ෂාරුක්ට පුතාගෙන් ‘කැපිල්ලක්’ | සිළුමිණ

ෂාරුක්ට පුතාගෙන් ‘කැපිල්ලක්’

තමාගේ චිත්‍රපටයක රඟපාන්නට බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් කැමැත්තෙන් සිටින බව දැනගතහොත් ඕනෑම අධ්‍යක්‍ෂවරයකු එය සලකනු ඇත්තේ ගෞරවයක් ලෙසයි. නමුත් ඊට වඩා තරමක් වෙනස් ආකාරයෙන් කටයුතු කළ අධ්‍යක්‍ෂවරයකු ගැනත් පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා වී තිබුණා. ෂාරුක් මෙම අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණයක රඟපෑමට කැමැත්තෙන් සිටියත් එම අධ්‍යක්‍ෂවරයා එය ප්‍රතික්‍ෂේප කර ඇති බවයි සඳහන් වුණේ. මෙම අපූරු අධ්‍යක්‍ෂවරයා අන් කිසිවකු නොව ෂාරුක්ගේම පුත් ආර්යන් ඛාන් වීමත් විශේෂත්වයක්. 

මේ වනවිට ආර්යන් වෙබ් මාලා නාටකයක් (Web Series) අධ්‍යක්‍ෂණය කරමින් සිටිනවා. එය දැනට නම් කර ඇත්තේ Stardom යනුවෙන්. එම නම පසුව වෙනස් වීමට ඉඩ ඇති බවත් පැවසෙනවා. Stardom මාලා නාටකය බොලිවුඩ් සිනමා කර්මාන්තයම පසුබිම් කරගත් කතාවක් රැගත් නිර්මාණයක් බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. තම පුතු අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වඩින මෙම මාලා නාටකයේ කෙටි චරිතයක් රඟපෑමට ෂාරුක් කැමැත්තෙන් සිටි බවයි සඳහන් වන්නේ. නමුත් ආර්යන් ඊට කැමැත්තක් දක්වා නැහැ. පියා නිසා තම නිර්මාණයට අමතර වාසි හිමිවෙනවාට ආර්යන් කැමැති නොවූ බවයි පැවසෙන්නේ.

බොලිවුඩය තුළ පවතින පවුල්වාදය ගැනත්, ජනප්‍රිය සිනමා පවුල්වල දරුවන්ට මෙම කර්මාන්තය තුළ අමතර වාසි හිමි වීම ගැනත් දැන් කාලයක සිටම චෝදනා එල්ල වෙමින් තිබෙන බව රහසක් නොවෙයි. මෙම තත්ත්වයට එරෙහිව සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධතා එල්ල වන අවස්ථාද නිතර දැකිය හැකියි. තම පියා Stardom මාලා නාටකයේ රඟපෑවොත් ඒ නිසා එම නිර්මාණයට යම් යම් වාසි හිමි වනු ඇති බවත්, ඒ ගැන ඉහත කී ආකාරයෙන්ම විවේචන එල්ල වනු ඇති බවත් ආර්යන් කල්පනා කරනවා විය හැකියි. තමා ගමනක් යාමට පටන්ගත් අවස්ථාවේම මෙවැනි චෝදනාවලට ලක් වීමට ඔහු අකැමැති නිසා මේ ආකාරයේ තීරණයක් ගන්නට ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ. කෙසේ වෙතත් ආර්යන්ගේ මෙම තීරණය ෂාරුක්ගේ රසික රසිකාවියන් තුළ යම් කනස්සල්ලක්, කනගාටුවක් ඇති කර තිබෙනු දැකිය හැකියි.

කෙසේ හෝ වේවා, මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රියම නළුවකු වන රන්වීර් සිං ආර්යන්ගේ නිර්මාණයේ කෙටි චරිතයක් රඟපාන බව සඳහන්. ඔහු රඟපාන ජවනිකා පසුගිය දිනවල රූපගත කෙරුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. ආර්යන් සිය Stardom මාලා නාටකයේ රූගත කිරීම් ආරම්භ කළේ පසුගිය ජුනි මාසයේ යි. ලබන නොවැම්බරයේ එම කටයුතු අවසන් කිරීමට ඔහු බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ. 2024 වසරේ මෙම මාලා නාටකය ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙනු ඇති.

Stardom මාලා නාටකය ඉන්දියානු රුපියල් කෝටි 120කට(ලංකා රුපියල් කෝටි 460කට) මිල දී ගැනීමට අන්තර්ජාලය ඔස්සේ මෙවැනි නිර්මාණ ප්‍රදර්ශනය කරන ස්ට සමාගමක් සූදානම් වී ඇති බවකුත් සඳහන් වෙනවා. නමුත් ආර්යන් ඊටත් එකඟතාව දක්වා නැහැ. ඔහු පවසන්නේ තම මාලා නාටකය විකුණන්නේ කාට ද, කවර මිලකට ද යන්න තීරණය කරන්නේ එහි නිශ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව පමණක් බවයි. කෙසේ හෝ වේවා, මෙවැනි සිදුවීම් නිසා ආර්යන්ගේ ‘Stardom ප්‍රදර්ශනය වන්නටත් පෙරම විශාල වශයෙන් කතාබහට ලක් වීමට පටන්ගෙන තිබෙනවා. 

මේ වනවිට 25 වැනි වියෙහි පසුවන ආර්යන් මෙයට ටික කලකට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් හේතුවෙන් මාධ්‍ය තුළ දැවැන්ත අවධානයකට ලක් වුණා. කෙසේ හෝ වේවා එම චෝදනා ඉවත් කර ගැනීමට පැමිණිලිකරුවන් පසුව පියවර ගත්තා.

ආර්යන් ද තම පියා මෙන් නළුවකු වනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණා. ඒ සඳහා ගැළපෙන පෙනුමකුත් ඔහු සතුව තිබෙනවා. නමුත් ආර්යන් නළුකමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. තම පියාගේ දැවැන්ත ප්‍රතිරූපය තමාට අභියෝගයක් වනු ඇති බව දන්නා නිසාත්, එම අභියෝගය භාර ගැනීමට අකැමැති නිසාත් ඔහු නළුකම ප්‍රතික්‍ෂේප කරනවා විය හැකි බවයි සමහරුන්ගේ අදහස. කෙසේ හෝ වේවා, ආර්යන් මුල පටන්ම වැඩි කැමැත්තක් දක්වා තිබුණේ තිර රචනයට සහ අධ්‍යක්‍ෂණයට යි. මෙම විෂයයන් සම්බන්ධයෙන් ඔහු ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ද ලබා සිටිනවා.

ආර්යන්ගේ නැඟණිය වන 23 හැවිරිදි සුහානා ඛාන් නම් පියාගේ අඩි පාරේ යෑමට පටන්ගෙන තිබෙනවා. ඇය මේ වන විටත් නිළියක වී අවසන්. සුහානා රඟ පෑ පළමු සිනමාපටය වන The Archies ලබන නොවැම්බර් මාසයේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. කලකට පෙර ජනප්‍රිය නිළියක වූ ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂි ද මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා.

Comments