රංගනයෙන් ලැබෙන මුදල් සමාජ සේවයට යොදවනවා | සිළුමිණ

රංගනයෙන් ලැබෙන මුදල් සමාජ සේවයට යොදවනවා

 - මිෂෙල් දිල්හාරා

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයත් එක්ක මි‌ෙෂල් මේ දිනවල අලුත් වැඩක්

 

රංගන ක්ෂේත්‍රයේ නව මානයක් සොයා යන රංගන ශිල්පිනියන් අතර මිෂෙල් දිල්හාරා සුවිශේෂි තැනක සිටින්නියකි. කෙටි කාලයකදී ඇය රංගන ක්ෂේත්‍රයේ ගොඩනඟා ගත් ස්ථාවරය සේම සිය හැකියා ඵලදායක කර්තව්‍යයන් සඳහා යොදාගැනීමෙන් ඇය තවත් වටිනාකමක් එක්කර ගැනීමට සමත් වනවා.

 

ඔබව මේ දවස්වල මුණගැහෙන්නේ 'මැටි කඩුලු' නිර්මාණයෙන් ?

'මැටි කඩුලු ' ටෙලි නිර්මාණය නිමල් රත්නායක මහත්මයාගේ පිටපතක් අනුව එතුමාම අධ්‍යක්ෂණය කරන නාට්‍යයක්. එහි 'කිසා' කියන චරිතයයි මම නිරූපණය කරන්නේ. ආර්ථික ප්‍රශ්න තියාගෙන ජීවත් වෙන කිසාගේ චරිතය මුලින් සැහැල්ලු වුණත් ඒ චරිතය පසුව වෙනස් වෙනවා. එය මට කරන්න ලැබුණු තවත් හොඳ චරිතයක් නිසා බොහොම කැමැත්තෙන් එකතු වෙලා ඉන්නවා.

 

මේ චරිතය තුළ වෙනසක් කරන්න ලැබුණද?

මේතාක් කළ චරිතවලට වඩා මේ චරිතය වෙනස්. ග්‍රාමීය පරිසරයක හැදෙන ගැහැනු ළමයෙක් නිසා ඒ ග්‍රාමීය ලක්ෂණ චරිතයට ආදේශ කරන්න වුණා. 'සුදු ඇදගෙන කළු ඇවිදින්' නාට්‍යයේ ආයෝමා සහ 'can you hear me' නාට්‍යයේ මහී කියන චරිතවල එකතුවක් විදිහටයි මට කිසාගේ චරිතය දැනෙන්නේ. කිසාගේ රැඩිකල් චරිත ලක්ෂණත් මේ නාට්‍ය තුළ පෙන්වනවා. ගැමි ස්වභාවය චරිතයට එකතු කරගෙන ඒ චරිතයට පුළුවන් උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.

 

කිසාගේ චරිතයත් අනෙක් චරිත වගේම ප්‍රේක්ෂකයෝ වැලඳගෙන බව ආරංචිය?

කිසාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චරිතයේ ගැමි ලක්ෂණ නිසාද දන්නේ නැහැ බොහෝ අය ඒ චරිතයට ආදරෙයි.

කෙටි කාලයක් ඇතුළත මිෂෙල්ට ප්‍රේක්ෂක හිත දිනා ගත් රහස ඔබේ තෝරා ගැනීම්ද?

මම රංගන ක්ෂේත්‍රයට එකතු වෙලා අවුරුදු හතරයි. නිර්මාණයකට සම්බන්ධ වෙද්දි මම සැලකිලිමත් වෙනවා මගේ රාමුව තුළ මම සම්බන්ධ වෙන කතාව මොකක්ද, කරන්න ලැබෙන චරිතයෙන් සමාජයට මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද යන්න. චරිතයකින් වුණත් සමාජයට ධනාත්මක බලපෑමක් වෙන දෙයක් කරන්න මම කැමැතියි.

 

ඔබ නිළියක් විදිහට ඒකාකාරී නොවී ඉන්න උත්සාහ කරනවාද?

මේ කාලය ඇතුළත මම ඒකාකාරි චරිතවලට කොටු වුණේ නැහැ. චරිත තුළ විවිධත්වයක් ගේන්න මම කැමැතියි. මට ඒ අවස්ථාව ලැබුණා. මම කළ නිර්මාණවල අධ්‍යක්ෂවරු මට ගුරුවරු වගේ මාව වෙනස් චරිතවලට තෝරාගත් නිසයි ඒකාකාරී නොවුණේ. එකම පසුබිමක චරිත ලැබුණත් ඒ චරිතවල විශේෂතාවක් මතු කරන්න මම උත්සාහ කරනවා.

 

අවුරුදු හතරක් වැනි කෙටි ගමනේ ගොඩනඟා ගත් දේ ගැන තෘප්තිමත්ද?

මම ඒ ගැන තෘප්තිමත්. 'සල් සපුනා' නාට්‍යයේ සිට ලැබුණු හැම නිර්මාණයකම මට කරන්න යමක් තිබුණා. මම වැඩ කළ නිර්මාණවලින් බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. ඒ සහායත් එක්ක මේතාක් ලැබුණ දේවල් ගැන මම තෘප්තිමත්.

 

 

මේ ක්ෂේත්‍රයේ කැපිලිවලට මුහුණ නොදී ඉන්න පුළුවන් වුණාද ?

නිර්මාණ තුළ වැඩ කරන සියලු දෙනාගෙන් ලොකු සහායක් මට හැම වෙලාවෙම ලැබෙනවා. කාගෙවත් ඊර්ෂ්‍යාවට හෝ සෘණාත්මක දේවල්වලට මුහුණ දෙන්න මට සිදු නොවීම වාසනාවක්.

 

තවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද?

වසන්ති චතුරානි මහත්මිය නිෂ්පාදනය කරන ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයා අධ්‍යක්ෂණය කරන 'සකුන පියාපත්' සහ ශාලින්ද රත්නායක අධ්‍යක්ෂණය කරන 'පෝක් වීදිය' ටෙලි නාට්‍ය විකාශය වෙන්න තියෙනවා. 'පොදු' සීසන් 2 නිර්මාණයටත් මට සම්බන්ධ වෙන්න ලැබුණා.

 

පුංචි තිරයේ දකින ඔබව සිනමාවේ දකින්න ලැබේවිද?

කැලණිය විශ්ව විද්‍යාලයෙන් කරන වෘතාන්ත චිත්‍රපටයකට මට ආරාධනා ලැබුණා. පිටපත කියවලා ඕනෑම තලයක මගේ රාමුවේ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

 

මිෂෙල් සම්මාන බලාගෙන වැඩ කරන නිළියක්ද?

ඕනෑම කෙනෙක් කැමැතියි තමන් කරන දෙයට ඇගයීමක් ලැබෙනවා නම්. මම චරිතයකට සාධාරණයක් කර තිබෙනවා නම් එය ඇගයීමකට සුදුසු නම් ඒ ඇගයීමක් ලැබෙයි.

 

සමාජ සේවයට නිතරම උර දෙන මිෂෙල් මෑතකදිත් එවැනි කටයුතු කිහිපයක්ම කළා යැයි ආරංචියි?

පසුගියදා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් කළා. එහිදි විවිධ ගස් රෝපණය කළා. අද ලෝකයේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි දේශගුණික වෙනස්වීම් සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම. වායු දූෂණයෙන් වසරකට මිලියන හතක් මිය යනවා. විශ්වවිද්‍යාල තුළ ඉන්නේ අනාගතය බාර ගන්න සිටින පිරිසක්. මම විශ්ව විද්‍යාලය පැවැත් වූ දේශනයේ අරමුණ වුණේ විශ්ව විද්‍යාල සිසුන්ගේ නිර්මාණවලට පරිසරය කියන දේ ප්‍රධාන සාධකයක් කිරීම.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මාර්ගෝපදේශ ඒකකයේ අධ්‍යක්ෂක ආචාර්ය ජනක සියඹලාපිටිය මහතා සහ වෘත්තීය මාර්ගෝපදේශක අකිල ඖෂධ බණ්ඩාර මහතා සමඟයි රුක් රෝපණ වැඩසටහන සංවිධානය කළේ. උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ සියලුම පීඨාධිපතිතුමන්ලා සහ සිසුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මේ රුක් රෝපණ වැඩසටහන සාර්ථකව කරන්න පුළුවන් වුණා.

පහුගිය දවසක මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හන්තාන සංරක්ෂණ සංගමයේ ඉෂානි ඉලංගකෝන් සිසුවිය සහ විශ්ව විද්‍යාලයේ පීඨ නවයක සිසුන් සමඟ ද එක්ව ඔවුන්ගේ ප්‍රදේශවල වැඩිහිටි නිවාසවලට වියළි ආහාර ලබාදීමේ පින්කමකුත් කළා. කොවිඩ් ප්‍රශ්නයෙන් ඇතිවුණු ආර්ථික බිඳවැටීම එක්ක ළමා නිවාස සහ වැඩිහිටි නිවාස නඩත්තු කිරීමට තිබෙන අපහසුතාව ගැන දැනගන්න ලැබුණා. ඒ නිසයි මේ කර්තව්‍යයත් කළේ. මේ කර්තව්‍යයන්ට සහය දුන් හැමෝටම ස්තූතියි.

 

මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන්වලට යොමුවීමේ යටි අරමුණක් තියෙනවද?

මම අවුරුදු 15 ඉඳන් තමයි සමාජ සත්කාරක වැඩ කරන්නේ. රංගන ශිල්පිනියක් වුණාට පස්සේ මට මාධ්‍යයෙන් ලැබුණ ඉඩ එක්ක ඒ දේ පුළුල්ව කරන්න මට හැකි වුණා. රංගන ශිල්පිනියක් ලෙස මම තැනක් හදාගෙන ඉන්නේ මම කරන නිර්මාණ බලන ප්‍රේක්ෂකයෝ නිසා. කොවිඩ් ප්‍රශ්නය නිසා ආර්ථිකය කඩා වැටිලා.මේ වගේ වෙලාවක මම රඟපාලා හොයා ගන්න මුදලෙන් මම විතරක් ජීවත්වීම වැරදියි යැයි මට හිතෙනවා. මම මගේ වෘත්තිය හදාගත්තේ ප්‍රේක්ෂකයන් නිසා. ඔවුන්ගේ සහාය නැතුව මට මේ තැනට එන්න බෑ. ඒ නිසා ඔවුන් ගැන හිතලා යමක් කරන්න ඕනේ යන අදහස ඇතුවයි මම වැඩ කරන්නේ.

Comments