෙනෙක්ට තියෙන්නම ඕනේ සුදුසුකමක්.

මුලින්ම ලිව්ව රැප් එක මතකද?

මම පටන් ගත්තේ ඉංග්‍රීසියෙන් රැප් කරලා. ඒවා ගැන ලොකු මතක නෑ. සිංහලෙන් ඉස්සෙල්ලාම සින්දුවකට රැප් එකක් ලිව්වේ 2006දී. රාං කිරිල්ලී කියන සින්දුවටකට. මුල් ටික මතකයි. "මගේ හෘර්දේ ගිනි ගන්නවා වගෙයි, ඇඟ පුරාම ගිනි දැල් නැඟෙනවා වගෙයි"

සින්දුවකට රැප් එකක් ලියද්දී කවුද ඒ මුලීක අදහස දෙන්නේ ?

අපි උදාහරණයකට ගමු දිනේෂ්ගේ සින්දුවක්. මම මුලින්ම දිනේෂ්ගෙන් පොඩි අයිඩියා එකක් ගන්නවා. ඊට පස්සේ ඒ සින්දුවේ පද රචනය ලියපු මනුරංග අයියාගෙන් අදහස් ගන්නවා. ඒ ඔක්කොම එකතු කරලා තමයි මම රැප් එක ලියන්නේ.

කොහොමද ඔය වගේ වචන හරඹ පුරුදු පුහුණු වුණේ?

මම හැමතිස්සෙම ලියනවා. පොඩි කාලේ ස්කවුටින් කරන කොට එවායේ තියෙන ක්‍රියාකාරකම් එක්ක අපේ සබකෝලය නැති වෙලා ගියා. ඊට පස්සේ අපි කතාවටත් දක්ෂ වෙනවා. විහිළුවට බර වෙනවා. ඒ හැමදෙයක්ම එක්ක ජිවිතයේ අත්දැකීම් එකතු කරගෙන තමයි මේවා ලියන්න පුරුදු වුණේ. අනික මගේ අම්මා සහ තාත්තා දෙන්නම රැකියාවන් කළ අය. ඒ දෙන්නා හවසට ගෙදර එනකම් මමයි අයියයි විතරයි ගෙදර. එයා පරිගණකය පැත්තට බර වුණා. මම ලියන්නයි, චිත්‍ර අඳින්නයි පුරුදු වුණා. දැන් නම් යාළුවෝ එක්ක කතා කරන කොට කියවෙන වචන එක්ක ඔය රයිම් වෙන වචන මම මතක තියා ගන්නවා. මගේ අලුත්ම රැප් එකේ තියෙන “නිකං බෙදන කොකෝ, අපි කෑවම මොකෝ“ ඒ විදිහට ආව වචන සෙට් එකක්. ඉතිං මං හිතනවා මගේ යාළුවෝ සෙට් එක වගේම සෙට් එකත් තමයි මේ සින්දු අහන අයටත් ඉන්නේ. ඉතිං මම ඒ ක්‍රවුඩ් එකට සෙට් වෙන විදිහට ලියනවා. මට දැනෙනවා මම ලියන දේවල් යූත් එකට දැනෙන නිසා තමයි එයාලා වැඩි දෙනෙක් මගේ රැප්වලට කැමැති.

කයිසර් කියන්නේ සිංහල රැප් සංස්කෘතියේ වෙනසක් කළ කෙනෙක් කියලා කිවුවොත්?

මට එහෙම කියන්න බෑ. සිංහල රැප් කරන තව ආර්ටිස්ලා හුඟක් ඉන්නවා. නමුත් සිංහල රැප් ටීවී එකට රේඩියෝ එකට, පිටරට ෂෝ වලට ගෙනියන්න මම හිතනවා මගෙනුත් දායකත්වයක් ලැබුණා කියලා.

කයිසර් කාවද අනුගමනය කරන්නේ.

මගේ රෝල් මොඩල් එක කවුද කියලා ඇහුවොත් මම කියන නම තමයි එමිනම්.

ඔබේ පවුලේ විස්තර කොහොමද?

මගේ තාත්තා රජයේ සේවකයෙක්. අම්මත් පෞද්ගලික අංශයේ සේවකයෙක්. දෙන්නාම සෞඛ්‍ය අංශයේ තමයි සේවය කළේ. දැන් විශ්‍රාම සුවෙන් ඉන්නවා. අයියා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. අම්මයි තාත්තයි නුවර ඉන්නේ. අයියයි මමයි කොළඹට වෙලා වැඩ කරනවා.

රසිකාවියන්ගේ ආදරය එහෙම ලැබෙනවා ඇති නේද?

ෂෝ වලදී මට වඩා රසිකාවියන්නේ ප්‍රතිචාර ලැබෙන්නේ දිනේෂ්ට. මට ප්‍රතිචාර ලැබෙන්නේ සැපේ ඉන්න කොල්ලෝ සෙට් එකෙන්.

ආදරයක් එහෙම නැද්ද ළඟපාතක

මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. අපි ළඟදීම මැරි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මේ රැප් වල භාවිතා කරන වචන නිසා සමහර දෝෂාරෝපණවලට මුහුණ දීලා තියනවද?

අනිවාර්යයෙන්ම ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හැම රැපර් කෙනෙක්ම මුහුණ දෙන එකක්. මේකේ ප්‍රධානම දේ තමයි භාෂාව. ඒ හාෂා හැසුරුවීමට නීති නැහැ. නමුත් ලංකාවේ තියන සංස්කෘයත් එක්ක අපි නිතී ටිකක් හදාගෙන තමයි මේක කරන්නේ. නමුත් ඉතිං ප්‍රශ්න නැති ක්ෂේත්‍රයක් නෑනේ. මටත් ඒවා එහෙමම තියනවා.

ඔහොම ප්‍රශ්න එනකොට වැටෙනවා නේද ?

ඔව්...අනිවාර්යයෙන්ම. නමුත් මට රත්තරං වගේ යාළුවෝ ටිකක් ඉන්නවා. මට රත්තරං ප්‍රේක්ෂකයන් ඉන්නවා. රත්තරං අම්මයි තාත්තයි ඉන්නවා. ඔක්කොටම වඩා මගේ ජීවිතයේ හොඳම යාළුවා මගේ අයියා ශ්‍රීමාල් රුවන්ගේ මාත් එක්ක ඉන්නවා. මාව වැටෙන හැම තැනකදීම අල්ල ගත්ත හැමදෙනාටම බොහෝම ස්තුතියි. මම අනිවාර්යයෙන්ම හැමෝටම ආඩම්බරයක් වෙන වැඩක් කරනවාමයි.

Comments