දුව හැමදාමත් වැඩ කළේ ප්‍රශ්න එක්ක ඒත් එයා අන්තිමට දිනුවා | සිළුමිණ

දුව හැමදාමත් වැඩ කළේ ප්‍රශ්න එක්ක ඒත් එයා අන්තිමට දිනුවා

"ශලනිට අයියා කෙනෙක් වගේම නංගි කෙනෙක් ඉන්නවා, කවදාවත් මේ තුන් දෙනා කිසිම දේකට රණ්ඩු කරලා නැහැ. ඒ දෙන්නට වගේම මම අම්මා වුණාට එයා මට අම්මා වුණා. ඒ විදිහට හැදුණු දුව ආදරණීය පුද්ගලයෙක් එක්ක විවාහ වුණා. ඒ දරුවා ශලනිට හරි ආදරෙයි. එයාගේ අලුත් ජීවිතේ ලස්සනට ගොඩනඟා ගන්න එයාට ඒ විදිහට සමු දෙන්න වුණා. ගැහැනු දරුවෙක් හදන හැම මවුපියන්ම විවාහයේදී ඒ දරුවා නි‍ෙවසින් ඈත් වීම ගැන දුක් වෙනවා. අපි දුක් වුණත් ඇගේ අනාගතේ ගැන හිතලා අපිට සතුටු වෙන්න පුළුවන් .."

ශලනි විවාහ වෙන්නේ ආදර සම්බන්ධයකින් නෙමෙයි, විවාහ යෝජනාවකින්..?

මගේ දුව තනියම ජීවත් වෙනවා කියන අදහසකිනුත් හිටියා. ඒ නිසා වෙන්න ඇති අපි ගෙනා යෝජනාවලට එයා අකමැති වෙන්න ඇත්තේ. කාලයත් එක්ක තමයි මගේ යාළුවෙක් දුව ගැන ඇහුවේ. “ශලනිව විවාහ කරලා දෙන්නේ නැද්ද... එයාට කවුරු හරි ඉන්නවද? කියලා. එ් වෙනකොට නිහත පුතා කැනඩාවේ හිටියේ. අපි කිවුවා “තවම කවුරුත් නැහැ.... ගේන යෝජනා ප්‍රතික්ෂේප කරනවා” කියලා. එතකොට තමයි නිහත පුතා ගැන යෝජනාව ගෙනාවේ. එයාගේ ෆොටෝස් අපි බැලුවා. දරුවගේ වරදක් නැහැ , ඊට පස්සේ ශලනිගේ නංගි ශලනිට මේ යෝජනාව ගැන කියලා පොටෝස් පෙන්නුවා. එතකොට පොඩි දුවට කියලා තිබ්බා මගේ හිතේ ඇඳිලා තිබ්බ කෙනා මෙයා වගේ හැඩරුව තියෙන කෙනෙක්.. මගේ හීනේ හිටියේ මේ වගේ කෙනෙක් කියලා. එතකොට අපි හිතුවා දුව ඒ යෝජනාවට කැමති වෙයි කියලා. ඒ විදිහට තමයි නිහත පුතාව අවුරුදු තුනකට කලින් ශලනිට යෝජනා කළේ. ඊට පස්සේ දෙපාර්ශ්වය කතාබහ කරලා ශලනි ඒ යෝජනාව ට කැමති වුණා . ඒ අවුරුදු තුනට දෙන්නා රටවල් දෙකක හිටියත් ආදරෙන් ජීවිතේ තේරුම් අරන් ජීවත් වුණා. දැන් මට හිතෙනවා වෙන රටක ඉඳලා හරි ශලනිගේ නියම උරුමක්කාරයා එයාට ලැබුණා කියලා. එයාට ආදර සම්බන්ධතා තිබ්බා. එතැනදි අපි එයාට ආදරෙන් තේරුම් කරලා දුන්නම හරි වැරැද්ද එයා තෝරා ගත්තා. කවදාවත් හිතුමතේට වැඩ කළේ නැහැ . ඒ නිසා හොඳම දේ හරි වෙලාවට මගේ දුවට ලැබුණා.

 

දියණියගේ අතිනත ගත් ඔහු ගැන කිවුවොත් ..?

නිහත සල්ගාදු තමයි එයා. ජීවත් වෙන්නේ කැනඩාවේ. නම වගේම හරිම හොඳ දරුවෙක් , මට බෑනා කෙනෙක් නෙමෙයි පුතෙක්.

 

ඔහු දැනගෙන හිටියද ඇය නිළියක් බව..?

ඔව්. ශලනි තාරකා කියන්නේ නිළියක් කියලා එයා අහලා තිබ්බා. නමුත් දුවගේ නිර්මාණ දැකලා තිබ්බේ නැහැ . එයා ආදරේ කළේ නිළියට නෙමෙයි ශලනිට.

විවාහය විවිධ අයුරින් අවස්ථා කිහිපයකින් කරන්න සියල්ල සැලසුම් කළේ ඇයද..?

සියලුම අදහස් දුවගේ. උත්සව අවස්ථා පහක් තිබුණා. ඒ සියල්ල මාස ගණනක් පුරා මහන්සි වෙලා දුවගේ අදහස් අනුව වෙඩින් ප්ලෑනර් කෙනෙක් එක්ක එකතු වෙලා එයා කළේ. එයාට ඕන විදිහට අන්තිමට ලස්සනට විවාහ උත්සවය සිදු වුණා. එතැනදි එයාගේ යාළුවෝ හරියට උදවු කළා.

 

ශලනිගේ විවාහය පසුගිය වසරේ නේද සැලසුම් කරලා තිබුණේ..?

ඔව්. විවාහය ලෑස්ති කරද්දී ශලනිට ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න සිදු වුණා ඒවා එක්ක විවාහය කල් ගියා. නැවත විවාහය සැලසුම් කරලා කොහොම හරි පසුගියදා එය සාර්ථකව නිමා කළා. පසුගියදාත් ප්‍රශ්න ආවා. නමුත් ඒ ප්‍රශ්න ඇති කළ අය එයාලගේ ගමන යද්දී අපි අපේ ගමන නතර කළේ නැහැ,

 

මොන ප්‍රශ්න තිබුණත් ඔබේ දියණිය ශලනි ඊට ශක්තිමත්ව මුහුණ දුන් කෙනෙක් කියලා ඔබට හිතෙනවාද..?

අනිවාර්යයෙන්ම ඔව්. එයාට ආව ප්‍රශ්න එක්ක ඒ තැන වෙන කෙනෙක් හිටියා නම් ඒවා දරා ගන්නේ නැහැ. ශලනි සියල්ල දරාගෙන ඇගේ ගමන ඇය ගමන් කළා. හරිම ශක්තිමත් කෙනෙක්. ඒ ශක්තිය මගෙන් ඇයට ගිය දෙයක් කියලා මම හිතන්නේ

 

ශලනි තාරකාට සමාජයෙන් විවිධ චෝදනා එල්ල කළත් ඇයට බහුතරයක් ආදරේ කරනවා..?

සියයට අනූවක් ආදරේ කරලා කාගේ හෝ වුවමනාවක් පිරිමහ ගන්න සියයට දහයක් විතර ප්‍රශ්න ඇති කරනවා. ඒ ප්‍රශ්න ඇති කරපුවා මිසක් ඇත්ත නොවන නිසා එයාටවත් අපිටවත් බලපෑමක් වෙලා නැහැ. ඒ නිසයි අපි නිහඬව ඉන්නේ. දුවට ගොඩක් ආදරේ කරන අය ඉන්න එක ගැන අම්මා කෙනෙක් විදිහට මට සතුටුයි.

 

විවාහයත් එක්ක ශලනි රංගනයට සමු දෙයිද..?

දුවට වගේම පුතාටත් ඕන දෙන්නා එක තැනක ඉන්න. ඒ නිසා දුව තව මාස හය හතකින් විදෙස්ගත වෙයි. රංගනයට සමු දෙන්න කියලා පුතා බලපෑමක් කරලා නැහැ ඒත් දුව කැමති ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ නිසා එයා විදෙස්ගත වෙයි. රංගනයට සමුදෙයි කියලා හිතනවා. දුව ඒ ගැන කිවුවේ නැහැ හරි තීරණයක්. ඒත් වැඩිපුර කාලයක් එයා දෙන්න හිතාගෙන ඉන්නේ පවුල් ජීවිතේට. “අම්මා මම සෑහෙන කාලයක් කලාවට කැප වුණා දැන් පවුල් ජීවිතේ විඳින්න කැමති“ යි කියලා තමයි කිවුවේ.

Comments