මාව නොපෙ­නුණාට මම හැම­දාම වේදි­කාවේ හිටියා | සිළුමිණ

මාව නොපෙ­නුණාට මම හැම­දාම වේදි­කාවේ හිටියා

 

හඳගම අවුරුදු 11ක් තිස්සේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ පිටපත ලියාගෙන මම නිදහස් වනතුරු බලන් හිටියා

ලංකාවේ අපේ කාලයේ බිහිවුණු විශිෂ්ටතම වේදිකා රංගන ශිල්පියෙක් වූ සෞම්‍ය ලියනගේ වසර 11කට පසුව යළිත් වේදිකාවට ප්‍රවේශ වී සිටී. ඒ ගතවූ දශකය තුළ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශිෂ්ට පරිචයක් සහිත විද්වතෙක්, ජාත්‍යාන්තර අත්දැකීම් සහිත ප්‍රමාණිකයෙක් හා ලංකාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ මහාචාර්ය තනතුරින් පිදුම් ලැබූ ගෞරවාන්විත මනුෂ්‍යයෙක් ලෙසය. සිය අධ්‍යයනයන් පර්යේෂණ ක්‍රියාවලීන්ගෙන් ශිෂ්‍ය පරම්පරාවක් බිහිකරමින් සිටින අතර යළි රංගන ශිල්පියෙක් ලෙස වේදිකාවට ගොඩවන මහාචාර්ය සෞම්‍ය ලියනගේ සමඟ රසඳුන සමඟ කළ කෙටි පිළිසඳරකි.

 

වසර ගණනාවකට පසුවයි ඔබ වේදිකා රංගනයට ප්‍රවිෂ්ට වෙන්නේ. පසුගිය වකවානුව ගත වු තැනින් කතාව පටන් ගමු ?

2010 වසර වෙනතුරු මම වේදිකාවේ සක්‍රීයව වැඩ කළා. මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට මට ඔස්ට්‍රේලියානු රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා. එය පර්යේෂණ ශිෂ්‍යත්වයක්. ඒ නිසා මම 2010 වසරේ ඔස්ට්‍රේලියාවට යනවා. ඒක ටිකක් බරපතළ අධ්‍යාපන ක්‍රියාවලියක්. අවුරුදු තුනහමාරක් හතරක් වගේ දීර්ඝ කාලයක් මගේ උපාධි නිබන්ධනයේ කටයුතු සඳහා වෙන් කරන්න වුණා.

ලංකාවට වරින් වර කීප වතාවක් ආවත් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ලාටෝම් විශ්වවිද්‍යාලයේ තමයි මගේ අධ්‍යයන කටයුතු සිදුවුණේ. අධ්‍යාපන කටයුතු ඉවර කරල 2014 වසරේ අග මම ලංකාවට ආපහු ආවා. ඒත් සමඟම මට විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙන්න සිද්ධ වුණා.

 

විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ජීවිතය ඇතුළෙ ඔබ හිර වුණා ද?

කිසිසේත්ම නෑ. මේ තෝරා ගැනීම මං කැමැත්තෙන් කළ දෙයක්. නළුවෙක් හැටියට වැඩ නොකළාට විශේෂයෙන් නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රය වර්ධනය කිරීමට ඉටු කළ යුතු වගකීම් සම්භාරයක් විශ්වවිද්‍යාලයෙන් මා වෙත පැවරුණා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා විදිහට මට කටයුතු කරන්න සිද්ධ වුණා. පශ්චාත් උපාධි මට්ටමේ ප්‍රාසංගික කලා විෂය ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා කටයුතු ගණනාවක් සිදු කළා. ව්‍යාපෘති,පර්යේක්ෂණ, සහ අන්තර්ජාතික පරිසංවාද ඇතුළු විවිධ කර්තව්‍යයන් ගණනාවකට මූලිකත්වය ගෙන වැඩ කටයුතු කළා. විදේශ විශ්වවිද්‍යාල සමඟ කටයුතු කරන්න පටන් ගත්තා. මේ කාර්යබහුලත්වය නිසාම නාට්‍ය රංගනයට එක්වෙලා ලංකාවේ වේදිකා නාට්‍ය තුළ වැඩ කරන්න මට සෘජුව කාලය කළමනාකරණය කර ගැනීම අපහසු වුණා.

නමුත් මේ ගෙවුණු දශකය ඇතුළත නාට්‍ය හා රංග කලා දෙපාර්තමේන්තුවේ මගේ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් මේ වන විට තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන්, නාට්‍ය රචකයන්, අධ්‍යක්ෂකවරු හැටියට ලංකාවේ වේදිකාව තුළ වෘත්තීමය වශයෙන් නියැළෙමින් සිටිනවා. ඉතින් වේදිකාවේ මාව නොපෙනුනාට මා වේදිකාවේ හිටියා. එය මට ඉතාමත් සතුටට කාරණයක්.

 

වේදිකාවේ සක්‍රීයව වැඩ කළ අවධියක් ඔබ පසු කළා. ‘ඇන්ටික් කඩයක මරණයක්‘ නාට්‍යයට කලින් ඔබේ අවසන් රංගන අත්දැකීම් ගැන මතකය කොයිවගේ ද?

2010 වෙනකොට මම රාජිත දිසානායකගේ "ආපසු හැරෙන්න බැහැ " යන වේදිකා නාට්‍ය රඟපෑවා. එය රාජ්‍ය නාට්‍ය උළෙල දක්වා අපි ගෙන ගිය නාට්‍යයක්. ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා සම්මානය මට ලැබුණා. ඉන්පසුව ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ "කළම්බු කළම්බු" වේදිකා නාට්‍යයේ මා රඟපාමින් හිටියා. එයත් කිසියම් සන්ධිස්ථානයක් සලකුණු කළ නාට්‍යයක්. එය ඉන්දියාවේ අන්තර්ජාතික ස්ත්‍රී නාට්‍ය උළෙල සඳහා තෝරාගෙන නවදිල්ලි නුවර සහ මුම්බායි නගරයේ ඉන්දියානු ප්‍රේක්ෂකයන් සඳහා ප්‍රදර්ශන වාර දෙකක් පැවැත්වූවා. ඊට පසුව මම විශාල නාට්‍ය ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා. ඉන්දික ෆර්ඩිනැන්ඩු ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා අධ්‍යනය කටයුතුවල යෙදෙමින් හිටියා. ඔහුගේ ආචාර්ය උපාධියේ නිර්මාණාත්මක ක්‍රියාවලියක් සඳහා දැවැන්ත නාට්‍යයක් නිෂ්පාදනය කළා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක පර්යේෂණ නාට්‍යයක් නිසා අවාසනාවකට වගේ මෙම නාට්‍ය දීර්ඝ කාලයක් පෙන්වන්නට අපට හැකි වුණේ නැහැ. නමුත් මගේ රංගන ජීවිතයේ එය අතිශය වැදගත් කඩඉමක් විදිහට සඳහන් කරන්න මම කැමතියි.

 

 

 

 

 

 

අශෝක හඳගමගේ "ඇන්ටික් කඩයක මරණයක්"නාට්‍යයට සම්බන්ධ වීමට විශේෂ හේතුවක් තිබුණද.?

 

අශෝක හඳගම කාලෙකට කලින් මේ පිටපත සකස් කරලා තිබුණේ. 2010 දී ඔහු මට ආරාධනා කළා ඒ නාට්‍ය කරමු කියලා. ඒ වසරේ මට ඔස්ට්‍රේලියාවට යන්න සිද්ද වුණා.

ඒ නිසා නාට්‍ය කරන්න බැරිවුණා. අශෝක හඳගම මහත්මාට මා නැතිව මේ නාට්‍ය කරන්න අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඔහු වසර ගණනාවක් මා නිදහස් වන තුරු හිටියා කිව්වොත් නිවැරදියි.

 

 

ඇයි ඔහු ඔබවම මේ නිර්මාණයට සම්බන්ධ කරගන්න අවුරුදු 10ක් හිටියෙ ?

මේ නාට්‍යයට මං සම්බන්ධ වෙන්නත් අශෝක හඳගම අවුරුදු දහයක් බලාගෙන ඉන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මෙම නාට්‍ය පදනම් වන්නේ අශෝක හඳගම නිර්මාණය කරපු ‘අක්ෂරය ‘නමැති චිත්‍රපටය පදනම් කරගෙනයි.‘අක්ෂරය‘චිත්‍රපටයේ එක් ප්‍රධාන භූමිකාවක් මා නිරූපණය කළා. මා නිරූපණය කළේ කෞතුකාගාරයේ මුරකරු රස්සාව කරන මනුෂ්‍යයකුගේ චරිතයක්. ඒ චරිතයේම යම්කිසි වර්ධනීය අවස්ථාවක් වියපත් චරිතයක් විදිහට ඒ නාට්‍යයෙන් ප්‍රකාශයට පත්වෙනවා. චිත්‍රපටයේම චරිතය තමයි මේ නාට්‍යයේ තියෙන්නෙ. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වුණා චිත්‍රපටයේ භූමිකාව නිරූපණය කළ නළුවාම මේ චරිතයට සම්බන්ධ කරගන්න. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ නිර්මාණය වෙනුවෙන් දෙන්නටම ටික කාලයක් ඉන්නත් සිද්ධ වුණේ.

මට පොඩි නිදහසකුත් ලැබුණා ඔහුත් එක්ක වැඩ කරන්න . මොකද විශාල කාලයක් කැප කරන්න ඕන නාට්‍යයක් පුහුණු වීම සඳහා. අපි මාස කීපයක් පුහුණුවීම් කළා. මූලිකව කොරෝනා තත්ත්වයත් සමඟම zoom තාක්ෂණයෙන් මූලිකම සංවාද සිදුකළා. ඊට පස්සේ පිටපත සමඟ වැඩ කළා. අනතුරුව අපි භෞතික වශයෙන් මුණගැහිලා නාට්‍ය නිර්මාණය කරන කර්තව්‍යයට අත තිබ්බා. එහි ප්‍රතිඵලය තමයි ඔබ දකින්නේ.

 

මහාචාර්යවරයෙක්, රංගන ශිල්පියෙක් විදිහට ඔබට අපේ සමාජය දැනෙන හැඟෙන ආකාරය ගැන අවසන් වශයෙන් කතා කරමු ?

මම විශ්වවිද්‍යාලය තුළ මහාචාර්යවරයෙක් විදියට වැඩ කරන්නෙත් ,වේදිකාව තුළ නළුවෙක් හැටියට වැඩ කරන්නෙත් එක්තරා විදිහකට මේ සමාජය සමඟ සිද්ධ කරන්න ඕන ගනුදෙනුව පිළිබඳ පැහැදිලි අදහසකින්. නාට්‍ය හා රංග කලාව පිළිබඳ පළමු මහාචාර්ය තනතුරක් දරන්නේ මමයි.

විශ්ව විද්‍යාල භූමිකාව සහ නළුවෙකුගේ භූමිකාව යන දෙකම එක්තරා හුයක් සහ ප්‍රධාන ධාරණාවක් තියෙනවා. ඒ තමයි සමාජය මීට වඩා යහපත් තැනකට තල්ලු කර ගැනීමට කරන උත්සාහය. මෙම පුළුල් ක්‍රියාවලිය වෙනුවෙන් මගේ භූමිකාව මේ මොහොතේ මෙහෙයවමින් ඉන්නේ.

 

Comments