කොවිඩ් මාරයා සතුන්ටත් ඇවිත් | සිළුමිණ

කොවිඩ් මාරයා සතුන්ටත් ඇවිත්

කොවිඩ් ආසාදනයට ලක්වූ ‘තෝර්‘ සිංහයා

මිනිසුන්ගෙන් සුරතල් සතුන් ඇතුළු සියලු සිවුපාවන්ට කොවිඩ් 19 රෝගය බෝවීම සිදුවන බවත්, දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් රෝගය වැලඳීම එහි ප්‍රතිඵලයක් බවද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දිරා පෙරේරා සිළුමිණට ඊයේ කීය.

සත්ත්ව උද්‍යානවල සිටින සතුන්ට රෝගය බෝවීම අනිවාර්යෙන්ම සිදුවන්නේ ආසාදිත පුද්ගලයන්ගෙන් බවත් පෙන්වා දුන් මහාචාර්යවරිය දින කිහිපයකට පෙර ඉන්දියාවේ චෙන්නායි සත්ව උද්‍යානයක බෙංගාලි කොටින් 14 දෙනකුටද මෙසේ කොවිඩ් 19 ආසාදනය වූ බව පෙන්වා දුන්නාය. එමෙන්ම නිව්යෝර්ක්වලද කොටින්ටද රෝගය වැලඳුණු බව පෙන්වා දුන් ඇය පැවසුවේ ඇමරිකාවේ සුරතල් බළලුන්ටද ආසාදිත ගෙහිමියන්ගෙන් රෝගය වැලඳී ඇති බවයි.

මහාචාර්ය ඉන්දිරා පෙරේරා වැඩිදුරටත් පැවසුවේ ගෘහාශ්‍රිත සුනඛයන්, බළලුන් මෙන්ම ගවයන් එළුවන් ඇතුළු සියලු සතුන් තමන්ගේ අධීක්ෂණය යටතේ තබා ගැනීම එම සතුන්ට රෝගය වැලඳීම වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමය බවය. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයා පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවූවද දෙවන පරීක්ෂණයෙන් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හෙළිව තිබේ.

එමෙන්ම දින කිහිපයකට පෙර මිය ගිය සීබ්‍රා සහ හිපපොටේමස් සතුන් දෙදෙනාද සත්ව උද්‍යානයේ මියගියේ කොවිඩ් රෝගයෙන් බවට දැන් සැක පළ කර තිබේ. මේ වන විට කොවිඩ් රෝගය වැලඳී ඇති සිංහයාට එය වැළඳී ඇත්තේ සත්වෝද්‍යානයේ සේවය කරන්නන් මඟින් බව විශ්වාස කෙරේ. මෙයට පෙර සත්වෝද්‍යානයේ සේවකයන් කිහිප දෙනකුගේ පවුල්වල සාමාජිකයන් කොවිඩ් රෝගයෙන් මියගොස් තිබුණු බවද හෙළි වී තිබේ. කොවිඩ් රෝගය වැළඳී ප්‍රතිකාර කරන සිංහයා වන ‘තෝර්‘ දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇත්තේ 2012 දීය.

Comments