මගේ ජීවිතේ කිසිම දෙයක් මම අත්හැ­රලා නෑ | සිළුමිණ

මගේ ජීවිතේ කිසිම දෙයක් මම අත්හැ­රලා නෑ

 

ඔබව ටෙලි නිර්මාණයකින් අපට හමුවන්නෙ සෑහෙන කාලෙකින් ?

මම අන්තිමට සම්බන්ධ වුණු ‘හේලංකඩ‘ ටෙලි නිර්මාණය විකාශය වුණේ 2019දි. අවුරුදු දෙකකට පස්සේ තමයි ‘දූවිලි සුළඟ‘ නිර්මාණයෙන් මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.

‘දූවිලි සුළඟ‘ මීට අවුරුදු තුනකට කලින් කළ නිර්මාණයක්. නාට්‍යයේ කොටස් තිස්පහක් විතර ලංකාවේ රූගත කළා. මාස තුනකට විතර කලින් ඉතිරි කොටස් රූගත කළේ ඇමෙරිකාවේදි.පවතින තත්ත්වය එක්ක මට ලංකාවට එන්න පුළුවන්කමක් තිබුණේ නැති නිසයි ඇමෙරිකාවේදි ඉතිරි රූගත කිරීම් කළේ.

 

කාලෙකින් නොදැකපුු ඔබේ රංගනයට කොහොමද ප්‍රේක්ෂකයන් ගෙන් ලැබෙන ප්‍රතිචාර?

කාලෙකින් වුණත් ප්‍රතිචාරවල කිසිම අඩුවක් නම් නෑ. සමාජ මාධ්‍යවලින් ගොඩක් අය මට කතා කරනවා. මැසේජ් කරනවා. මම නිර්මාණවල පේන්න නැත්තෙ ඇයි කියලා අහනවා. මේ නිර්මාණයේ මා දකින විට ඒ සතුට මාත් එක්ක බෙදා ගන්නවා....

 

‘විනූ‘ ගේ චරිතයේ නපුරුකම් ප්‍රේක්ෂකයන්ට දැනිලා තිබුණේ කොහොම ද?

දැනට නාට්‍යයේ කොටස් කිහිපයයි විකාශය වෙලා තියෙන්නේ. ඉදිරියේදි ප්‍රේක්ෂකයෝ විනූගේ චරිතයට තවත් බණින්න ගනියි. මගේ රංගනය එක්ක ප්‍රේක්ෂකයෝ ඒ චරිතය බාර ගන්න හැටි තීරණය වෙයි. ‘විනූ‘ කියන්නේ කළු චරිතයක්. නමුත් ඒ හරහා හොඳ ප්‍රකාශනයක් සිද්ධ වෙනවා. ‘දූවිලි සුළඟ‘ වැනි සමාජයට යහපත් දේවල් ලබා දෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්.

 

ගයේෂා ටික කාලෙකට හරි ලංකාවෙන් යන්න තීරණය කළේ ගයේෂා කියන රංගන ශිල්පිනිය අමතක කරලද?

මට රංගනයෙන් සමුගන්න ඕනෑ වුණේ නෑ. පුතා හම්බුණාට පස්සෙත් මං රඟපෑවා. පුංචි කාලෙකට විවේකයක් ගන්න තමයි විදේශ ගත වුණේ. කොහොම වුණත් දැන් රටේ තියෙන තත්ත්වය එක්ක ගත්ත තීරණය හොඳයි කියලත් හිතෙනවා. කවදා ලංකාවට එන්න පුළුවන් වෙයිද කියන්න බෑ. පුතත් දැන් ඉස්කෝලේ යන්න පටන්ගත්තා. කොරෝනා ප්‍රශ්නය ඉවර වුණාම ආයෙත් ලංකාවට ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.

කෙටි කාලීන හෝ මෙසේ නිහඬවීම හරි ද?

මං සම්බන්ධ වුණ අලුත් නාට්‍ය ගණනාවක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා. චිත්‍රපටත් තුනකට වඩා තිරගත වෙන්න තියෙනවා. මාව ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන්න දේවල් ඉතිරි කරලයි මම ලංකාවෙන් ඇවිත් තියෙන්නේ.

 

ලංකාවේ ඉන්න කාලේ රංගනයේ ලැබුණු අවස්ථා ගැන තෘප්තිමත් ද ?

මම සාමාන්‍යයෙන් දායක වෙන්නේ මට තෘප්තියක් ඇති වෙන නිර්මාණවල විතරයි. ‘හේලංකඩ‘ , ‘මිල්ලෑව වලව්ව‘ ගත්තොත් මං නිරූපණය කළ චරිතවල යම් වටිනාකමක් තිබුණා. ඒ චරිතවලට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් ලැබුණා.

නමුත් සමහර අධ්‍යක්ෂකවරුන් ගේ නිර්මාණවලට සම්බන්ධ කර නොගැනීම ගැන යම් ගැටලුවක් තිබුණා. එය කලකිරීමක් නොවෙයි. සාමාන්‍යයෙන් ඕනෑම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කැමැතියි තමන් කළාට වඩා දෙයක් කරන්න. ඒ කැමැත්ත මටත් තිබෙනවා.

 

මවකගේ සහ බිරියකගේ වගකීම් ගැන ඔබ වඩාත් සංවේදී නේද?

කාන්තාවකට බිරියක් මවක් විදිහට වගකීම් ඉටු කරන්න හැකි වෙන්න ඕනේ. නැත්නම් ඒ කාන්තාව ෆේල්. මම මගේ ඇතුළාන්තය ෆේල් කරගන්න කැමැති නැහැ. මගේ මවුපියන් වෙන් වෙලා හිටපු නිසා ඒ බිඳුණු තැන්වල වේදනාව මගේ කුඩා අවධියෙදි මම අත්වින්දා. මට ඕනේ වුණා මොන දෙයටත් වඩා අම්මගෙයි තාත්තගෙයි ආදරය මගෙ දරුවාට ලබා දෙන්න. මගේ පවුල ආරක්ෂා කරගන්න. පවුල් ජීවිතයක් හරියට පවත්වා ගෙන යන එක කැපකිරීම් සහිත වැඩක්. මා ඒ කැප කිරීම කරනවා.

 

ඔබ කලක් මෙරට දේශපාලනයට යොමු වෙලා හිටියා.

දැන් ඒ ගමන අතහැරලා ද ?

මම මගේ ජීවිතේ කිසිම දෙයක් අතහැරලා නැහැ. මේ විවේකය අරගෙන ඉගෙනීම් කටයුතුත් නිම කරලා ආයෙ ලංකාවට එන්නේ පරිපූර්ණ ගයේෂා කෙනෙක්. දේශපාලනය මගේ ඇඟේම තිබුණු දෙයක්. මම ලංකාවෙදි දේශපාලනය ඉගෙන ගත්තා. අදටත් මම රටේ ප්‍රශ්නයක් වෙනවා නම් සමාජ මාධ්‍යවලින් ඒ ගැන කතා කරනවා. හැබැයි දැන් අනවශ්‍ය දේවල්වලට කතා කරන්නේ නැහැ. අපේ රටේ සමහර දේවල් තියෙනවා කොච්චර කෑ ගැහුවත් හදන්න බැරි. ඒ ගැන හරි දුකයි. ආයෙත් ලංකාවට ආ කාලෙක දේශපාලනයට එන්න කැමැත්තක් තිබෙනවා. කොහොම වුණත් ගයේෂා පෙරේරා පදනම මඟින් සරණක් අවැසි අයටත් උදව් කරනවා.

 

මේතාක් ජීවිතේ ගත් තීන්දු තීරණ ගැන සතුටුද?

මගේ ජීවිතේ පටන්ගත් තැනේ සිට මේ වනතුරු මම මං වෙනුවෙන් අඬපු කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ අඬන්න දේවල් තිබිලා නැහැ. හැම තිස්සෙම මම හිතන්නේ මට ලැබුණු දේවල් නොලැබුණ අය කොච්චර ඉන්නවද ඇත්ද කියලා. ඒ නිසා මගේ ජීවිතේ ලැබුණ හැම දේ ගැනම සතුටුයි. මම වාසනාවන්තයි.

 

ගයේෂා ගේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

හොඳ පවුල් ජීවිතයක් ගත කරමින් පුතයි සැමියයි සමඟ සතුටින් ජීවිතය ගෙවීමයි මගේ ලොකුම බලාපොරොත්තුව. පුතාව හොඳ ගමන් මාර්ගයක යවන්නයි අපි මහන්සි වෙන්නේ.

 

 

 

Comments