එහෙම වැරදි වැට­හී­මක් සම­හ­රුන්ට තිබුණා | සිළුමිණ

එහෙම වැරදි වැට­හී­මක් සම­හ­රුන්ට තිබුණා

 

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනිගේ ලොකු දෝණි මාධවී ඇන්තනී කලාවට පය තියන්නේ පුංචි කාලෙමයි. ඇය සතු ගායන හැකියාව මුලින්ම රසිකයන්ට දකින්න ලැබුණේ හපන් පැදුරෙන්. මාධවී පසුගිය කාලේ ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වුණේ රංගන ශිල්පිනියක් හා නිවේදිකාවක් ලෙසයි. කලෙකට පස්සේ මාධවී කියන ගායිකාවත් ඔන්න දැන් යළි කරළියට ඇවිත්.

 

මාධවී කියන ගායන ශිල්පිනිය යළි කරළියට ඇවිත් ?

‘ආදරය ඕනෑ කෙරේ ‘ කියන්නේ පෙරුම් පුරලා කළ නිර්මාණයක්. මේ ගීතය මුලින්ම තනුවක් විදිහටයි බිහිවුණේ. එය 2015දී රාජ් සහ මම එක්ව කළ නිර්මාණයක් වුවත් ඉගෙනීම් කටයුතුවල වැඩි කාලයක් දෙනකොට දන්නෙම නැතිව ගීතය නිර්මාණය කිරීම මගහැරුණා. ඒ කාලේදී මිලාන් තමයි මට යෝජනා කළේ අලුත් සින්දුවක් කරමු කියලා. ඊට පස්සේ තමයි මේ ගීතය ආයෙම එළියට අරන් වෙනස් කරලා අප්පච්චිගේ වචනවලට ගීතය නිර්මාණය වුණේ.

 

මින් පෙර ගැයූ ගීතවලට වඩා මේ ගීතය ඔබට විශේෂයි නේද ?

‘දස්කොන්’, ‘සී රජ’ වගේ නිර්මාණවලත් ඉදිරියේදී එන්න තියෙන ‘එකගෙයි සොකරි’ නිර්මාණයෙත් මම පසුබිම් ගායනයෙන් එක් වුණාට ‘ආදරේ ඕනෑ කෙරේ’ තමයි මගේ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය. ඒ නිසා මට මේ ගීතය විශේෂයි.

 

මේ නිර්මාණයේ අදහස ඔබගේද ?

මම රාජ්ට කිව්වේ මතක හිටින සතුටු දැනෙන වේගවත් තනුවක් මට නිර්මාණය කරලා දෙන්න කියලා. මේක වෙනස් ආදර ගීතයක්. පුංචි ළමයින්ට අහන්න වගේම ළමයි වෙනුවෙන් වැඩිහිටියන්ටත් කියන්න පුළුවන් ගීතයක්. විවෘත පරාර්ථකාමී පිරිසුදු ආදරයක් මේ ලෝකෙට ඕනේ කියලයි අප්පච්චි මේ ගීතයෙන් කියන්න උත්සාහ කළේ.

 

ගීතයේ විශේෂත්වය වගේම ගීතය එළිදැක්වෙන්නෙත් ඇන්තනි පවුලටම විශේෂ දවසක ?

ආරණ්‍යා දුව කියන්නේ අපේ ජීවිතයට ලැබුණා ආදරයේ හොඳම සංකේතය නිසා ඇගේ පළමු උපන්දිනය දවස හා අපේ දෙවැනි විවාහ සංවත්සරය දවස ‘ආදරය මේ ලෝකෙට ඕනෑ‘ කියලා කියන්න හොඳම දවස වුණා.

 

මේ මොහොතේ මාධවීටත් ආදරේ ඕනෑ කෙරේ කියලා හිතෙනවාද?

මේ නිර්මාණය පිටුපස තියෙන්නෙත් ඔය ආදරයම තමයි. මිලාන් මගේ ජීවිතෙට එනකල් මමත් හිතුවේ නැහැ මට පවා ආදරය ඕනෑ වෙලා තිබිලා තියෙනවා කියලා. අද මිලාන් නිසා මගේ ජීවිතේ හරිම පහසුයි. දැන් මම දෙගුණයක් වේගෙන් වැඩ කරනවා. ඔහු හැමදාම මගේ දියුණුව දකින්න ආස කළ, මගේ දේකදී මටත් වඩා සතුටු වෙන ආදරණීය ජීවන සහකරුවෙක්. මට අද ඒ ආදරය ලැබිලා තියෙනවා.

 

මිලාන් මාධවීගේ පවුලටම ආදරය බෙදන කෙනෙක් වෙලාලු නේද?

මිලාන් පවුලේ හැමෝටම ආදරෙයි. මගේ අප්පච්චිගේ වාහනය හදලා දෙන්නෙත් මිලාන්. වාහනේට අපි ආදරේට කියන්නේ සුන්දරී කියලා. සුන්දරී අවුරුදු 25ක් විතර පරණයි. වහලය මලකඩ කාලා දිරලා තිබ්බේ. වහින දවස්වලට අප්පච්චි රේන්කෝට් දාගෙනත් වාහනේ ගිහින් තියෙනවා. ඒ වාහනේ මිලාන් සුපිරි මට්ටමට හැදුවා. එයා පවුලේ හැමෝටම උදවු කරනවා. මිලාන්ටත් අපේ පවුලෙන් ලොකු ආදරයක් ගෞරවයක් ලැබෙනවා. අප්පච්චිටත් මිලාන් හරි ළඟයි. තේරුම් ගැනීම, ආදරය අවබෝධය එක්ක තමයි අපේ ජීවිතය ගලාගෙන යන්නේ. එන ප්‍රශ්නවලට එකතු වෙලා මුහුණ දෙනවා. අපි හැම වෙලාවෙම ඕන දේකට එකට අත් අල්ලගෙන ගුලි වෙලා ඉන්න නිසා ඒ ආදරය අපිව ආරක්ෂා කරනවා.

මාධවී දෙගුණයක් වේගෙන් වැඩ කරන බව දැන් අපටත් පේනවා?

කලා ශිල්පිනියක් ලෙස මගේ හැකියාව පෙන්වන්න අවස්ථා ලැබිලා තියෙනවා. ඒ ගැන මම තෘප්තිමත්. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන ‘තාදි’තමයි මම අලුතින්ම සම්බන්ධ වුණු ටෙලිනාට්‍යය. එහි මම නිරූපණය කරන මදාරා කියන චරිතයත් හරිම ආකර්ෂණීය අමුතු චරිතයක්. සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන ‘මහවිරු පණ්ඩු’ නාට්‍යයේ කුමීගේ චරිතයත් නිරූපණය කරනවා. තව ටෙලි නාට්‍ය දෙකකට හා සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබුණා.

 

රංගන ශිල්පිනියක් ලෙස රාමුගත නොවීම තෝරාගැනීම්වල ප්‍රතිඵලද?

අපිට යම් චරිතයකට ආරාධනා ලැබෙන්නෙම ඒ චරිතයට ගැළපෙන නිසයි. ඔවුන් තෝරා ගත් ඒ චරිතය මට ගැළපෙනවාද සහ මගේ කැමැත්ත තීරණය වෙන්නෙ ඊට පස්සේ. මම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ නිර්මාණ කිහිපයයි. පොඩි කාලෙදි හා පුරා කියලා සම්බන්ධ වුණේ ආනන්ද අබේනායක මහත්තයාගේ නිර්මාණයකට. එදා පටන් මට හොඳ නිර්මාණ ලැබුණා. එයින් බහුතරයක්ම මට ගැළපෙන චරිත. මගේ මනස, මගේ හැකියා හීලෑ කරගෙන චරිතවලට පණ පොවන්න ලැබීම ගැන නිහතමානී සතුටක් විඳිනවා.

 

ඔබ සම්බන්ධ වෙන්නේ ඔබේ අප්පච්චිගේ නිර්මාණවලට විතරයි කියලත් මතයක් තිබුණා ?

එහෙම වැරැදි වැටහීමක් සමහරුන්ට තිබ්බා. නමුත් මට එහෙම බෙදීමක් නැහැ. මගේ හැකියාවෙන් හොඳ නිර්මාණයක් බිහි කරන්න මම කැමැතියි.

 

නිවේදනය, රංගනය සහ ගායනයෙන් ඔබ වඩාත් කැමැති භුමිකාව?

මම කරන හැම දෙයින්ම තෘප්තියක් ලබන කෙනෙක්. ඒ සෑම භුමිකාවකටම කැමැතියි. කලා ශිල්පීන් තමන් කරන ඕනෑම නිර්මාණයකින් තෘප්තියක් ලබන පිරිසක්. රසිකයන් අපේ නිර්මාණ අගයද්දි ඒ තෘප්තිමත් බව තව තවත් වැඩි වෙනවා.

 

කෑම හදන්න වගේම කෑමට ප්‍රිය කරන මාධවී තමන්ගේ ශරීරය ලස්සනට තියාගෙන ඉන්නේ කොහොමද?

කලා ශිල්පිනියක් වුණාම සිරුර මනස පිරිසුදුව තියාගන්න ඕනේ. මම පුළුවන් වෙලාවට අකිලත් එක්ක ජිම් යනවා. මේ දවස්වල මිලාන් එක්ක බැඩ්මින්ටන් ගහනවා. මම කන්න කැමැති ගුණදායක කෑම. ඒක මට තාත්තගෙන් ආපු පුරුද්දක්. මම කන්න කැමැති දේවල් කෑවට මහත් වෙන්නෙ නෑ.

 

මවක් වෙන හීනය දැන්ම සැබෑ කරගන්න අදහසක් නැද්ද.?

ඒ ගැන හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිට ආදරය කරන අය ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවලට අපි ගෞරව කරනවා. හරිම වෙලාව ආවම එයා අපි ළඟට ඒවී.

Comments