තුවාලයේ වේදනාව අයිතිකරුවාටය... | සිළුමිණ

තුවාලයේ වේදනාව අයිතිකරුවාටය...

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉකුත් දා ඉතා වැදගත් ප්‍රකාශයක් කර තිබුණහ. උන්වහන්සේගේ එම ප්‍රකාශය මුළු රටේ වෙසෙන ජනතාවගේ අවධානයට ලක්විය යුත්තකි. එනම් රට තුළ දැනට උද්ගතවී පවතින අවශේෂ හේතු සාධක නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකර ගෙන යන විමර්ශන කටයුතු මොනම හේතුවක් නිසාවත් ඉවත නොදැමිය යුතු බවය. උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් කරන්නට ඇත්තේ නිකමට විය නොහැකිය. ඇතැම් විට එය එතුමාගේ සිතට දැනුණු දෙයක් විය හැකිය.

කෙසේ වෙතත් තුවාලයකින් නැගෙන වේදනාව දැනෙන්නේ එම තුවාලය ඇති පුද්ගලයාට චෛතසික වින්දිතයෙකි. අප එසේ කියන්නේ එතුමා පාස්කු ප්‍රහාරයේ භෞතික වින්දිතයෙකු නොවුණ ද මෙරට කතෝලික ජනතාවගේ ආගමානුකූල නායකයෙකු වශයෙන් උන් වහන්සේ ගේ සිතට දැනෙන වේදනාවේ තරම අපට සිතාගත හැකි බැවිනි. තමන්ගේ සහෝදර ජනතාවට සිදුවූ එම වින්නැහිය නිසා වේදනාවෙන් පීඩිතවූ කාදිනල්තුමාගේ මුවින් ගිලිහුණු එම වාග්මාලාව අපට දැනෙන්නේ තනිකරම වේදනාබර කඳුළු ගංගාවක් ලෙසිනි.

එතුමාගේ සිතෙහි හටගත් වේදනාවේ තරම වටහා ගැනීමට එම අමානුෂික සිද්ධි මාලාවේ වින්දිතයෙකු වීමට අවශ්‍ය නොවේ. ඒ තරමටම එකී සිද්ධිදාමය බිහිසුණුය. එපමණක් ද නොව එවැනි අමානුෂික සහ බිහිසුණු ක්‍රියාදාමයකට මුල්වූ පුද්ගලයන් එමගින් අදහස් කරන අරමුණ කුමක්දැයි යන්න පවා අපැහැදිලිය.

තමන්ගේම ලෙයින් මසින් ජාතක කෙරුණු තම ආදරණීය දූ දරුවන්ගේ අහිංසක ජීවිත පවා අනතුරට හෙළමින් මහා ලේ ගංගාවක් නිදැල්ලේ ගලා යාමට මුල්වූ එම උම්මන්තකයන් පිරිස එමගින් ළඟාකර ගැනීමට බලාපොරොත්තුවූ විමුක්තිය කුමක්විය හැකිදැයි යන්න වටහාගත හැකිවන්නේ එවැනිම උම්මත්තකයන්ටම පමණි.

එසේම එම පාස්කු ප්‍රහාරය වනාහී කිසිසේත්ම හුදෙකලා සිද්ධියක් ලෙස සිතිය නොහැකිය. එය තුන් හතර දෙනෙකු විසින් සිදුකරන ලද උම්මත්තක ක්‍රියාවක් ලෙස ලඝු කිරීම ද නොකළ යුත්තකි. එසේ වන්නේ "අල්ලාහු අක්බර්" යි කියමින් අහිංසකයන්ගේ බෙලි කපා දමා උණු ලේ දසත ගලා යන අයුරු දැකීම මහඟු පුණ්‍ය කර්මයක් ලෙස සලකන තවත් උම්මත්තකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද ඒ පසුපසින් සිටින බැවිනි.

කාදිනල් උතුමාණන් මෙලෙස සැක පහළ කරන්නේ නම් අමානුෂික ප්‍රහාරය පිටුපස සිටින සැඟවුණු බලවේග කවරේදැයි යන්න පිළිබඳව අනාවරණය නොවීමේ සිද්ධිය යට ගැසීමට කිසිසේත්ම ඉඩක් නොතැබිය යුතුය යන ස්ථාවරයේ සිටිමිනි. එසේ වුවහොත් මුල්වූ උම්මත්තකයන් කීපදෙනා මත පටවා එහි මහමොළකරුවන්ට සහ ඒ සඳහා බර පැණ වශයෙන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වැයකළ සිත්පිත් නැති මනුෂ්‍ය ඝාතකයන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට ඉඩ ලැබීමය. එය කිසිසේත්ම සිදුනොවිය යුතු දෙයක් බව අපගේද පිළිගැනීමයි. අනෙක් අතට එම මිනිස් සංහාරකයන් කවුරුන්දැයි අනාවරණය නොවුවහොත් සිදුවන්නේ ඉකුත් පාස්කු ප්‍රහාරය වැනි තවත් මිනිස් සංහාර රැසකටම ඉඩ හසර විවර කරවීමය. එහෙත් වගකිව යුතු ආණ්ඩුවකට එසේ කළ නොහැකිය. මන්ද කිසිදු ජාති, කුල සහ ආගම් බේදයකින් තොරව තම රටවැසියන් ගේ ජීවිත රැක ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සහ සර්ව සාධාරණ ආණ්ඩුවක පරම වගකීම වන බැවිනි.

එසේම පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එකී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු අවුල් කරවීමට හෝ ඊට සුළු වශයෙන් හෝ වගකිව යුත්තන්ට ගැලවී යාමට ඉඩ නොදිය යුතු යැයි කාදිනල්තුමා විසින් කළ ප්‍රකාශයට අපගේද පූර්ණ එකඟත්වය කොන්දේසි විරහිතව ලැබිය යුතුය.

එදා එම පාස්කු ප්‍රහාරය එල්ල වූයේ මෙරට කතෝලික ජනතාව ඉලක්ක කර ගනිමිනි. මෙරට කතෝලික ජනතාව අරමුණු කරගෙන එල්ලවූ එම අමානුෂික මිනිස් සංහාරයට සමානව ප්‍රහාරයක් හෙට අපේ බෞද්ධ ජනතාවට එල්ලවිය හැකිය. නැතහොත් මෙරට හින්දු ආගමිකයන් ඉලක්ක කරගෙන එල්ලවීමට ඉඩ තිබේ. විවිධ ආගම්වලට අයත්වුවද ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකේය පුරවැසියන් ය. එම දෙපාර්ශ්වය පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවල විසිරී සිටින මුස්ලිම්වරුන්ද අපේ සහෝදර ජනතාවය. විදේශීය ආගම්වාදී බලවේග විසින් හසුරුවනු ලබන අතළොස්සක් පමණවූ ආගමික උම්මත්තකයන් පිරිසකගේ මිලේච්ඡ ක්‍රියාවන් නිසා ඒ කිසිදු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධයක් නැති මුස්ලිම් ජනතාව ද රැකගත යුත්තේ ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකේය පුරවැසියන් බැවිනි.

කෙසේ වෙතත් අප සියලු දෙනාගේම සිත්වලට ඉමහත් සැනසීමක් මෙන්ම ශක්තියක් ද වූ එක් කරුණක් පිළිබඳව මෙහිදී අප කිසිසේත්ම අමතක නොකළ යුතුය. එනම් ඉකුත් පාස්කු ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී විමර්ශනයක් සිදු කොට ඊට අදාළ වගකිව යුත්තන් එකතු කර නීතිය හමුවට ගෙන එන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් කර ඇති ප්‍රකාශයයි.

අපේ ඇතැම් සාම්ප්‍රදායික දේශපාලනඥයන් වරින්වර කරන මෙවැනි ප්‍රකාශ බොහොමයක්ම මීට පෙර අපේ දෙසවන්වලට අනන්තවත් ඇසී තිබේ. එහෙත් ගෝඨාභයගේ එම ප්‍රකාශයේ ඇති විශේෂත්වය වන්නේ ඔහු සාම්ප්‍රදායික දේශපාලනඥයෙකු නොවීමයි. එසේම ඔහු ආවාට ගියාට ප්‍රකාශ නිකුත් කරන අයෙකු ද නොවේ.

එහෙයින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට මෙන්ම අපට ද ඔහු ගැන යම් විශ්වාසයක් තිබේ. ඒ ඔහු කියන දේ කරන රාජ්‍ය පාලකයෙකු යැයි අප ද දැඩි ලෙස විශ්වාස කරන බැවිනි. ඔහු එම විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව අපගේ අදහසයි.

කෙසේ වෙතත් අප තවමත් වත්මන් ජනාධිපතිතුමා කෙරෙහි උණුසුම් බලාපොරොත්තු රඳවා ගෙන විමසිල්ලෙන් බලා සිටින බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. මෙම ප්‍රශ්නයේ දී අප ද කාදිනල් උතුමාණන් සමඟ බව ප්‍රකාශ කරන්නේ දැඩි විශ්වාසයකිනි.

Comments