අනු­ක­ර­ණය නොකර පසු­ කර යන්න... | සිළුමිණ

අනු­ක­ර­ණය නොකර පසු­ කර යන්න...

- ඔසඳ සමන් බණ්ඩාර

වීරයෙක් වෙන්න හැමෝටම බැහැ. හැබැයි වීර කතා බලන්න අපි හැමෝම කැමතියි. කලාව තුළ සටන් අධ්‍යක්ෂණය කියන්නෙත් පුහුණුව හා කැපවීමෙන් සාර්ථකත්වය ලබන්න පුළුවන් අංශයක්. වර්තමානයේ රූපවාහිනී නාළිකා හි විකාශය වන ටෙලි නාට්‍යය අතරින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිර්මාණ බොහොමයක සටන් අධ්‍යක්ෂවරයා ඔහුයි. 'දෙවෙනි ඉනිම', 'දාම්', 'සංගීතේ', 'අහස් මාලිගා', 'ධරණි', පොදු යන මෑත කාලීනව ජනප්‍රියත්වයට පත් වූ මේ නිර්මාණ හී සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු නමින් ඔසඳ සමන් බණ්ඩාරයි.

කලා කටයුතු ගැන තිබෙන මුල්ම මතක‌ෙයන් අරඹමු ?

මගෙ ගම නුගේගොඩ. පාසල් කාලෙ කලා කටයුතුවලට කැමැත්තක් හෝ අසාවක් තිබුණෙ නැහැ. සාන්ත ජෝන්ස් විද්‍යාලයේ ඉගෙන ගනිද්දී නාට්‍ය කණ්ඩායමක් ඉකෝලෙට ආපු වෙලාවක අහම්බෙන් වසන්ති රන්වලගෙ වේදිකා නාට්‍යයක පුංචි කොටසකට මාව යොදා ගත්තා. ඒ තමයි රංගනය ගැන තියන මුල්ම මතකය.

රංගනයට හෝ කලා කටයුතුවලට එන්න ආසාවක් නොතිබුණු ඔබ සටන් අධ්‍යක්ෂණයට යොමු වුණේ කොහොමද.?

පාසල් කාලයෙන් පසු වූෂු වැඩිදුර හදාරන්න චීනයට ගියා. ඒ කටයුතු අවසන් කරල වෘත්තිය ලෙස වූෂු සම්මේලනයේ සහාය පුහුණුකරුවෙක් වුණා. හමුදාවෙ වූෂු පුහුණුකරුවෙක් සහ ශ්‍රී ලංකා වූෂු සංගමයේ ජාතික පුහුණුකරුවෙක් ලෙස වැඩ කරමින් හිටපු කාලෙ තමයි "ගිනි අවි සහ ගිනි කෙළි '' ටෙලි නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුණේ. ඒ අවධිය වෙනකොට මම ප්‍රංශයේ " ටයිචි " මාෂල් ආර්ට් භාවිත කරමින් ice tea එකක වෙළෙඳ දැන්වීමක් කරල තිබුණා.

'ගිනි අවි සහ ගිනි කෙළි' මතකය ආවර්ජණය කළොත්?

'ගිනිඅවි සහ ගිනිකෙළි' ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නෙ අතර මැද දි. ඒ ටෙලි නාට්‍යය අතිශය ජනප්‍රිය වුණා. නිර්මාණශීලීව හා තාක්ෂණිකව අපේ සටන් කලාව ටෙලි නාට්‍යයක් තුළට යොදවන්න මට පුළුවන් වුණා. ඒ වෙනකොට තිබුණු අධික කාර්යබහුලත්වය නිසා නාවික හමුදාවෙන් සහ වූෂු සම්මේලනයෙන් ඉවත් වෙන්න මම තීරණය කළා. එතැන් සිට කලා කටයුතු සහ සටන් පුහුණු පන්ති පැවැත්වීම පූර්ණ කාලීනව සිදු කරනවා.

පූර්ණ කාලීනව සටන් අධ්‍යක්ෂණයට පැමිණි පසු තිබූ අභියෝග මොනවද?

වීර චරිත හරහා මැවෙන ෆැන්ටසිය ඇතුළෙ ජීවත් වෙන්න හැමෝම කැමතියි. බොහෝ රටවල සටන් අධ්‍යක්ෂවරයා තමයි කැමරා කෝණ පවා තීරණය කරන්නෙ. සටන් අධ්‍යක්ෂණය තුළ කැමරා කෝණ සහ රිද්මය වෙනස්. සාමාන්‍ය අධ්‍යක්ෂවරයෙක් සටනක් අධ්‍යක්ෂණය කරන්න ගියාම ගැටලු එන අවස්ථා එනවා. ලංකාවේ ඇතැම් අධ්‍යක්ෂවරු මට ඒ නිදහස ලබා දුන්නා.

මේ කාර්යයේදි සටන් කලාව පිළිබඳ දැනුම්වත් භාවය වැදගත්. අත්දැකීම් පමණක්ම ප්‍රමාණවත් නැහැ. ලංකාවේ දිනපතා ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් ලක්ෂ ගාණක් ඉන්නවා. චිත්‍රපටයක් හැදුවම විවිධ ලෙස වාරණය කළත් ටෙලි නාට්‍යයවල ගුණාත්මක භාවය ගැන කවුද වගකීමක් ගන්නෙ. ලෝක මට්ටමින් කාස්ටින් ඩිරෙක්ටර් තමයි නිර්මාණයක චරිත සඳහා නළු නිළියන් තෝරන්නෙ. හැබැයි ලංකාවෙ මිල කියන සාධකය මතයි එය තීරණය වෙන්නෙ.

ඔබ දායකත්වය ලබා දෙන නිර්මාණ ඔය චෝදනාවලින් නිදහස් කරන්න පුළුවන් ද?

ප්‍රශස්ථ මට්ටමේ නිර්මාණ පමණක් කරනවා යැයි හිතුවොත් ලංකාවෙ කලා කටයුතු කරන්න වෙන්නෑ. මේ ක්‍රියාවලිය ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය යුතුයි. මාව අනුකරණය කරන අය දැන් ඉන්නවා. මං ඒ අයට කියන්නෙ රිද්මය වෙනස් කරමින් මගෙන් එහාට යන්න. ලංකාවෙ සටන් කලාව තුළ මං එක්ක තරග කරන්න කෙනෙක් හැදෙනවා නම් මං කැමතියි.

ඔබට පුළුවන් ද පසු පරම්පරාවක් නිර්මාණය කරන්න?

ඔව්. මට ලොකු කැමැත්තක් තියෙනව ඇකඩමියක් පටන් ගන්න. දැනට මම පුහුණුවීම් ඇතුළෙ නළු නිළියන්ටත් දැනුම ලබා දෙනවා. හැබැයි දවසෙන් දෙකෙන් හොඳ මට්ටමකට පුහුණු කරන්න බැහැ.

 

අධ්‍යක්ෂණයේ සිට රංගනයට ඒම තුළ යම් පසුගාමී බවක් තියෙනවා යැයි හිතන්නේ නැද්ද?

මම 'ධරණි' ටෙලි නාට්‍යයේ රංගනයට එක් වුණේ ලක්සිරි වික්‍රමගේ මහතා ගේ ඉල්ලීමක් මත. රංගන ශිල්පියෙක් කිව්වම පුළුල් අර්ථයක් තියෙන්නෙ. මට තවම සෑහීමට පත් වෙන්න බැහැ මගේ රංගනය ගැන. උත්සාහ කරනව එය තවදුරටත් සාර්ථකව කරන්න. ධරණි ටෙලි නාට්‍යය හරහා ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙක් ටෙලි නිර්මාණයක සටන් කරනවා. මේ සටන් නිසාම ටෙලි නාට්‍යය නරඹන විශාල පිරිසකුත් ඉන්නවා.

ඔබේ දායකත්වය සැපයූ සිනමා නිර්මාණ මොනවද?

මුලින්ම මම චිත්‍රපටයක් විදියට දායක වුණේ ප්‍රදීප් ධර්මදාසගේ 'අයිස් ක්‍රීම්' කියන චිත්‍රපටයට. එය තවම තිරගත වුණේ නැහැ. 'දේදුණු ආකාසේ' , 'ගිරිවැසිපුර' , 'නයිට්‍රයිඩර්' , 'රෂ්', 'යූ ටර්න්' යන චිත්‍රපට සඳහා සටන් අධ්‍යක්ෂවරයා ලෙස මම සම්බන්ධ වුණා.

රසික ආකර්ෂණය දිනාගත් සටන් කලාවේ නිරත ශිල්පීන්ට නිසි ඇගයීමක් ලැබෙනවද ?

ලංකාවෙ සම්මාන උලෙළ ගණනාවක් තියෙනවා. හැබැයි මේ අංශය වෙනුවෙන් නිසි ඇගයීමක් ලැබෙන්නෙ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් ජූරියේ හෝ කුසලතා සම්මානයක්වත් ලබා නොදීම කනගාටුවට කාරණයක්. මගෙන් පස්සෙ එන අයගෙ කැපවීමට හෝ උත්තේජනයක් ලෙස යම් ඇගයීමක් ලැබෙනව නම් වටිනවා.

Comments