ආදරණීය පැවැත්මක් ඇති කාන්තාවට ලෝකයම සුන්දර කළ හැකියි | සිළුමිණ

ආදරණීය පැවැත්මක් ඇති කාන්තාවට ලෝකයම සුන්දර කළ හැකියි

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා රෙජි­මේන්තු මධ්‍ය­ස්ථා­නයේ පළමු ශ්‍රේණියේ නිල­ධා­රි­නි මේජර් ගීතා සම­න්මලී රන්කොත්ගේ

 

 

කාන්තාවට ආවේණික ලාලිත්‍යයත් මුදු මොළොක් බවත් එලෙසම රැකගනිමින් පිරිමි පාර්ශ්වයට නොදෙවැනිව රාජකාරිය ඉටු කරන කාන්තාවෝ සෑම ක්ෂේත්‍රයකම පෙරමුණේ සිටිති. මවුබිම සුරකින යුද, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදා තුළ මේ වන විට ඉහළම තනතුරු හොඹවන අභිමානවත් කාන්තාවන් තිදෙනා මෙවර රසඳුන තුළින් ඔබට හඳුන්වා දෙන්නේ ස්ත්‍රීත්වයට අභිමානයක් එක්කළ එම ලාංකේය දියණියන්ට දැයේ ගෞරවය පුද කරමිනි.

 

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස සේවය කරන මේජර් ගීතා සමන්මලී රන්කොත්ගේ මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම තනතුර දරන කාන්තා නිලධාරිනියයි.

 

හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ උපන් මේජර් ගීතා සමන්මලී රන්කොත්ගේ මූලික අධ්‍යාපනය ලබන්නේ හෝමාගම කනිෂ්ඨ විද්‍යාලයෙනි. 6 වසරේ සිට උසස්පෙළ දක්වා බම්බලපිටිය ශාන්ත පාවුළු විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය 2000 වසරේ පාසලේ ක්‍රීඩා නායිකාව ලෙසද කටයුතු කළ දක්ෂ මලල ක්‍රීඩිකාවකි. ගීතා සමන්මලී යුද හමුදාවට සම්බන්ධ වන්නේ පවුල් පරිසරය තුළින් ලැබුණු ආභාසය තුළිනි.

“මගේ තාත්තා ආරියසේන රන්කොත්ගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා බළකායේ මේජර්වරයෙක්. මගේ අම්මගේ තාත්තත් හමුදාවේ කැප්ටන්වරයෙක් විදිහට සේවය කළේ. ඒ නිසාම කුඩා වියේ සිට පරිසරය සැකසිලා තිබුණේ යුද හමුදාවත් එක්කයි. අපිට ඇසුරු කළේ පවා හමුදාවට සම්බන්ධ පවුල්වල දරුවො. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි. අපේ පවුලේ පිරිමි දරුවො නැති වුණත් තාත්තගෙ සිහිනයක් තිබුණා නංගියි මමයි අපි දෙන්නම කෙසේ වෙතත් මම හමුදාවට යන්න ඕනේ කියලා. ඒ නිසාම පුංචි කාලේ ඉඳන් මගේ හිතෙත් අරමුණක් තිබුණා තාත්තගේ ඒ බලාපොරාත්තුව ඉෂ්ට කළ යුතුයි කියලා.”

ඒ බලාපොරොත්තුව සඵල වන්නේ 2003 වසරේ ජනවාරි 18 වැනිදා ඇය දෙවැනි ලුතිනන්වරියක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බළකායට සම්බන්ධ වීමත් සමඟය. එහි විසිර යෑමේ උත්සවයේදී ඇය සියලු අංශ ආවරණය කරමින් දක්ෂතා පාමින් සම්මානයට පාත්‍ර වන්නීය. වසර 3ක කාලයක් අණදෙන නිලධාරිනියක ලෙස කටයුතු කළ මේජර් රන්කොත්ගේ මේ වන විට ස්වේච්ඡා ඒකක නිලධාරිනියන්ගේ සහ සෙබළියන්ගේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරයි.

මේජර් ගීතා රන්කොත්ගේ සැමියා ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බළකායේ නිලධාරියකු ලෙස කටයුතු කරන අතර ඇයගේ එකම නැඟණියද යුද හමුදා මේජර්වරියකි. දෙදරු මවක වන මේජර් ගීතා රන්කොත්ගේ වගකීම් බහුල රාජකාරී ජීවිතය තුළ පෞද්ගලික ජීවිතයේ යුතුකම් සහ වගකීම්ද මනාව කළමනාකරණය කරගන්නා බව පැවසුවාය.

“කුමන රැකියාව කළත් කාන්තාවක් විදිහට මව,බිරිය, ගෘහණිය කියන භූමිකාවට සාධාරණය ඉටුකළ යුතුයි. විශේෂයෙන් මවකගේ යුතුකම් සහ වගකීම් මම උපරිමයෙන්ම ඉටු කිරීමට නිතරම සැලකිලිමත් වෙනවා. අපි කුඩා වියේදී පියා වැඩි කාලයක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු නිසා අම්මා අපි වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ වන විට මගේ සැමියා සේවය කරන්නෙත් කොකාවිල් කඳවුරේ. රාජකාරී ජීවිතේ වගකීම් නිසා දරුවන්ට මාත් සැමියාත් මඟහැරෙන අවස්ථාවලදී මගේ පියා ඒ අඩුපාඩු මගහරවනවා. තාත්තගෙන්, අම්මගෙන් වගේම මගේ නංගිගෙනුත් මට විශාල සහයෝගයක් ලැබෙනවා.”

හමුදා සේවය වැනි ඉතා වගකීම් සහිත සේවයකට කාන්තාවක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳ මේජර් ගීතා සමන්මලී රන්කොත්ගේ පැවසුවේ මෙවැනි අදහසකි.

“පිරිමින්ට සමානව කාන්තාවන්ටත් ශක්තීන් තිබෙනවා. නමුත් බොහෝ විට කාන්තාවන් ඉක්මනින් ආතතියට පත්වනවා. තමා කැමති අංශයක යෙදීමෙන් ඒ ආතතියෙන් නිදහස් විය හැකියි. බොහෝවිට මම ආතතිය නිදහස් කරගන්නේ ආගමික කටයුතුවල යෙදීමෙන්. වෘත්තියෙන් හමුදා නිලධාරිනියක් වුවත් මමත් සාමාන්‍ය කාන්තාවක්. අපි අනුන් වෙනුවෙන් වැය වෙනවා වගේම තමන් ලද මනුෂ්‍ය ජීවිතයටත් සාධාරණයක් ඉටු කළ යුතුයි. කාන්තාවක් කියන්නේ ආදරේ දෙන කෙනෙක්. ඇය සුන්දර වෙන්නේ බාහිර ස්වරූපෙන් හෝ දරන තනතුරුවලින් පමණක් නෙවෙයි. ඇයගේ පැවැත්මට අභ්‍යන්තර සුන්දරත්වයත් අවශ්‍යයයි. එවැනි කාන්තාවන්ට තමන්ගේ පවුල වගේම ලෝකයම සුන්දර කළ හැකියි”

 

 

Comments