අපේ රසවින්දනයේ සියලු දොරටු වැහිලා | සිළුමිණ

අපේ රසවින්දනයේ සියලු දොරටු වැහිලා

 

ඇය කෞෂල්‍යා ප්‍රනාන්දු. යථාර්ථයේ ගැඹුර ස්ත්‍රී චරිතය තුළ රූපණය කළ අපේ කාලයේ ප්‍රභාමත්ම රංගවේදිනියකි ඇය. සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්‘, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ‘ කේ බී හේරත් ගේ ‘ දෝන කතරිනා‘ සෝමලතා සුබසිංහගේ ‘ඇන්ටිගනි‘ ප්‍රියන්ත සිරිකුමාර ගේ ‘මරණය සහ කන්‍යාවිය‘ සහ ‘බර්නාඩාගේ සිපිරි ගෙය‘ වැනි නාට්‍ය ගණනාවක ඇය කළ සම්භාව්‍ය රූපණය තවමත් රසිකයන් අතර නොමැකී තිබෙනවා.

 

සිනමා කෘති අතර සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ‘බොරදිය පොකුණ‘, විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ ‘සුළඟ එනු පිණිස‘ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්‘ වැනි චිත්‍රපට ගණනාවක ඇය විශිෂ්ට රංගනයක නිරත වුණා. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘සඳ දඩයම‘ චිත්‍රපටය කෞෂල්‍යා ප්‍රධාන චරිතයක් රූපණය කරන පළමු චිත්‍රපටයයි. එය තවම එළිදක්වන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඇය සම්බන්ධ වුණු රූපවාහිනි ටෙලි නාට්‍ය අතර අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘දුන්හිඳ අද්දර‘ විශේෂ බව අපට හැඟෙනවා. ‘දුන්හිඳ අද්දර‘ ඇගේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍ය රංගනය යි. අනතුරුව හඳගමගෙ ‘දියකැට පහණ‘ ඇතුළු ටෙලි නාට්‍ය රැසක ඇය රංගනයේ යෙදෙනවා.

මේ විශිෂ්ට ශිල්පිනිය මෙවන් සංවාදයකට පිවිසෙන්නේ කලෙකට පසුයි. අප ඇය හා සංවාදයට එක් වුණේ මේ මොහොතේ අත්දැකීම් එක්ක.

“කෞෂල්‍යා ප්‍රනාන්දු පහුගිය කාලේ නිර්මාණවල නිතර අපට දකින්න නොලැබුණේ ඇයි දැයි පිළිසඳර අරඹමින් විමසූ අප හා ඇය සංවාදයට එක් වෙමින් කතාව ආරම්භ කළා.

“ ධනංජය කරුණාරත්න ගේ ‘ඇසිඩ් වැස්ස‘ නාට්‍යයට පසුව මගේ මව සෝමලතා සුබසිංහ නිර්මාණය කළ ‘විකෘති‘ නාට්‍ය ප්‍රදර්ශනය වුණා. එහි හිල්ඩා කියන මවගේ චරිතය මට රඟපාන්න අවස්ථාව ලැබුණා. සැබෑ ජීවිතයේ මවක් නිසා ඒ චරිතය මට වඩාත් සමීපව දැනෙන චරිතයක්. පහුගිය වසරේ සිට අලුත් නාට්‍යයක පුහුණුවීම් අපි ආරම්භ කළා. චමිල ප්‍රියංකර අධ්‍යක්ෂණය ‘සඟ වෙද ගුරු ගොවි කම්කරු‘ වේදිකා නාට්‍යය ප්‍රදර්ශනය කරන්න සියල්ල සූදානම් කරමින් හිටියේ. නමුත් පවතින අයහපත් තත්ත්වය නිසා එය කල් දමන්නට සිදු වුණා. “

රංගනය පුළුල් විෂයක්. සජීවී වේදිකාවක සහ කැමරාව සමඟ කරන රංගනයේ වෙනස ඇයට දැනෙන ආකාරය ගැන අපට දැන ගන්න අවශ්‍ය වුණා.

"මේ මාධ්‍ය දෙකක්.. රංගන ශිල්පිනියක් විදිහට මම දකින්නේ මෙතන තිබෙන්නෙ ජවය පිළිබඳ වෙනසක්. සජීවී වේදිකාවක අපිට කිසියම් වෙහෙසක් යොදන්න වෙනවා. අපේ හඬ, අපේ චලන, මුහුණේ ප්‍රකාශන බොහෝ පිරිසක් ඉදිරියේ දැනෙන්න සලසන්න වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ පසුපසම වාඩි වෙලා ඉන්න ප්‍රේක්ෂකයාටත් ඒ සාධාරණය වෙන්න අවශ්‍යයයි.“

“සිනමාවේදීත් සමහර චිත්‍රපට ඒ හා සමාන ශෛලියෙන් නිර්මාණය වන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට බර්ග්මාන්ගේ චිත්‍රපට හඳුන්වන්න පුළුවන්. මෑතකදී නිර්මාණය වු ‘Joker‘ චිත්‍රපටය ගත්තත් මම දකිනවා කිසියම් අධි රංගනයක්. වේදිකාවෙත් මේ අධි රංගනය බොහෝ විට දකින්න ලැබෙනවා. මේ කාරණාවේදී අධ්‍යක්ෂවරයාගේ භූමිකාව අතිශයින්ම වැදගත්. ඔහු තමයි තීරණය කරන්නේ නළුවා හෝ නිළිය මේ රංගනය පවත්වා ගෙන යන ආකාරය. ඇතැම් අධ්‍යක්ෂවරු මා පෙර සඳහන් කළ වේදිකාවේ ජවය එතරම් සැලකිල්ලට නොගන්න අවස්ථා මං දැකලා තියෙනවා."

ඔබේ මව මේ රටේ හිටපු ප්‍රභූ නිර්මාණකාරියක්. විශිෂ්ට රංගන ශිල්පිනියක්. කුඩා අවධියේ මතකය මොනවගේ ද?“ මා ඇයව විමසුවා.

“ අම්මා රංගන ශිල්පිනියක් නිසාම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ‘මඩොල්දුව‘ රූපගත කරද්දී , තිස්ස අබේසේකර මහත්මයා ‘මහගෙදර‘ කරද්දි, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලදි ඒවා රූපගත කරන තැන්වලට පුංචි දරුවෙක් විදිහට යන්න මට අවස්ථාව ලැබුණා. මට බොහෝ දේවල් පිළිබඳ විමසිල්ලෙන් බලන්න අධ්‍යයනය කරන්න, අහල දැකල ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. තිස්ස අබේසේකර මහත්මාව තමයි හොඳ නිර්මාණ බලන්න අපිව පෙලඹෙව්වෙ. එතුමා මගේ මවගේ හොඳම යාළුවෙක්.

අපි වැඩෙනකොට අපේ චින්තනය හැඩගැහුණේ පොඩි කාලෙ ලැබුණු මඟපෙන්වීම් සහිත පෝෂණයෙන්. මගේ සමකාලීනයෙක් සත්‍යජිත් මාඉටිපේ මිත්‍රයා. ඔහු බොහෝ කරුණු පිළිබඳ හොයන කෙනෙක්. බොහෝ පොත පත අරගෙන ඇවිල්ල අපි සාකච්ඡා කරනවා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා නම් එක් විෂයයක් පිළිබඳ අවබෝධයක් තිබිලා බැහැ. මුළු විශ්වය පිළිබඳම හොඳ අවබෝධයක් තිබිය යුතුයි. “

ඔබට රංගනවේදිනියක් ලෙස ගොඩනැඟෙන්න පරිසරය හැදුවේ කවුද?. අප ඇසුවා.

“ එය මට මුලින්ම ලැබෙන්නේ මගේ පවුලෙන්. මගේ මවුපියන්ගෙන්. ඒ වගේම පසු කාලීනව මගේ ස්වාමි පුරුෂයා චන්දන අලුත්ගේ ගෙන්. මේ විෂය අතිශයින්ම සංවේදී විෂයක්. මම විශ්වවිද්‍යාලයෙ බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. එහිදීත් මම භාෂාව උගන්වන්න නාට්‍යමය ක්‍රියාකාරකම් යොදා ගන්න උත්සාහ කළා. විශේෂයෙන්ම මගේ රංගනය පිළිබඳ පුහුණු පාසල තුළ මම මේ විෂය ඊළඟ පරපුරට බෙදලා දෙන්න වගකීමෙන් කටයුතු කරනවා.

අද අපේ සමාජය පිළිබඳ බොහෝ මැසිවිලි නගනවා. ඔබ ගුරුවරියක්. කලාකාරිනියක්. මේ මොකද අපට වෙලා තියෙන්නෙ.?.

“ අපේ සමාජයේ සංස්කෘතික ජීවිතය බොහෝ පසුගාමී බවක් දකිනවා. අපේ දරුවන්ට උගන්වන පමාවෙන්ම දැනුම පරීක්ෂා කරන්න විභාග පවත්වනවා. එනිසාම ළමයට ඒ පාඩමෙන් තොරව ජීවිතය ගැන හිතන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රසවින්දනයේ සියලු දොරටු වහලා දාලා. මේ දරුවො ලොකු මහත්වෙලා රැකියා කරනවා. විවාහ වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන භෞතික දේවල් ගොඩනඟනවා. නමුත් රසිකත්වයක් නැහැ. අපේ සමාජය රසිකයෝ අඩුයි. පරිසරයට මිනිස්සුන්ට සත්තුන්ට ආදරය කරන මිනිස්සු හරිම අඩුයි.“

කෞෂල්‍යා මේ වනවිට සහෘදයන් අතරට ඇවිත් ඉන්නේ ‘සකර්ම‘ ටෙලි නාට්‍යයෙන්. ශාන්ති දිසානායක පරඬැල් නවකතාව තුළ ගොඩනඟන පියසීලිගේ චරිතය සජීවී කරන්නෙ ඇය. අප ඒ රංගන අත්දැකීම ගැන කෞෂල්‍යාගෙන් විමසුවා.

."හොඳ නිර්මාණයක් බිහි කරනවා කියන්නේ ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. ඒ දුක විඳින්න කලාකරුවන්ට හැකියාවක් තියෙනවා. අපේ සමාජයට වැඩදායි නිර්මාණකරණයට පෙර පරම්පරාවක් සහ අලුත් පරම්පරාවක් අපිට ඉන්නවා. ඒ අය සීමිත පිරිසක් වෙන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ වැඩේට එකතු වෙනවා නම් අපිට සමාජයම නොවුණත් ඒ සමාජය කීප දෙනකු හෝ ඉහළට ඔසවා තබන්න පුළුවන්. ශාන්ති දිසානායකගේ නවකතාව ඇසුරෙන් ගොඩනැඟුණු මේ තිර නාටකය ඉතාමත් යථාර්ථවාදී පසුතලයක නිර්මාණය වෙනවා මේ කතාවේ අපිට හමුවෙන ජීවිත අපි අපේ සමාජයේ දකිනවා. තරුණ දරුවන්ගේ ජීවිත අත්දැකීම් ඉච්ඡාභංගත්වය, අරමුණක් නැති අවිනිශ්චිත ජීවිත කොතරම් අද සමාජයේ අපට මුණගැහෙනවද.

මේ යථාර්ථය කලා කෘතියකට හසුකරගැනීම වෙහෙසකර වෑයමක් තමයි. හැබැයි කලාව වගේම සමාජයේ අර්ථාන්විත පැවැත්මත් නිවැරදි දිශාවකට යොමු වන්නෙ එවැනි නිර්මාණවලින්. “

මනුෂ්‍යත්වය පදනම් වුණු සමාජයක් ප්‍රාර්ථනා කරමින් පාරමිතාවක යෙදෙන අතළොස්සක් නිර්මාණකරුවන් අතර අරගල කරන ඇයගෙන් සමුගත්තේ හෙට දවස ගැන උපන් පැහැසර ප්‍රාර්ථනාවකුත් සමඟින්.

 

Comments