හොලිවුඩ් චිත්‍රපට 70ක වැඩ කළ මතකයම මිහිරක් | සිළුමිණ

හොලිවුඩ් චිත්‍රපට 70ක වැඩ කළ මතකයම මිහිරක්

සිනමාව, ගුවන් යානා සහ අශ්වයන්ට ලොකු කැමැත්තක් තිබුණා... තුරඟ තරග දින්නා, ගුවන් සමාගමක් පිහිටෙව්වා, සිනමාව වෘත්තිය ලෙස තෝරගෙන ඒ හීන තුනම හැබෑ කරගත්තා...

පෙබරවාරියේ සිට සෑම සතියකම සිංහල චිත්‍රපටයක් ලෝකයට පෙන්වන්න වැඩපිළිවෙළක් හැදුවා...

 

අසීමිත මිනිසුන් ගැන කතා කරන්නට ලැබීමත් දුලබ භාග්‍යයක්... මේ කතාබහ එවැනි විශිෂ්ට‍ෙයක් සමඟයි. ඔහු චන්ද්‍රන් රත්නම්... පුරා දශක හතරක් හොලිවුඩ් සිනමාව හා සම්බන්ධවී වැඩ කරන විශිෂ්ට ලාංකේය වෘත්තිකයා ඔහුයි. හොලිවුඩ් සිනමාකෘති නිර්මාණය කිරීම සඳහා මැලේසියාවේ සිනමා සමාගමක් බිහිකර අන්තර්ජාතික සම්භාවනාවට ලක් වූ නිර්මාණ කළ ගෞරවනීය ලාංකේයා ඔහුයි. ලෝකයක් පිළිගත් සිනමා සමාගමක් ලංකාවේ පිහිටුවා ස්ටීවන් ස්පිල්බර්ග් වැනි සම්භාවිත සිනමා කරුවන් සමඟ විදෙස් චිත්‍රපට නිෂ්පාදනය කළ සිනමාකරු ඔහුයි. ලාංකේය නිර්මාණ කරුවන් 200කට හොලිවුඩයේ නිර්මාණයන්ට දායක වීමට දොර ඇර දී අතිශය සරල නිහඬ පිළිවෙතකින් දිවි ගෙවන ලෝකය දිනූ මේ බහුශ්‍රැත මිනිසා මෙවර රසඳුන හා සංවාදයට එක්වන්නේ මෙසේයි...

 

ලෝක සිනමාවට යන්න ඔබට අවස්ථාව නිර්මාණය වෙන්නේ කොහොමද?

මම පොඩි කාලේ අම්මයි තාත්තයි එක්ක කුරුඳුවත්තේ ගෙදර හිටියේ. අපිට ගෙවල් දෙකක් තිබුණා. දවසක් එක ගෙයක් කුලියට ගන්න එඩී ෆවුලි කියලා සුදු මහත්තයෙක් ආවා. ඒ සුදු මහත්තයට ගෙදර කුලියට ගන්න ඕන වුණේ මාස හයකට. අම්මා කිව්වා මාස හයකට දෙන්න බෑ අවුරුද්දකට තමයි දෙන්නේ කියලා. මම දැක්කා මේ සුදු මහත්තයා චිත්‍රපට කරන කෙනෙක් කියලා. මම අම්මට කිව්වා ගෙදර කුලියට දෙමු කියලා. ඒ සුදු මහත්තයට ගේ දුන්නම ඔහු මාත් එක්ක මිත්‍ර වුණා. ඔහු කොහේ හරි යද්දි මාවත් කාර් එකේ දාගෙන යනවා. දවසක් ඔහු මට කිව්වා ලංකාවේ චිත්‍රපටයක් හදන්න යනවා. ඒක කරන්නේ කිතුල්ගල ඕනේ නම් එන්න කියලා. මමත් ගියා. ඒ චිත්‍රපටය තමයිThe Bridge On The River Kwai. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුණේ ඩේවිඩ් ලීන්. මම ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ සහයකයා ලෙස (prop man) වැඩ කළේ. ඒ 1957 දී. එතකොට මට අවුරුදු 17යි. ඒ චිත්‍රපටයට ඇකඩමි සම්මාන හතක් හිමි වුණා.

 

ඔබ විදේශගත වෙන්නේ ඊට පස්සේ ?

මගේ අම්මයි තාත්තයි පොහොසත් වුණාට මට සල්ලි දුන්නේ නැහැ. අම්මයි තාත්තයි විදේශ ගත වුණාම මමත් චිත්‍රපටවල වැඩ කරලා සල්ලි හොයා ගෙන සුදු මහත්වරු එක්ක විදේශ ගත වුණා. ඔවුන් එංගලන්තයට ගිහින් 'The Key' කියලා චිත්‍රපටයක් නිර්මාණය කළා. මමත් ඒවට සම්බන්ධව වැඩ කළා. The Bridge On The River Kwai චිත්‍රපටයේ රඟපෑ විලියම් හෝල්ඩන්ම තමයි එහි ප්‍රධාන චරිතය කළේ. රංගන ශිල්පිනිය වුණේ ඒ දවස්වල බොහොම ජනප්‍රිය Sophia Loren. විලියම් කිහිප සැරයක් එකට වැඩ කළ නිසා මාත් එක්ක බොහොම හිතවත් වුණා.

 

හොලිවුඩ් යන්න ඔබට මඟ පෑදෙන්නේ විලියම්ගේ ආරාධනයකින්?

ඔව්. 'The Key' චිත්‍රපටයේ වැඩ කරද්දි විලියම් මට කිව්වා හොලිවුඩ් ආවොත් ඔහුට කතා කරන්න කියලා. ඒ චිත්‍රපටය ඉවර වුණු ගමන් මම හොලිවුඩ් ගියා. ඔහුගේ ගෙදර තමයි මුලින්ම නතර වුණේ. ඔහු මට චිත්‍රපට සම්බන්ධ ලොකු ආයතනයක් වන ‘වෝනර් බ්‍රදර්ස්‘ ස්ටුඩියෝවේ රැකියාවක් හොයලා දුන්නා.

 

එතැන් සිට ඔබට අවස්ථාව නිර්මාණය වෙන්නේ කොහොමද ?

එතනින් තමයි මම බොහෝ දේවල් ඉගෙන ගත්තේ. ‘වෝනර් බ්‍රදර්ස්‘ ස්ටුඩියෝවේ සෑම අංශයකම මම වැඩ කළා. උසස් වීමක් දෙන්න යද්දි මම කිව්වා මට ලංකාවට ගිහින් ස්ටුඩියෝවක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඒ නිසා උසස්වීම වෙනුවට වෙනත් අංශයකත් වැඩ කරන්න අවස්ථාව දෙන්න කියලා. ඔවුන් මට ඉගෙන ගන්න අවස්ථාව දුන්නා. මම University of Southern California සිනමා පාසලෙන් වගේම නීති විද්‍යාලයෙන් හැදැරීම් කළා. මම වැඩ කරපු පිරිසගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඔවුන් නිර්ලෝභීව ඉගෙන ගන්න අවස්ථාව දුන්නා.

 

ඔබ හොලිවුඩ්වල කොපමණ කාලයක් වැඩ කළාද ?

මම අවුරුදු 40 ක් හොලිවුඩ්වල වැඩ කළා. හොලිවුඩ් චිත්‍රපට හැට හැත්තෑවක වැඩ කළා. විවාහ වුණෙත් එහෙදි. මගේ ගෙදරක් එහෙ තියෙනවා. මගේ ළමයි ඉන්නෙත් එහෙ.

හොලිවුඩයෙන් මැලේසියාවේ චිත්‍රපට නිර්මාණයට යොමු වෙන්න ඔබට පසුබිම සැකසෙනවා?

මම මැලේසියාවට ගිහින් වෙනම චිත්‍රපට සමාගමක් පටන් ගත්තා. මගේ සමාගමෙන් ඒ රටේ දී හොලිවුඩ් චිත්‍රපට කරන්න නිර්මාණය කළා. ඒ වෙනුවෙන් ලංකාවේ ශිල්පීන් 200 ක් පමණ දායක කර ගැනීම තමයි විශේෂත්වය. ‘50.50‘, Sleeping Dictionary‘, ‘Farewell to The King, Beyond Rangoon‘ වගේ චිත්‍රපට නිර්මාණය වුණේ මගේ සමාගමෙන්. 1957 දී මාව චිත්‍රපටවල වැඩට සම්බන්ධ කරගත්ත එඩි ෆවුලිට අවුරුදු 30කට පස්සේ රැකියාවක් දෙන්න මට හැකි වුණා. මැලේසියාවේ මගේ සමාගමේ ඔහුට රැකියාවක් දීලා මගේ පුතාව මම ඔහු යටතේ සේවයට යෙදෙව්වා.

 

ලංකාවේ ඔබේ නිර්මාණකරණය ගැන කතා කරමු ?

හොලිවුඩ්වල වැඩ කළත් මගේ හිත තිබ්බේ ලංකාවේ. මම ලංකාවට ඇවිත් ‘ෆිල්ම් ලොකේෂන්‘ කියලා සමාගමක් පටන් ගත්තා. ඒ සමාගමෙන් අවුරුදු 25ක් පුරාවට චිත්‍රපට හැදුවා. හොඳ ආදායමක් ලැබුණා.Tarzen the ape man කියන චිත්‍රපටය තමයි මුලින්ම හැදුවේ .ඒක ලංකාවේ හදපු ලොකු චිත්‍රපටයක්.එයින් ලංකාවට ගොඩක් සල්ලි හම්බ කරලා දුන්නා.මගේ සිනමා සමාගමෙන් විදේශ චිත්‍රපට වගේම ලංකාවේ චිත්‍රපටත් කළා.Ghosts cant do it, Mother Teresa, Tennessee Buck, Iron Triangle, A Common Man, Indiana Jones And The Temple of Doom වැනි විදේශ චිත්‍රපට බොහොමයක් වගේම ‘ආදර කතාව‘, ‘ජනේලය‘,‘අලිමංකඩ‘වැනි ලංකාවේ චිත්‍රපටත් මගේ චිත්‍රපට සමාගම හරහා නිර්මාණය වුණා. මගේ සමාගම හරහා ලොව විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයෙක් වන ස්ටීවන් ස්පිල්බර්ග්ව ගෙන්වා Indiana Jones and the Temple of Doom චිත්‍රපටය නිර්මාණය කරමින් ලෝක සිනමාවේ දැවැන්තයන් සමඟ වැඩ කරන්න ලැබුණා.

 

සිනමාව වෙනුවෙන් මෙතරම් වැඩ කොටසක් කරන්න ඔබව පෙලඹුවේ සිනමාව ගැන දුටු හීනය නේද?

මම පුංචි කාලේ ඉදන් සිනමාවට හරිම ආදරෙයි. චිත්‍රපට, අහස් යානා සහ අශ්වයන්ට ලොකු කැමැත්තක් තිබ්බා. ඒ ආසාවන් තමයි මාව ඒ පැති තුනටම යොමු කළේ. පුංචි කාලෙත් ලංකාවට ආපු හැම චිත්‍රපටයක්ම බැලුවා. සිනමාවට ආදරය කළ නිසා සිනමාව සොයාගෙන ගියා. අහස් යානාවලට ආස නිසා ගුවන් සමාගමක් පටන් ගත්තා. අශ්වයන්ට ආසා කළ නිසා අශ්ව රේස්වලින් දෙවතාවක්ම ලොකුම ජයග්‍රහණය ලැබුවා. මගේ හීන තුනම සාර්ථකව යථාර්ථයක් කර ගැනීම පිළිබඳ මට දැනෙන්නේ ලොකු සතුටක්.

 

ඔබ දැන් අලුත් වැඩ කටයුත්තකටත් සූදානම් වෙනවා ?

පෙබරවාරි මාසේ සිට සෑම සෙනසුරාදාවකම අලුත් සිංහල චිත්‍රපටයක් ලෝකයට පෙන්වන්න මම සූදානම්. බොහෝ නිර්මාණකරුවෝ චිත්‍රපට කරන්නේ අමාරුවෙන්. ඔවුන් අපහසුතා මධ්‍යයේ චිත්‍රපට කරලා පෝලිම්වල බලාගෙන ඉන්නත් මේ කොරෝනා සමයේ සිදු වෙලා. මම අන්තර්ජාලයේ Tontoflix කියන අලුත් ආකෘතියකින් සිංහල චිත්‍රපට ලෝකයට පෙන්නලා ඒ නිර්මාණකරුවන්ට මුදල් හොයලා දෙන්නයි සූදානම.

Comments