සිනහවයි උපහාසයයි වේදිකාවට ගේන සරෝජිනී | සිළුමිණ

සිනහවයි උපහාසයයි වේදිකාවට ගේන සරෝජිනී

කලාවේ තවත් සෞන්දර්යාත්මක පැතිකඩක් ස්පර්ශ කරන විරිඳු කලාව මේ වනවිටත් වියැකී යමින් පවතී. තම පිය උරුමය ඉදිරියට ගෙන යෑමේ අරමුණෙන් විරිඳු කලාව නාට්‍යානුසාරයෙන් වේදිකාව මතට ගෙන එන සරෝජිනී කවිරත්න විරිඳු කලාවේ පුරෝගාමියකු මෙන්ම ගුවන්විදුලියේ පළමු විරිඳු ගායන ශිල්පී රත්නපුර ආනන්ද කවිරත්නගේ සහ දක්ෂ කිවිඳියක වන සෝමා විජේහේවා කවිරත්නගේ දියණියයි. මවුපිය උරුමයෙන් ලද හැකියාවට නිර්මාණාත්මක හැඩයක් එක් කළ සරෝජිනී පසුගිය ජුනි 25 වැනිදා මරදාන ටවර් හෝල් රඟහලේදී රජ විරිඳු නාඩගම එළිදක්වන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමිනි. 

වියැකී යමින් පවතින මෙම සෞන්දර්යාත්මක කලා අංගය රැකගෙන ඉදිරි පරපුර වෙත දායාද කිරීමට වෙහෙසෙන ඇය තම කණ්ඩායම සමඟින් “රජ විරිඳු නාඩගම“ අඛණ්ඩව රට පුරා ගෙන යෑමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. මෙතෙක් තම සොයුරා සමඟින් මෙරට සිදු වූ ඛේදවාචක විරිඳු බසින් සමාජය ඉදිරියට ගෙනා ඇය එයට නව මුහුණුවරක් එක්කරමින් වේදිකාව මතට ගෙන එන්නේ ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමේ උපක්‍රම ද භාවිත කරමිනි. දෙපද විරිඳුවටම සීමා නොවී හතර පද, හය පද ආදී තාලයන්ට අනුව පද සහ දෙබස් යොදමින් නාට්‍යානුසාරයෙන් එය නිමවන්නේ ප්‍රේක්ෂකයා ඒකාකාරීත්වයෙන් මුදා ගැනීමට දෙපිට කැ‍ෙපන දෙබස් සහ උපහාසාත්මක යෙදුම් ද එක් කරමිනි. රජ විරිඳු නාඩගම ප්‍රේක්ෂක ඉල්ලීම මත ඉදිරියට ගෙන යෑම ඇගේ ප්‍රයත්නයයි.‍

ජන සංගීතය හා රැප් කලාව අතර ගැටුම, මව සහ දියණිය අතර සංවාද සේම අඹු සැමි ආරවුල් සහ අපෙන් ගිලිහී යන ප්‍රස්තා පිරුළු ඇසුරෙන් අනාගත පරපුරට හිතකර නිර්මාණයන් ද ඇතුළුව කාලීන සමාජ ගැටලු ද කැටි කොට දෙබස් සහ ගීත අනුසාරයෙන් රඟ දැක්වෙන මෙම රජ විරිඳු නාඩගම සඳහා රංගන ශිල්පී චරිත් සේනානායක, කුමාරි අත්තානයක, නිශ්ශංක ගුණසිංහ ඇතුළු කණ්ඩායමක් සූදානමින් සිටියි. උපහාසය මුසු සිනහව මුවඟට ගෙනෙමින් සමාජයට හොඳ පණිවුඩයක් දෙන්නට ඇය දරන වෙහෙස අගය කළ යුක්තකි.

Comments