රතු කරැති ජනපති ගේ නික්ම යෑම | සිළුමිණ

රතු කරැති ජනපති ගේ නික්ම යෑම

බ මාර්ගයේ රියක් පදවාගෙන යනවා යැයි සිතන්න. ඔබ පසුපසින් පැමිණෙන වාහනයේ සිටින රියදුරු ඔබව පසුකර යාමට මහා වෙහෙසක් ගන්නවා ඔබට පෙනෙයි. නමුත් මාර්ගයේ පටුභාවය හේතු කොටගෙන ඔහුට එසේ කළ නොහැකිය. නමුත් පසුපසින් එන රියදුරු එය ඔබගේ වරදක් ලෙස සලකා සිය සුක්කානමට ගසමින් වාහනයේ නලාව ශබ්ද කරමින් සිය රියදුරු අසුනේම සිට මහා ගාලගෝට්ටියක් කරයි. මාර්ගයේ ඉඩක් ලැබුණු සැණින් ඔහු ඔබව අබිබවා මැද ඇගිල්ලද පෙන්නමින් ඔබට බැණවදිමින් ඔබව පසු කර යයි.

තත්ත්වය වඩාත් බරපතළ නම් ඔහු ඔබ ඉදිරියෙන් ගොස් වාහනය හරස් කොට නවත්වා ඔබට මරණ තර්ජනයක් ද කරයි. මෙවැනි ගති පැවතුම සහිත කලබලකාරී ගති පැවතුම් ඇති සැමවිටම කෝපයෙන් සිටින පුද්ගලයන් බටහිර ලෝකයේ හඳුන්වන්නේ "රතු කරා" (red necks) යනුවෙනි. මිට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන් දකුණු ප්‍රාන්තවල සුදු ග්‍රාමීය කම්කරු පන්තියේ සාමාජිකයකුට අගෞරවයක් ලෙස හැදින්වීමට ද මෙම "රතු කරා" යන විශේෂණය භාවිත කරයි. බලයෙන් ඉවත්වයන ට්‍රම්ප් ජනාධිපතිවරයා හඳුන්වද්දීද ඔහුගේ චරිත ලක්ෂණ රතු කරෙක් මෙන් යයි විස්තර කෙරෙයි.

නූතන එක්සත් ජනපද ඉතිහාසයේ ඇමරිකානු දේශපාලන චරිත අතර ට්‍රම්ප්ගේ මෙම පෞද්ගලික ශෛලිය අසාමාන්‍ය ලක්ෂණයක් ලෙස හැඳින්වෙයි. නිව්යෝර්ක් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස වැජඹුණු ඔහුගේ චරිත ලක්ෂණ අතරට දැඩි තරඟකාරිත්වයත්, තම සාර්ථකත්වය සහ ජයග්‍රහණ අන් අයට පෙන්වීමට ඇති දැඩි උනන්දුවත් ප්‍රධාන විය. මෙය එක්තරා ආකාරයක උන්මාදයක් ලෙසද විස්තර කළ හැකිය. ට්‍රම්ප්ට එරෙහිව ඇති බොහෝ විවේචන ඔහුගේ මේ දුර්වලතාවට සීමා වීම විශේෂත්වයකි. නමුත් මගේ හැඟීම නම් ඔහු ලැබූ යම් සාර්ථකත්වයක් වේද එයට හේතුවද ඔහුගේ මෙම චරිත ලක්ෂණය වන බවයි.

එයට හේතුව මෙලස විග්‍රහ කළ හැකියි. ඇමරිකාවේ ජනාධිපතිවරයකු වීම පහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා සුදුසු කම් ලබන අත්‍යාවශ්‍යම එහෙත් නිල නොවන සාධකය වන්නේ අභ්‍යන්තර රාජ්‍යයේ (deep State)හි ප්‍රධාන නළුවන් ප්‍රමුඛ නව ලිබරල් කඳවුර, බුද්ධි අංශ, නව කන්සර්වේටිව් (Neocon) කඳවුර, ඊශ්‍රායල් ලොබිය, සවුදි ලොබිය, යුද ආයුධ ලොබිය වැනි බලවේගයන්හි වුවමනා එපාකම් ඉටු කිරීමට ඇති එකඟතාවයි. අපට තේරුම් යන අකාරයෙන් කියනවා නම් ඇමරිකාවේ ජනාධිපති වරයා වීමට නම් ලොවපුරා ඇති රාජ්‍යනොවන ආයතන වලට මුදල් පොම්පකරන ඇමරිකානු ගෝඩ් ෆාදස්ලාගේ අනුමැතිය ගත යුතුව තිබෙනවා. ට්‍රම්ප්ගේ විශේෂත්වය නම් මෙම ගෝඩ් ෆාදස්ලාට අවනත නොවුණු මෑත ඉතිහාසයේ පත්වුණු එකම ජනාධිපතිවරයා ඔහු වීමයි.

“ඇමරිකා ෆස්ට්” යන බැනරය යටතේ සාරාංශ ගත කළ ඔහුගේ දේශපාලන මතවාදය මගින් ට්‍රම්ප් නේටෝ වැනි සන්ධානවල ආරම්භක මූලධර්ම ප්‍රශ්න කරනු ලැබූ අතර විදේශීය හමුදා මෙහෙයුම්වල යෙදීමට ඔහුගේ ඇති අකමැත්ත ද එමගින් පෙන්නුම් කළේය. ඔහුගේ විරුද්ධවාදීන් වූ අභ්‍යන්තර රාජ්‍යයේ (deep State) ප්‍රධාන නළුවන් ප්‍රමුඛ නව ලිබරල් කඳවුර, බුද්ධි අංශ, නව කන්සර්වේටිව් (Neocon) කඳවුර, ඊශ්‍රායල් ලොබිය, සවුදි ලොබිය, යුධ ආයුධ ලොබිය වැනි බලවේගයන්හි අවශ්‍යතා සපුරාලනවාට වඩා සාමාන්‍ය ඇමරිකානු පුරවැසියකුගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු වීමට ඔහු කැමැත්තක් දැක්වීය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සෙසු ලෝකය දැනුවත් කිරීමේ ප්‍රමුඛ භූමිකාව සහ ගෝලීය ආධිපත්‍යය ලුහුබැඳීම අතහැර දැමීම හේතුවෙන් අභ්‍යන්තර රාජ්‍යයේ ප්‍රධාන නළුවන් හට ආර්ථික වශයෙන් පාඩු සිදු වන්නට විය. මේ හේතුවෙන් ට්‍රම්ප් සමඟ වෛරයෙන් සිටි ඔවුන් ට්‍ර්ම්ප් රජය පරාජයට පත් කිරීමේ විවිධ උත්සාහයන්හි විටින් විට යෙදුණි.

අල්කයිඩා සංවිධානයට එරෙහිව යේමනයේ සිදු කරන ලද මෙහෙයුම එක උදාහරණයකි. මේ අනුව අල්කයිඩා සංවිධානයට අයත් යැයි කියනු ලබන කඳවුරට පැමිණීමට පෙර සාමාන්‍ය වැසියන් සහිත ප්‍රදේශයකදී ඇමරිකානු විශේෂ හමුදා වෙත ප්‍රහාරයක් එල්ල විය. මෙහිදී විශේෂ හමුදා භටයන් විසින් චලනය වූ ඕනෑම දෙයකට වෙඩි තැබීමෙන් සිවිල් වැසියන් 25 කට වැඩි පිරිසක් මිය ගියේය. ඔබාමා පාලන සමයේ නිහඬව සිටි නව ලිබරල් මාධ්‍ය එක්වරම අහිංසක මිනිසුන් ඝාතනය කිරීම පිළිබද ප්‍රවෘත්ති පළකරන්නට විය. මෙම සිද්ධිය ට්‍ර්ම්ප් පාලනයේ දුර්වලතාවයක් ලෙස හුවා දක්වන්නට විය. එම මෙහෙයුමේ අසාර්ථකත්වය ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයේ ප්‍රධාන අංගයක් වන ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහි පර්යත්නයන් කඩාකප්පල් කිරීම සදහා ඔහුගේ විරුද්ධ වාදීන් විසින් එල්ල කළ මූලික උත්සාහයක් බව ඉතා පැහැදිලිය. ඓෙතිහාසිකව ඔප්පු වී ඇති දෙයක් වන අල්කයිඩා, සවුදි සහ නව කන්සර්වේටිව් අතර සම්බන්ධතා සැලකිල්ලට ගත් විට එම අසාර්ථකත්වය පසුපස සිටින්නන් හඳුනාගත හැකිය.

ට්‍රම්ප් පාලනයේ තවත් නිල ප්‍රතිපත්තියක් වුයේ ඉස්ලාම් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රුසියාව සමග ඇතිකරගත් හොඳහිතයි. ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය මුල් අවධියේදී සිදුවූ එම හොඳහිත අඩපණ කිරීමේ උත්සාහයක් වියහැකි තවත් සිද්ධියක් වන්නේ රුසියානු සමූහාණ්ඩුවේ බටහිර දේශ සීමාවට නේටෝ හමුදා යෙදවීමයි. මෙම උත්සාහය වොෂිංටන් සහ මොස්කව් අතර සහයෝගීතාවයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගත් එක් උපාය මාර්ගයක් ලෙස පැහැදිලිව පෙනෙන අතර යුරෝපා සංගම් නායකයින්ට සහ විශේෂයෙන් ජර්මනියේ හා ප්‍රංශයේ දේශපාලන නියෝජිතයින්ට කලින් ඔබාමා ජනාධිපති ධුරය විසින් නියම කළ දිශාවන් වෙතට ලෝකය ගෙන යාමේ සෑම අභිප්‍රායක්ම ඇති බව ඉන් වඩාත් පැහැදිලිවිය. ඔබාමා ජනාධිපතිට දිශාවන් පෙන්වුයේ කවුරුන්ද වග ඔබ දැන් හොඳට දනී.

ට්‍රම්ප්ගේ හුදකලාවාදයට සමීපව පෙළගැස්වීමෙන් ලොව බොහෝ රටවල් ජාතිකවාදී සහ ජනතාවාදී පක්ෂ තෝරා පත් කර ගැනීමට පෙලඹිණි බංකොලොත්භාවයට තුඩු දෙන අසාර්ථක ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති ගැටලු ආදියෙන් නිදහස් වීමෙන් බොහෝ විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සෙමෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට ලොව බොහෝ රටවලට අවකාශයක් ලැබිණි. ට්‍රම්ප් නේටෝව (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) විවේචනය කරමින් සන්ධානය “යල් පැන ගිය එකක්” ලෙස බැහැර කරමින් ඇමරිකානු ආධාර දෙස බලා නොසිට අනෙක් නේටෝ රටවල් තම අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ආරක්ෂක වියදම් සඳහා කැප කරන ලෙස අවධාරණය කළේය.

ඇමරිකානු මැතිවරණය අවසන් වුවත් තවමත් ට්‍රම්ප් කඳවුර සිය සටන අතහැර දමා නැති බවයි පෙනෙන්නේ. ඒ අනුව ඔහුගේ red neck ගතිය තවදුරටත් විද්‍යාමාන වෙමින් පවතී. ට්‍රම්ප් කඳවුරේ අභ්‍යන්තරිකයන් පවසන පරිදි මැතිවරණය දුෂිත එකකි; එය එසේ වන බව දැනසිටි ට්‍ර්ම්ප් සියලු ඡන්ද පත්‍රිකාවලට සැඟවුණු රහසිගත ලකුණු යොදා ඇති බවත් හොර ඡන්ද දමා ඇතිනම් ඒ බව හෙළිවනු ඇති බව ද ඔවුහු කියති. ප්‍රාන්ත ගණනාවක මැතිවරණ නඩු පැවරීමක් ගැනද කියැවිණි. එහෙත් ඒ කිසිදු කරුණකට ප්‍රතිඵලය වෙනස් කළ හැකියි නොසිතමි. ඒ අනුව ට්‍ර්ම්ප් පරිපාලනය මෙලෙස අවසන් වෙද්දී ඔහු විසින් ලෝක දේශපාලනය තුළ ඇති කළ වෙනස හඳුනා ගැනීම අපවැනි කුඩා රටවලට ඉතා වැදගත් බව මගේ හැඟීමයි. ට්‍රම්ප් ජනාධිපති වරයා විසින් ලෝක දේශපාලනය යථාවත්ලෙස යාවත්කාලීන කර ඇති අතර නව ලිබරල් ආධිපත්‍යය සිය ගෝලීය අභිලාෂයන් මුඳුන් පත් කර ගැනීමට ක්‍රියාත්මක වන ආකාරයද වෙනස් වනු ඇත. ඒ කෙසේ වෙතත් අවශ්‍ය අවස්ථාවන්හිදී පසුපසින් පැමිණ නලාව හඬවීමට ඇති අවශ්‍යතාව අපි අමතක නොකර සිටිමු.

ඔබේ අදහස් යොමු කරන්න: [email protected]

Comments