ප්‍රේක්ෂකයෝ මාව බොරුවට හොඳයි කියලා නරක් කළේ නැහැ | සිළුමිණ

ප්‍රේක්ෂකයෝ මාව බොරුවට හොඳයි කියලා නරක් කළේ නැහැ

- මම කලාකරුවෙක් වෙන්නයි ජීවත් වුණේ මම හිතුවේ නැහැ ගී පද රචකයෙක් වෙන්න
- නන්දා මාලනී මහත්මියට ගීතයක් ලියන්න තව ඉගෙන ගන්න ඕන කියලා ඔළුවෙන් හිතනවා
- සින්දු ලියන්න වෙලාවක් යන්නේ නැහැ වෙලාව යන්නේ පෑනක් කොළයක් හොයාගෙන පුටුවක වාඩිවෙන්න

මනුරංග විජේසේකර කියන්නේ “රම්බරි” ගීතය තුළින් ගී පද රචනා ක්ෂේත්‍රයට පැමිණ අද වෙද්දී නව පරපුරේ ගායකයන්ට අපූරු පදමාලා නිර්මාණය කරන ගේය පද රචකයෙක් මෙන්ම නිවේදන කලාවටද අපූරු හැඩයක් එක් කළ නිවේදකයෙක්. මේ දිනවලත් ඔහු අතින් ලියවුණු ගීත බොහොමයක් අතිශයින් ජනප්‍රියයි. නූතන පරම්පරාවට හෘදයාංගම ගී තිළිණ කරමින් සිටින සහ සහෘද කලා හදවත් ආමන්ත්‍රණය කරන මනුරංග විජේසේකර සමඟ රසඳුන කළ සොඳුරු කතාබහයි මේ....

මේ දවස්වල මොකද වෙන්නේ

සාමාන්‍ය පරිදි මගේ සින්දු ලියන කටයුතු සිද්ධ වෙනවා. අන්තිමට ආව සින්දු දෙක “මල කඩ කඩ“ දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් කියපු සින්දුව සහ Dady සංගීත කණ්ඩායම කියපු “ඒ ඔබමයි” සින්දුව. ඊට අමතරව නිවේදක භූමිකාව ඇතුළේ ලංකාවේ ගොඩක් තැන්වල ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒ දේවල් කරගෙන යනවා. නාදගම ප්‍රසංගය සාර්ථකව යනවා. දෙස් විදෙස් සංචාර ටික ඒ පැත්තෙන් කරගෙන ඉන්නවා. ඉරිදා රෑ 9.30ට ජාතික රූපවාහිනියේ දවසක් දා හැන්දෑවක කියලා වැඩසටහනක් කරනවා. ඒකත් හොඳ අත්දැකීමක්.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

දිනේෂ් සමඟ සමිතා මුදුන්කොටුව සහ සශිකා නිසංසලා සමඟ බාචි කියන සින්දුවක් එන්න තියෙනවා. ෆැලන් ඇන්ඩ්‍රියාගේ සින්දුවක් එන්න තියෙනවා. රයිනිගේ අලුත් සින්දුවක් එනවා සරෝජිනී කියලා. තව දිනේෂ් කාංචනා එකතුවෙන් සින්දුවක් තියෙනවා. සින්දු නම් ගංගාවක්ම එන්න තියෙනවා. ඒ ගංගාව හිමින් ගලන් යයි. මගේ ස්ටුඩියෝ එක තියෙන නිසා අලුත් සින්දු නිරන්තරයෙන් පටිගත කෙරෙනවා.

ගී පද රචනය කියන්නේ බලාපොරොත්තු වුණු පැත්තක් නෙවෙයි නේද?

මම කලාකරුවෙක් වෙන්නයි ජීවත් වුණේ. මම හිතුවේ නැහැ ගී පද රචකයෙක් වෙන්න.

දැන් මොකද හිතෙන්නේ

අනේ මේක තමයි ලෝකයේ තියෙන වාසනාවන්තම දේ කියලා දැන් තමයි තේරෙන්නේ. කලාකරුවෙක් වෙන්න එදා ඉඳන්ම ආසාව තිබුණා. මගේ ඒ තීරණය හරියටම හරි. ඒකට හේතුව මේ වගේ සුන්දර රැකියාවක් නම් මම හිතන්නේ නැහැ ලෝකෙ තව ඇති කියලා. මිනිස්සු එක්ක ගැවසෙන කතා කරන්න ලැබෙන, ආදරේ ලැබෙන ඒ හැමදේම තියෙන වෙන රස්සාවක් මේ ලෝකෙ නැහැ කියන එක මට හැමවෙලාවෙම හිතෙනවා. සතුටින් කරන්න පුළුවන් රස්සාවක්. සිංගප්පූරුවේදී මම ඉගෙන ගත්තේ හොටෙල් මැනේජ්මන්ට්. මම අලුතින් දැම්ම කෛකෝස් කියන කැෆේ එක. ඒ නිසා මම ආස කරන දේවල් සහ ඉගෙන ගත්ත දේවල්වලින් දෙයක් කරන්න කලාව හරහා මට ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් සින්දුවක් ලියන්න කොච්චර කාලයක් යනවද?

මට සින්දු ලියන්න වෙලාවක් යන්නේ නැහැ. වෙලාව යන්නේ පෑනක් සහ කොළයක් හොයාගෙන පුටුවක වාඩිවෙන්න යන වෙලාව. ඒ හැර තත්පර ගාණක් ඇති මට ලියන්න. ඒ මොහොතේ එන සිතුවිල්ලයි මගේ ගීතය.

මේ වෙද්දී බොහෝ දෙනෙක්ට ගීත ලියලා තියෙනවා. ලියන්න ආසාවෙන් ඉන්න ගායිකාවක් හෝ ගායකයෙක් ඉන්නවද?

අනේ ඔව්. නන්දා මාලනී මහත්මියට තමයි. බලන් ඉන්නවා ජීවිතේ කවදා හරි අවස්ථාවක් එයි කියලා.

නන්දා මාලනී මහත්මියට කියලා තියෙනවද මේ ගැන?

අනේ නැහැ. කියන්න බයයි. මම එච්චර නැහැ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා එතුමියට මම නොලියා ඉන්නම් කියලත් මම හිතනවා. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. මගේ ඔළුවේ එතුමියට ලියන්න තරම් තැනක නැහැ කියලා හිතෙනවා.

නව පරපුරේ අය එතුමියට ගීත ලියලා තියෙනවා,

ඔව්. එහෙම ලියලා තියෙනවා. මම සුනිල් පෙරේරා මහතා එක්ක අවුරුදු ගාණක් හිටියා. හැබැයි එතුමාට ගීතයක් ලියන්නත් මට බයක් තිබුණා. ප්‍රවීණයින් ගොඩක් අය එක්ක සමීපව වැඩ කරන්න ලැබුණත් මට හිතෙනවා මගේ නිර්මාණයක් කරන්න තව ටිකක් ඉන්න ඕනේ කියලා. තව ටිකක් මහන්සි වෙලා තව ටිකක් හදාගෙන හොඳ එකක් කරන්න ඕනේ කියලා. කලින් ඔබේ ප්‍රශ්නයට උත්තරේ නන්දා මාලනී මහත්මිය. හැබැයි එතුමිය වගේ කෙනෙක්ට ලියන්න තව ගොඩක් ඉගෙන ගන්න ඕනේ කියලා ඔළුවෙන් හිතනවා.

අපි කැෆේ එක ගැන කතා කළොත්

ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත්තා. නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ නයින් වේල්ස් හොස්පිටල් එක ඉස්සරහ තියෙන්නේ. ඒක ෆුඩ් කෝට් එකක්. ලොකු තැනක පටන් ගන්න අවශ්‍ය වුණත් මට තැනක් හම්බුණේ නැහැ. ඒ නිසා මම පොඩියට පටන් ගත්තා. ඒ පටන් ගත්ත දෙයින් මම සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. ඕනෙම ක්ෂේත්‍රයක් ගැන හෝම් වර්ක් කරන්න ඕනේ. ඒ හෝම් වර්ක් ටික මෙතනින් කර ගත්තා. දැන් අපි ළඟදීම කොහුවල පාරේ අපේ මේන් කැෆේ එක ඕපන් කරනවා.

කැෆේ එකේ නම කයිකෝස්. වෙනස් නමක් යොදන්න හිතුවේ ඇයි?

මගේ දුවගේ නම කෛකශී. එයාට ගොඩක් අය කියන්නේ කෛකෝ කියලා. ඒක තමයි මම කෛකෝස් කරේ.

දුවට ඇයි කයිකෂි කියලා නම තිබ්බේ, මෙය ජපන් නමක් ද?

කෛකශී කියන්නේ ජපන් නමක් නෙවෙයි. කෛකේශී කියලා රාවණා රජුගේ මව හෝ සුළු මව කියලා සඳහනක් තියෙනවා. ඒ නිසා ඉතිහාස පොත්වල මේ කෛකේශී කියන නම තියෙනවා. මම දුවට දැම්මේ කෛකශී කියලා.

මනුරංගගේ ගෙදර යාළුවොන්ට ඕනේ වෙලාවක විවෘතයි කියලා තිබුණා. යාළුවොන්ට ජීවිතේ කොයි තරම් ඉඩක් තියෙනවද? 

මගේ ජීවිතේ ලොකුම ඉඩ දීලා තියෙන්නේ යාළුවොන්ට. අපේ අප්පච්චි ලංකා බැංකුවේ වැඩ කළ කාලය තුළ අම්මා අප්පච්චි දෙන්නම කොළඹින් පිට හිටියේ. ඒ වෙද්දී මම හිටියේ මගේ යාළුවන් එක්ක. යාළුවන්ගේ ගෙවල්වල කට්ට කාලා. වැටිලා ඉඳලා තියෙනවා. මගේ ජීවිතේ ගොඩක් කාලයක් යාළුවන්ගේ ගෙවල්වල මාව නඩත්තු කරලා තියෙනවා. මම පොඩි කාලේ ඉඳන් සාමාන්‍ය පෙළ වෙනකම් හැදුණේ මාලබේ මගේ ඥාති ගෙදරක. ඊට පස්සේ උසස් පෙළ වෙනකම් බාප්පාගේ ගෙදර හිටියා. එතැනින් එහා මම සම්පූර්ණයෙන්ම ජිවත් වුණේ මගේ යාළුවන්ගේ ගෙවල්වල. ඊට පස්සේ අපි ක්ෂේත්‍රයට ආවට පස්සේ ගයාන් පෙරේරාගේ යාළුකම එක්ක සුනිල් පෙරේරා මහතා එයාගේ ගෙදර අපිව නවත්තන් කන්න බොන්න දීලා රැක බලා ගත්තා. ඒ නිසයි අද මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. මට ඒ පුරුද්ද තියෙනවා. අද අලුතින් එන කෙනෙක්ට වුණත් මගේ ගෙදර විවෘතයි.

මේ ගමන එන්න බිරියගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අපි දෙන්නගෙම එකතුවෙන් මේ හැමදේම කරන්නේ. පවුලක් හැටියට අපි දෙන්නා හොඳ යාළුවෝ දෙන්නෙක්. මොන දේටත් වඩා අපි දෙන්නා තුළ තියෙනවා හොඳ යාළුකමක්. ඒ නිසා වැඩක් කරද්දී අපි දෙන්නා සෙට් වෙනවා. දිල්තරා තමයි කැෆේ එකේ මූලික පදනම දැම්මෙත්. දිල්තරා කියන්නේ මාව හොඳින් විවේචනය කරන කෙනෙක්. එනිසා වැඩක් කරද්දී මාව ගෙදර තුළින් ම විවේචනය වෙලා විචාරය වෙලා හොඳට පදම් වෙලා එන්නේ. තාර බර නැහැ. මම දකින මගේ බිරියගේ හොඳම කෑල්ලත් ඒකයි. අනිත් දේ බිරියක් විදිහට සහ මවක් හැටියට මගේ දුව සහ එයා අතර තියෙන සම්බන්ධතාව. ඒක මම ගරු කරනම දෙයක්. දිල්තරා පුදුම විදිහට කැපකිරීමක් කරනවා කෛකශී වෙනුවෙන්. ඒක ජිවිතේ මට තියෙන ලොකුම වාසනාව සහ පිරිමියෙක් බලාපොරොත්තු වෙන ලොකුම දේ. ඒ හැමදේම දිල්තරාගෙන් මට ලැබෙනවා.

මනුරංගගේ ගීත අහන මනුරංගගේ නිවේදන කලාවට ප්‍රිය කරන ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති

ඒ අයට කියන්න තියෙන එකම දේ ඒ අය මාව බොරුවට හොඳයි කියලා නරක් කළේ නැහැ. ඒකට බොහොම ස්තුතියි. බොරු වර්ණනා හෝ විවෙචන කළේ නැහැ. හරි මැද තැනක ඉඳන් මගේ දිහා බැලුවා. මාව මහ පොළවේ ඉන්න මිනිහෙක් කරේ මට ඉන්න රසික සමූහය. ඒකට මම ස්තුතිවන්ත වෙනවා.

Comments