මා අධ්‍යක්ෂණය කරන මුල්ම ටෙලි නාට්‍යයේ චන්න රඟපානවා | සිළුමිණ

මා අධ්‍යක්ෂණය කරන මුල්ම ටෙලි නාට්‍යයේ චන්න රඟපානවා

 
ගයත්‍රි ඩයස් පුරා දශක දෙකක් මෙරට රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින රංගන ශිල්පිනියක්. ටෙලි නාට්‍යය රංගනයේ දී ඇය බෙහෙවින්ම රසික හදවත්වලට සමීප වුණා. ජීවිතයේ පැමිණෙන මහා බිඳ වැටීම් දරා අභියෝගවලට පිළිතුරු සොයමින් ගැහැනියක් ලෙස ජීවිතයට මුහුණ දෙන ඇය මේ වනවිට ගත කරන්නෙ ඉතාම වේදනාකාරී අත්දැකීමක අඳුර සමඟ. පසුගිය දවසක ගයත්‍රිගෙ මව කොවිඩ් වසංගතයේ ගොදුරක් වුණා. ඒ වේදනාව සමහන්වී නැති වෙලාවකයි ඇය අප සමඟ සංවාදයට එක් වුණේ.
 
 වැඩිපුරම ආදරය කළ කෙනෙක් ජීවි‍ෙතන් වෙන් වුණා. ඒ වෙන් වීම ඔබට දරාගන්න පහසු නොවෙන්න ඇති?
මගේ අම්මගේ නික්ම යාම මට දරාගන්න පහසු නෑ. කොරෝනා ව්‍යසනය තමයි අම්මව අපිට අහිමි කළේ. අම්මයි තාත්තයි අවුරුදු දෙක තුනක් තිස්සේ හිටියේ මං ළඟ. මගේ අම්මා හදවත් රෝගියෙක්. ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුණු නිසා රෝහල්ගත කළා. රෝහලේදි තමයි ඇයට කොරෝනා ආසාදනය වෙලා තිබුණේ. ඒ නිසා අම්මව වෙනත් රෝහලකට මාරු කළා. එහෙදි අපහසු වෙලා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇයව ඇතුළත් කරලා දවසයි හිටියේ.. අම්මා නැති වුණා. කොරෝනා තත්ත්වය එක්ක අම්මට නිසි ගෞරවය දක්වන්න බැරි වුණා.
ඒ ගැන දැනෙන්නෙ පුදුමාකාර වේදනාවක්. කොරෝනා ව්‍යසනය එක්ක දවසින් දවස මිනිස්සු නැති වෙනවා. තමන්ගේ සමීපතමයෙක් නැති වුණාම ඒ වේදනාව තියෙන්නෙ ඒ පවුල්වල අයට. අම්මා නැති වෙලා සති දෙකක්. මම ඒ වේදනාවෙන් මිදෙන්න ඔළුව හදාගන්න ගමන් තවම ඉන්නේ.
 
 මවගේ නික්ම යෑමත් එක්ක ඔබ සමාජ මාධ්‍යය හරහා සිදුකළ ප්‍රකාශයක් ඇතැමුන්ගේ විවේචනයට ලක් වුණා ?
අම්මගේ අවසන් කටයුතු කරලා ගෙදර ආවට පස්සේ මමයි දරුවෝ දෙන්නයි තනි වුණා. ඒ වෙලාවේ තිබුණු පීඩනය මට වචනයෙන් කියන්න තේරෙන්නේ නෑ. ඒ වෙලාවේ අම්මා නැති අඩුව දරාගන්න බැරුව මම හිටපු මානසික මට්ටම එක්කයි ෆේස්බුක් ලයිව් ඇවිත් මගේ අම්මට වුණ දේ අනෙක් අයගේ සමීපතමයන්ට වෙන්න නොදී  ඔවුන්ව පරෙස්සම් කරගන්න කිව්වේ. එහෙම ලයිව් එකක් ආපු එක ගැන පස්සේ මම දුක්වුණා. මිනිස්සු කියන දේවල් මම එච්චර හිතන්නේ නෑ. අපි මොනවා කළත් ඒවට බණින පිරිසක් ඉන්නවානේ.
නමුත් ඒක විහිළුවට ගන්න ඕන කාරණයක් නෙමෙයි. සමහර ගෑනු ළමයිනුත් විවිධ  අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මට හිතුණේ ඒ ළමයිනුත් කවදාහරි අම්මලා වෙන්න ඉන්න අය නේද, ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. මම මගේ මවුපියන්ට අඩුවක් නොකර මට කරන්න පුළුවන් උපරිම දේ කළා. මවුපියන්ට සත්තුන්ට වගේ සලකන දරුවෝ ගැන අපි අහලා දැකලා තියෙනවා. මං කියපු දේ විහිළුවට අරගෙන විවිධ අදහස් පළ කළ දරුවෝ දැක්කම මට හිතුණේ ඔය  වගේ අය අනාගතේ ඔවුන්ගේ මවුපියන්ට කොහොම සලකාවිද කියලා.
 
 දැන් ආයෙත් ඔබ කලා කටයුතු පටන් ගත්තද?
රට ඇරපු නිසා සැලෝන් එකේ වැඩනම් පටන් ගත්තා. මේ දවස්වල මම සම්බන්ධ වෙන නාට්‍ය තුනක් විකාශය වෙනවා. 'කොළඹ ඉතාලිය' , පාරදිගේ' සහ 'මහවිරු පණ්ඩු' එකිනෙකට වෙනස් නිර්මාණ. ඒ නිර්මාණවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. අලුත් ටෙලි නිර්මාණ දෙකකටත් ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදි ඒ නිර්මාණවල රූගත කිරීම් පටන් ගනීවි.  
 
 පවුලේ වගකීම් සහ වෘත්තීමය කටයුතු කාන්තාවක් විදිහට සමබරව කරගන්නේ කොහොමද?
එය මට ලොකු අර්බුදයක් නෙමෙයි. කවදත් වගකීම් සහ මට කරන්න තියෙන දේවල් මම මහ බරක් කරගත්තේ නෑ. දුවල දෙන්නා දැන් ලොකුයි. ඔවුන්ගේ වැඩ තනියම කරගන්නවා. මම මගෙන් වෙන්න ඕන හැමදේම එයාලට කරනවා. ඒ වගේම කලා කටයුතු සහ සැලෝන් එකේ වැඩත් සුපුරුදු විදිහට කරගෙන යනවා.
 
 ඉස්සරට වඩා දැන් ඔබ රංගනයට ලොකු කාලයක් වෙන් කර ති‍ෙබනවා වගේ?
මට කවදාවත් වැඩ නැති වුණේ නෑ. නමුත් සමහර කාලවලදි මම ම ගත් තීරණ නිසා අතහැරපු දේවල් තිබුණා. දැන් මට ගැළපෙන නිර්මාණ තෝරාගෙන නිදහසේ වැඩ කරනවා.
 
 දියණියෝ ඔබෙයි චන්නගෙයි පාරේ යන හැඩයක් පේන්නේ නැද්ද?
ඒ දෙන්නා රංගනයට එනවට චන්න අයියගෙයි මගෙයි කිසිම අකැමැත්තක් නෑ. නමුත් දුවලා ගේ කැමැත්තක් නෑ රංගනයට එන්න.
 
 ඔබ අධ්‍යක්ෂණයට එන්නත් සූදානමින් හිටියා.ඒ බලාපොරොත්තුවට මොකද වුණේ?
පහුගිය දවස්වල ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වුණු නිසයි ඒ අදහස ක්‍රියාවට නන්වන්න ටිකක් කල් ගියේ. නමුත් ඒ බලාපොරොත්තුව අතහැරියේ නැහැ. මේ වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් මගේ ටෙලි නාට්‍යයේ වැඩ පටන් ගන්න සැලසුමක් තිබෙනවා.
 
 එවැනි භාරධූර කටයුත්තක් ගැන ඔබට අධ්‍යයන පසුබිමක් තිබෙනවද?
මම රංගනයට ආපු මුල් කාලේ ඉදලම තාක්ෂණික කාරණාවලට තමයි මගේ වැඩි කැමැත්ත තිබුණේ. රූගත කිරීම්වලට ගියත් අධ්‍යක්ෂවරයා මොනවද කරන්නේ, කැමරා අධ්‍යක්ෂවරයා මොකද කරන්නේ වගේ දේවල් ගැන බලන්න මම උනන්දු වුණා. මට ලොකු ආසාවක් තිබුණා අධ්‍යක්ෂණයට එන්න. ඒ කාලය පුරාවට එකතු කරගත් දේවල් එක්ක මගේ බලාපොරොත්තුවට ළඟා වුණා. ඒ වැඩේ කරලම බලමු.
 
 ඔබත් ඒ නිර්මාණයේ රංගනයට එකතු වෙනවද?
මම ඒ නිර්මාණයේ රංගනයට සම්බන්ධ වෙන්න අදහසක් නෑ. හැබැයි චන්න අයියා ඒ නිර්මාණයේ රංගනයට එකතු වෙනවා.
 
 චන්න පෙරේරා කළ නිර්මාණවල නම් ඔබව දකින්න ලැබුණේ නෑ. ?
චන්න අයියාගේ නිර්මාණවල මට සුදුසු චරිතයක් තිබුණෙත් නෑ. මාව සුදුසු නැත්නම් ගන්න ඕනේ කියලා දෙයක් නෑනේ. මගේ නිර්මාණයේ චන්න අයියට සුදුසු චරිතයක් තිබුණා. ඒ වගේම ඒ චරිතයට සුදුසුම කෙනාත් ඔහු. ඒ චරිතය කරන්න චන්න අයියට කතා කළාම ඔහු බොහොම කැමැත්තෙන් ඒ ආරාධනාව බාරගත්තා.
 
 පෞද්ගලික කාරණා නිර්මාණකරණයෙදී අදාළ නෑ කියලද ඔබ ඔප්පු කරන්නේ?
අපි අතර කිසිම ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නා දරුවන්ගේ වැඩවලදි වුණත් තීරණ ගන්නේ එක්ව. මම උයන කෑමබීම තමයි එයා කන්නේ. මිනිස්සු හිතන තරම් අපි අතර ප්‍රශ්න නෑ. ඒ නිසා එකට වැඩ කරන්නත් අපිට ගැටලුවක් නෑ.

Comments