දක්ෂ­යන් ගොඩයි අනා­ග­තය පැහැ­බ­රයි | සිළුමිණ

දක්ෂ­යන් ගොඩයි අනා­ග­තය පැහැ­බ­රයි

‘උදාගිර‘ ටෙලිනාට්‍යයේ මගේ මල්ලිට රඟපෑවේ අපේ අගමැතිතුමා

 

'රේඛාව' චිත්‍රපටයට එක්වීම වැළකුණේ ඉස්කෝලේ ගුරුවරු නිසා

 

ඇන්ජලින් සහ සුජාතා මුල්වරට චිත්‍රපට ගීත ගායනා කළේ මගේ රංගනයකට

 

ලීනා ද සිල්වා, 50 දශකයේ සිනමාවේ ජනකාන්ත නිළියක වූ ඇය, සිනමා රංගනයට එක් වන්නේ ‘අහංකාර ස්ත්‍රී‘ චිත්‍රපටය වෙනුවෙන් ලතා වල්පොල සහ කේ. රාණි විසින් ගැයූ ‘මනහාර මේ හෙළභූමි‘ ගීතයෙන්. මේ ජ්‍යෙෂ්ඨ ශිල්පිනිය ලංකාවෙන් දුරු රටකට වී දිවි ගෙවුවත් තවමත් ඇයට පෙම්බඳින රසිකයන් ලංකාව පුරාවට ජීවත් වෙනවා.

 

‘සුරතලී‘ චිත්‍රපටයේ මුල්වරට ප්‍රධාන චරිතයකට පණ පෙවූ ඈ පසුව ‘සුනීතා‘, ‘සුන්දර බිරිඳ‘, ‘සුජාගේ රහස‘, ‘සොහොයුරෝ‘, ‘නළඟන‘ වැනි චිත්‍රපට ගණනාවක වෙනස් චරිත රූපණයෙන් අපේ මතකයේ ලැඟුම් ගන්නවා. සිංහල සිනමාවේ තවත් එක් පුරාවෘතයක් බඳු මේ විශිෂ්ට රංගන ශිල්පිනිය ඇගේ මියුරු මතක සමඟ 'රසඳුන' හා එක්වුණා.

"මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන්. පාසැලේදි ගායනයට, නර්තනයට වගේම පාසැල් නාට්‍යවල රඟපා දස්කම් දැක්වුවා. ඒ නිසාම ගුරුවරු වගේම මිතුරියන්ගෙ වුණත් ලොකු ආදරයක් මට ලැබුණා. 'කුවේණි' කියන නාට්‍යයේ සීසපටිකා කියන චරිතයත් මම ඒ කාලේ රඟපෑවා. ඒ කාලයේ පණීභාරතයන් වගේ ගුරුවරුන් යටතේ මං පාසැලේ නැටුම් කලාව ඉගෙන ගෙන, ශේෂා පලිහක්කාර යටතේ ඉන්දීය නර්තනය ඉගැනීම ආරම්භ කළා."

'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයේ ලංකා මාතාව ලෙස නර්තනයට අවස්ථාව ඇයට ලැබෙන්නෙ පාසල් කාලයෙදිමයි. එහෙත් අවාසනාවකට 'රේඛාව' චිත්‍රපටය වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කළ ඇරයුම ඇයට මගහැරී යනවා.

" ඒක අපූරු මතකයක්. ලෙස්ටර් මහත්තයා සහ ශේෂා පලිහක්කාර මගේ නර්තන ගුරුතුමා ම නිවෙසට ඇවිත් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට යෝජනා කළා. නමුත් ඒ කාලේ මගේ පාසැලේ විභාගය. ගුරුවරු මගේ පියා පාසැලට කැඳවලා මාව චිත්‍රපටවලට යවන්න එපා කියලා අවවාද කළා. ඉතින් මට 'රේඛාව' මගහැරුණා.

ඉන් මාස කිහිපයකට පස්සේ සිරිල් පී. අබේරත්නයන් 'සුරතලී' චිත්‍රපටය සඳහා මට ඇරයුම් කරන්නෙ. එවර නම් රඟපෑ යුතුමයි කියලා එකහෙළා මම කිව්වාම රඟපාන්න කාගේත් අවසරය ලැබුණා."

'හර්බට් - රුක්මණී', 'ප්‍රේම් - ෆ්ලෝරීඩා' වැනි සමකාලීන යුග සංකලනයන් අතරට 'රවින්ද්‍ර - ලීනා' සංකලනය එක්වන්නේ ද මෙම කාලයේ දී ම යි. ඔවුන්ගේ සුසංයෝගය චිත්‍රපට ගණනාවක් ඔස්සේ අපට අමරණීය මතක රැසක් එක් කළා. අවාසනාවකට අද රවින්ද්‍ර රූපසේනයන් ජීවතුන් අතර නෑ. ඔහු වැනි ප්‍රතාපවත් චරිතයකට පතිනිය වීමේ භාග්‍යය ජීවිතයේ දී ලීනා ද සිල්වාට හිමි වුණා.

"රවින්ද්‍ර මගේ සැමියා. ඔහු චිත්‍රපටවලට එන්නත් කලින් ඉඳලම හොඳ ගායකයෙක්. චිත්‍රපට දහයක්, එකොළහක් පමණ අපි එකට රඟපෑවා. ඒ කාලේ තමයි අපේ සම්බන්ධෙ පටන් ගන්නෙත්. 1960 අපි විවාහ වුණා. ඔහු බොහොම කඩවසම් හොඳ හිතක් තිබුණු කෙනෙක්. අද ඔහු අප අතර නැතත් හැමදාටම ඔහුගේ හෘදයාංගම බව මතකයේ රැඳී තියේවි."

'රවින්ද්‍ර - ලීනා' යුවළ ගේ එකම දියණිය පූර්ණා. පූර්ණා වෑත්තෑව. ඇය දක්ෂ ගේය පද රචිකාවක්. පූර්ණා සිය මව ලීනා සමඟ ජීවත් වෙන්නෙ කැනඩාවේ.

ජනකාන්ත රංගන ශිල්පිනියක් ලෙස ලීනා ද සිල්වාගේ ස්වර්ණමය සිනමා අවදියේ බොහෝ ප්‍රතිචාර ලැබුණු චරිතයක් ලෙස 'නළඟන' චිත්‍රපටයේ ඇය කළ චරිතය කැපී පෙනෙනවා.

'නළඟන' චිත්‍රපටය මම ගොඩක් ආසාවෙන් රඟපෑ නිර්මාණයක්. එයට හේතුව වුණේ රුක්මණී දේවිය. අපේ ආදර ඩේසි අක්කා. ඇය සමඟ එම චිත්‍රපටයේ මටත් රවින්ද්‍රටත් රඟපාන්න ලැබුණු එකම සතුටක්. චිත්‍රපටයේ මම කළේ තරමක් වෙනස් චරිතයක් වුණත් ප්‍රේක්ෂකයන්ගේ වගේම විචාරකයන්ගෙත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. නමුත් අවාසනාවකට චිත්‍රපටය එක් එක් වාරණ නියෝගවලට ලක්වුණා. පසුව චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණත්, එයට හෝ එහි රඟපෑ නළු නිළියන්ට කිසිදු ඇගයීමක් ලැබුණේ නෑ" ''මමත් රවින්ද්‍රත් විවාහයෙන් පසුවත් රඟපෑවා. මට බිමල් පුතා සහ පූර්ණා දුවත් හම්බවුණාට පස්සේ පෙර මෙන්ම නිදහසකින් රංගනයේ නියැළුණේ නෑ කලක් ගත වෙනතුරුම.

ඒත් පසුකාලීනව නැවත රංගනයට එක් වෙද්දිත් මට හොඳ චරිත ලැබුණා. ‘ගඟ අද්දර‘, ‘යහළු යෙහෙළි‘, ‘කලියුගය‘, ‘කිරිසුවඳ‘, ‘වාලම්පූරි‘, ‘කැලෑමල්‘, ‘පොරොන්දුව‘ වගේ චිත්‍රපට ගණනාවකම මම වැඩිහිටි චරිත රඟපෑවා."

'පුංචි තිරයට පිවිසෙන්නෙත් ඔබ ඒ කාලෙමද' ඇයට යොමු කළ පැනයට ඇය සුපුරුදු සිනහව සමඟම පිළිතුරු දුන්නා.

"මම ටෙලිනාට්‍යයට එන්නෙත් ගොඩක් පසුකාලීනව. 'හිමි අහිමි' මගේ පළවෙනි ටෙලිනාට්‍යය. ඊට පස්සේ රංජන් ද සිල්වාගේ 'සුදු පරවියෝ' ටෙලි නාට්‍යයේ මම කළ චරිතයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. 'උදාගිර' ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය හරි විශේෂයි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් ඒ කාලේ මතක හැටියට ධීවර ඇමති. එතුමා මගේ මල්ලි ලෙස රඟපෑවා. ඒ මතකය හරි සුවිශේෂීයි."

ලීනා ද සිල්වා පිළිබඳ මතකයට නඟන විට සිනමාවේ ගීතාවලියක්ම අදටත් රසිකයන්ට බොහෝ සමීපයි. ඒ මියුරු ගීතාවලිය ගැනත් ඇය ඉතාම සතුටින් කතා කළා.

"මගේ චිත්‍රපට ගීත අදටත් හරි ජනප්‍රියයි. මම සිනමාවට එන්නෙම ලතා වල්පොලත්, කේ. රාණිත් ගායනා කළ 'මනහාර මේ හෙළභූමී' ගීතයෙන්. ඊට පස්සේ මට ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මිය විශාල ගීත සංඛ්‍යාවක් චිත්‍රපට වෙනුවෙන් ගායනා කළා. 'සොහොයුරෝ' චිත්‍රපටය වෙනුවෙන් මට මුල්වරට ගීත ගායනා කරලා තමයි ඇන්ජලින් ලැනරෝල් (ගුණතිලක) සහ සුජාතා අත්තනායක සිනමාවට අවතීර්ණ වෙන්නෙ. දුකට කාරණාවක් වන්නේ අද ජී. එස්. බී. අක්කත්, ඇන්ජලිනුත් අපි අතර නැති වීම"

ගීතා කුමාරසිංහ නිෂ්පාදනය කළ 'අනුරාගයේ අනන්තය' චිත්‍රපටයෙන් පසු ලීනා ද සිල්වා සිනමාවේ යළි දක්නට ලැබුණෙ නෑ. ඇය සිය දරු මුනුපුරන් සමඟ කල් ගෙවන්න විදේශගත වුණත් කැනඩාවේ සිට පසුව සිංහල සිනමාවට දායක වුණේ. ඒ ඇයට නිමල් පෙරේරා නමැති සහෘදයගෙන් ඇයට ලැබුණු යෝජනාවක් අනුව.

අද වන විට ආදරණීය මවක්, මිත්තණියක් ලෙසින් කැනඩාවට වී තම ජීවිතයේ සැඳෑ සමය ඉතා සතුටින් ගත කරන ඇය වත්මන් රංගන ශිල්පීන් දෙස බලන්නෙත් හරිම සුබවාදී දැක්මකින්.

"අද කාලේ ගොඩක් දක්ෂ අය ඉන්නවා. මට ඔවුන් ගැන හරිම ආදරයක්, බලාපොරොත්තු සහගත හැඟීමක් තියෙන්නේ. “

ඇගේ සිනා පිරි ඒ් දයාද්‍ර බැල්ම තුළ ගැබ්ව ඇත්තේ සියල්ලන්ටම යහපත ප්‍රාර්ථනා කරන සුබවාදී ගැහැණියකගේ ජීවිත දර්ශනයම නොවන්නේ දැයි සිතුණා.

Comments