ප්‍රාග් ඓති­හා­සික ගොවියා ගැන කියන කිරිගල්පොත්ත | සිළුමිණ

ප්‍රාග් ඓති­හා­සික ගොවියා ගැන කියන කිරිගල්පොත්ත

ඡායාරූප - නිරෝෂන් එදිරිසිංහ

 

 

මිහිදුම් තිර අතරින් පෙරී එන හිරුකැන් තණපත් අග රැඳි පිනි බිඳු මකා දැමීමට සැරසේ. රැය පුරා පිනි බිඳුවල සිහිලෙන් නැහැවෙමින්ද දහවලේ අකාරුණික හිරු රැසින් තැවෙමින්ද නිසොල්මනේ වැඩෙන තණපත් මත සුළං රැලි තැවෙරමින් ඇත. දුක මෙන්ම සැපත් සොබාදහමේ නියමයන්ය. නෙත් මානයේ දිස්වෙමින් ඇත්තේ ඒ ගැඹුරු යථාර්ථයයි.

 

නෙත් මානයේ පැතිරෙන එකම තෘණ භූමියකි. එම තෘණ පලස එක සීරුවට විහිදී පැතිරී යයි. මේ අප පය ගසා සිටින්නේ වසර 24000කටත් පෙර ජනාවාස වූ භූමියකය. ලෝක මානව ශිෂ්ටාචාරයේ හැඩය වෙනස් කළ ප්‍රාග් ඓතිහාසික ගොවියා සම්බන්ධව හෙළිදරව් කරගත් භූමියකය. අදින් වසර 18500කට එපිට අතීතයේදී මේ බිම කෘෂිකාර්මික වගා බිමක් වූ ආකාරය, පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලකයන් හෙළි කළ ආකාරය සිහිවේ. පුරා මීටර් හතක් ගැඹුරට තැන්පත් වූ පස් තට්ටු යට ඒ මහා ඉතිහාස කතාවේ සජීවී දත්ත තැන්පත් වී ඇත.

හෝර්ටන් තැන්න වූ අපේ ඉතිහාසයේ මහඑළිය තැන්න සුපුරුදු දීප්තිය සහිතය. උදෑසන 10 වීමට මත්තෙන් අපි මහඑළිය තැන්නේ පිහිටි පරීක්ෂක කාර්යාලයෙන් අවසර ගෙන පිටත් විමු. අපගේ ගමනාන්තය කිරිගල්පොත්ත කඳු මුඳුනය. එය පිහිටියේ අවම වශයෙන් කිලෝමීටර හතක පමණ දුරකිනි. තණ බිම්වල සීමා ලකුණු කරමින් කඳුකර වනාන්තර නැඟී සිටී. තෘණ පඳුරු ද බෝවිටියා පඳුරුද පැතිරී ගිය භූමිය අපේ ගමනට අරියාදු කරන්නා සේය. තෘණ සම්භාහනය විටෙක ආස්වාදයකි. තවත් විටෙක හිසරදයකි. අඩිපාර ඔස්සේ ගමන් කරන විට ආක්‍රමණික ශාක විශේෂයක් වන යුරෝපීය කටු පඳුරු ගමන වළක්වනු වැන්න.

වනෝද්‍යානයෙන් සටහන් කළ මං සලකුණු අපගේ ගමනට පහසුවක් එක් කරයි. අතරමඟදී හමුවූ මාර්ගය හරහා ගලා බසින දොළ පහර ගමනේ එක් සංධිස්ථානයකි. මේ පරිසරයේ ගමන් විඩාවක් නොදැනේ. එහෙත් ගලා යන දොළ පහරේ ඒ සීතල ජලයෙන් මුහුණ දොවාගෙන එහි පහස නොවිඳ යෑමට මට සිත් නොදේ.

දිය පාර අසල මඳක් මිඩංගු කර මං සලකුණු ඔස්සේ අපි ඉදිරියටම ගමන් කළෙමු. පතන භූමිය මත රැඳි දිය සීරා ගමන් මාර්ගයේ තැනක වගුරක් තනා ඇත. ඒ වගුරු බිමෙහි රැඳි අඩි ලකුණු ගෝනුන්ගේ විය හැකිය.

විටෙක පතන භූමිය මතින්ද තවත් විටෙක පතන බිමේ මඩ වගුරු පිහිටි මාර්ගයන්ගෙන් ඈත්වී වනයට ඇතුළු වෙමින්ද ගමනාන්තයට ළඟා වීම අපගේ පරමාර්ථය විය. මේ භූමියේ තැන තැන දිවි වසුරු විසිරී ඇත. එකකුවත් මඟ හැරෙන්නට නොතබා එක් පොදියක් සේ අපි ඉදිරියට ඇදෙමින් සිටියෙමු.

පැය දෙකක් ඉක්මවීමට මත්තෙන් වන පියසට ඇතුළු වන්නට හැකි වී තිබේ. එය නම් සිරිමත් ජයග්‍රහණයකි. කණ්ඩායමේ සුජාන් හා ගීත්මාල් ගමනේ වේගය එකාකාරීව රඳවා ගැනීමට උත්සාහ කරමින් ඇත. හරිත වර්ණ වියන යටින් ගමන් කිරීම සිතට සුවදායකය. වැඩුණු පාසි හා ලයිකන තුරුගොමු වසා පැතිර ඇත. මුළු පරිසරයම පැහැපත් හරිත ගුලාවකි.

ප්‍රීතිමත් ගමනකින් පසු අප දැන් පළමු කඳු මුඳුනේය. හාත් පස දැකුම මනරම් සිතුවමක් සේය. පසෙකින් දිස්වන කඳු අතර කිරිගල්පොත්ක කන්දට ආවේණික වූ සුවිශේෂී හැඩය දැක ගැනීමට හැක්කේ මෙහිදීය. කඳු මුඳුනට විහිදී යන එක් පසෙක පාෂාණය මතුවී අව් රශ්මිය වැටෙන විට දිලිසේ. ගැමියන් මේ කන්දට කිරිගල්පොත්ත ලෙස වහරන්නේ එබැවිනි.

ඉන් ඔබ්බෙහි වූ කඳු මුඳුනට ගල් පොත්ත අයිනෙන් ගමන් කිරීමෙන් ළඟා වීමට සිදුවේ. කඳු මුඳුනට ළඟා වීමට නම් තවත් විනාඩි කිහිපයක ගමනකි.

කඳු මුඳුන වසාගෙන ඇත්තේ කුරු ශාඛ පන්තියකිනි. මහඑළියේ කඳුකර වනයට ආවේණික මහරත්මල් ශාකයද ඒ තුරු පන්ති අතර හඳුනා ගත හැකිය.

වලාකුළු කඳු මුඳුන් මත දැවටෙමිනි. බොහෝ වෙලාවක් මේ මනරම් පරිසරය තුළ ගෙවා දමන්නට ඉඩක් නැත. මහ එළිය බලා යා යුතුය. කිරිගල්පොත්ත කන්ද මත හිඳ හාත්පස බලනවිට මේ මහා ගිරිහිස් අතර අප කොමණ කුඩා අංශු බඳු ජීවීන් දැයි සිතේ. ලංකාවේ දෙවැනි උස කඳු මුඳුන තරණය කිරීමේ ආඩම්බරය මුසු හැඟීම සහිතව අපි ආපසු ගමනට සැරසුණෙමු.

 

 

Comments