ඊළඟ අරමුණ දෙස් විදෙස් ශිල්පීන් සමඟ සිනමා නිර්මාණයක් කරන්න - නිහාල් සංජය | සිළුමිණ

ඊළඟ අරමුණ දෙස් විදෙස් ශිල්පීන් සමඟ සිනමා නිර්මාණයක් කරන්න - නිහාල් සංජය

සිනමා ශාලා වෙත නැවත ප්‍රේක්ෂකයන් ගෙන්වා  ගත හැකි ආකාරයේ නිර්මාණ බිහි කළ හැක්කේ ප්‍රේක්ෂකයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමෙනුයි.

රංගන ශිල්පියෙක්, නිෂ්පාදන කළමණාකරු‍ෙවක් ලෙස සැලකිය යුතු කාලයක් කලාවේ විවිධ ඉසව් සොයා ගිය ඔහු මෙවර ‘සිනමා අධ්‍යක්ෂණයෙන් නව මානයක් සොයා යන්නට උත්සාහ දරමින් සිටිනවා. මේ දිනවල තිරගතවන ‘වස්සානේ සිහිනය‘ ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. අධ්‍යක්ෂණ භූමිකාවෙන් කරළියට පැමිණ සිටින ඔහු නමින් නිහාල් සංජයයි.

 

කුරුණෑගලට නුදුරු වදාකඩ ගමේ ඉපදී, වදාකඩ මහා විද්‍යාලය සහ පොල්ගහවෙල සා/බර්නදෙත් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ නිහාල් සිය අතීත මතක සමඟ කතාව ආරම්භ කළා.

" ඒ දවස්වල කුරුණෑගල සිනමා ශාලා පහක් තිබුණා. සිකුරාදා පාසල නිම වුණු ගමන් මම කෙළින්ම ගියෙ සිනමා ශාලාවකට චිත්‍රපටයක් නරඹන්න. එකම දවසේ සිනමා ශාලා දෙකක චිත්‍රපට බලපු දවසුත් තිබුණා. පුංචි කාලෙ මගෙ තිබුණු ලොකුම හීනය චිත්‍රපටයක රඟපෑම."

ඒ හීනය හැබෑවක් බවට පත් කරගත් ඔහු කැමරා ශිල්පී ලලිත් ගුණවර්ධන නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ ‘ ශක්ති ‘ චිත්‍රපටයෙන් රංගනයට පිවිසුණා. සිංහල සිනමාවේ යුගයක් නිර්මාණය කළ ප්‍රභාත්මක රංගන ශිල්පීන් දෙපළවන විජය කුමාරතුංග සහ ගාමිණී ෆොන්සේකා සමඟයි ඔහු සිය කුලුඳුල් සිනමා රංගන ප්‍රවේශය ලබන්නෙ. ‘වියරු මිනිසා‘ , ‘පාලම යට‘, ‘මහමෙර උසට‘ වැනි චිත්‍රපටවල රංගන දායකත්වය ලබා දෙන අතර සිනමාවේ ඔහුට ආවේණික තැන සොයමින් සිටින අතරතුර තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙක් ඔහුට මුණ ගැසෙනවා.

"1988 බුඩි කීර්තිසේන ඔහුගේ අධ්‍යාපනික අවශ්‍යතාවක් වෙනුවෙන් වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒ සඳහා නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එතැන් සිට අනෙක් අංශ බොහෝමයකට දායක වෙන්න මට පුළුවන් වුණා. එච් ඩී ප්‍රේමරත්නගෙ ‘සප්ත කන්‍යා‘ චිත්‍රපටයේ ප්‍රචාරක කළමනාකරු ලෙස කටයුතු කළ අවධියේ දි ඊ ඒ පී සමූහ ව්‍යාපාරයේ සෝමා එදිරිසිංහ හඳුනා ගන්න අවස්ථාව ලැබීම මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. එවක ‘සෙයිලම‘, ‘විසිදැල‘ ආදී චිත්‍රපට හරහා කළමනාකරුගේ භූමිකාවෙන් ඔබ්බට ගිහින් විදේශීය රටවල කලාකරුවන් ලංකාවට රැගෙනවිත් ප්‍රසංග සංවිධානය කිරීමේ කටයුතු සඳහා සක්‍රීයව දායක වෙන්න ඉඩ ලැබූණා."

‘වන්ෂොට්‘ චිත්‍රපටයට දායක වීමත්, ඉන්දියානු කාර්මික ශිල්පීන් හඳුනා ගැනීමත්, ඔවුන් සමඟ සම්බන්ධතා ගොඬනඟන්නට ලැබීමත් ඔහුව චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවට රැගෙන ගියා. අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔහුගේ කුලුඳුල් සිනමා ප්‍රවේශය වන ‘වස්සානේ සිහිනය‘ චිත්‍රපටයට ද දීර්ඝ ඉතිහාස කතාවක් තිබෙනවා.

" දැන් තිරගත වුණත් මෙය වසර දහ තුනකට දාහතරකට පෙර නිෂ්පාදනය කළ චිත්‍රපටයක්. දර්ශන තලවල වැඩ කරමින් සම අධ්‍යක්ෂණයෙන් දායක වූ නැසීගිය ඇන්ටන් කිංස්ලිවත්, මුල් නිෂ්පාදකවරයාවන ඉර්ෆාන් සම්සුදීන්වත් විශේෂයෙන් සිහිපත් කළ යුතු යි. පසු නිෂ්පාදන අධ්‍යක්ෂණයත්, ඩිජිටල් පිටපතේ අධ්‍යක්ෂණ කටයුතුත් මම සිදු කළා. “

“චිත්‍රපටයක් තිරගත නොකර සිටීමට වඩා තිරගත කිරීම තමයි වැදගත්. බොහෝ දෙනාගේ ඉල්ලීම මත කොරෝනා වසංගත අවධිය තුළ වුවත් යම් අවදානමක් අරගෙන පසුගිය මාර්තු 25වනදා මම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළා. අනෙක් සියලු බැඳීම්වලට වඩා පවුලේ බැඳීම වැදගත් හා ශක්තිමත් බව හැඟවෙන කතා පුවතක් අැතුළත් මෙම චිත්‍රපටයේ සනත් ගුණතිලක, කාංචනා මෙන්ඩිස් , රොෂාන් පිලපිටිය, ක්ලීටස් මෙන්ඩිස්, සඳලි වැලිකන්න, මංජුලා තිලිණි, නිලන්ති ඩයස් ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙනවා."

‘වස්සානේ සිහිනය‘ නමින් පසු කාලීනව හැඳින්වුව ද මේ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩල අනුමැතිය ලබන්නේ ‘සෙනෙහසක සිහිනය‘ යන නමින්. ‘වස්සාන සිහිනය‘ කොරෝනා වසංගතය ද නොතකා මේවන විට සිනමා ප්‍රේක්ෂකාගාරය පිනවමින් සිටිනවා.

" සිනමාව කියන්නෙ මගේ එකම යැපීම් මාර්ගය නෙවෙයි. 2003 වසර වෙනකොට මගේම චිත්‍රපට ප්‍රචාරක සහ ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කළා. එය දැන්වීම් ප්‍රචාරණයට අවශ්‍ය යන්ත්‍ර ගෙන්වා බෙදා හැරීම දක්වා වර්ධනය කළා. වර්තමානයේ දී චිත්‍රපටයක් රූගත කරල නිෂ්පාදන කටයුතුවලින් අනතුරුව මුදා හරින්න අවශ්‍ය පූර්ව මෙහෙයුම් කටයුතු සියල්ල මා විසින් සිදු කරනවා. මේ ක්‍රියාවලියේ ඩිජිටල් සහ තාක්ෂණ කටයුතු සඳහා මගේ පුත් කිසල් සංජය උදව් කරනවා. ඒ වගේම මගෙ බිරියගෙ සහයෝගයත් අගය කළ යුතුමයි." නිහාල් කියන්නෙ කලාකරුවෙක් වගේම ව්‍යාපාරිකයෙක් ලෙස ඔහු අත්පත් කරගත් සාර්ථකත්වය ගැන.

ඔහු තම ආදරණීයයන් තම ගමනට ලබා දෙන සහයෝගය පිළිබඳ ද සිහිපත් කළේ සතුටින්.

"මම හැමදාම එක් චිත්‍රපටයක් හෝ නරඹන්න කාලය වෙන් කරගන්නවා. මේ වෙනකොට නරඹා ඇති දෙස් විදෙස් චිත්‍රපට සහ ප්‍රචාරණ කටයුතු සිදු කළ නිර්මාණ හරහා ලබාගත් අත්දැකීම්වලින් ඉදිරියේ දි විදේශීය හා දේශීය කලාකරුවන් සම්බන්ධ කරමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. තරගකාරී ලෝකය තුළ චිත්‍රපට පවා තරගකාරී ලෙස නිර්මාණය විය යුතුයි. දිනෙන් දින චිත්‍රපට ශාලා වැසෙමින් යන එක අනාගත චිත්‍රපට කර්මාන්තයේ පැවැත්මට විශාල තර්ජනයක්. කොරෝනා වසංගත තත්ත්වය තුළ චිත්‍රපට ශාලාවලට යෑමට නොහැකි වූ නිසා විකල්ප මාර්ගවලට බොහෝ දෙනා යොමු වුණා. සිනමා ශාලා වෙත නැවත ප්‍රේක්ෂකයන් ගෙන්වා ගත හැකි ආකාරයේ නිර්මාණ බිහි කළ හැක්කේ ප්‍රේක්ෂකයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමෙනුයි. එය කරන්න මා උත්සාහ කරනවා."

ඔහු පවසන්නේ සිනමාව හෝ කලා නිර්මාණ පිළිබඳ සංවේදීතාවයක් සහිත පුද්ගලයින් ඒ සම්බන්ධ නිලතලවල කටයුතු කිරීම අනාගත සිනමාවේ ප්‍රගමනයට වැදගත් වන බව යි. කලාව සාහිත්‍යය ගැන අවබෝධයක් සහ ළැදියාවක් ඇති මේ අපූරු රසවතා සමඟ අප කළ රස මුසු කතා බහ නිමා කර අප ඔහුගෙන් සමු ගත්තා.

Comments