කොරෝනා සහ සාමාන්‍ය ජනතාව | සිළුමිණ

කොරෝනා සහ සාමාන්‍ය ජනතාව

මේ වනවිට කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල රටපුරා වේගයෙන් පැතිර යමින් පවති. එමගින් සිදුවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

කෙසේ වෙතත් එය බල බලා සිටිය හැකි තත්ත්වයක් නොවේ. එහෙයින් ආණ්ඩුවේ බලධරයන් මෙන්ම රටේ සමස්ත ජනතාව ද ඒ ගැන උපරිම උනන්දුවක් දැක්වීම අත්‍යවශ්‍ය වේ. එසේ නැතහොත් සිදුවන්නේ මුළු රටම විසාලා මහ නුවරක් බවට පත්වී වැනසී යෑමය.

එය කිසිසේත්ම සිදුනොවිය යුතු සිද්ධියක් බව සැබෑය. එහෙයින් මාරාන්තික කොරෝනා උවදුරට එරෙහිව මෙරට සමස්ත ජනතාවම පෙළගැසිය යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව කොරෝනා ජයගනු ලැබුවහොත් අප සියලු දෙනාටම වැඩ වරදින බැවිනි.

එහෙයින් මේ මර උගුලෙන් බේරීමට නම් අප සැවොම එක්විය යුතුය. අප සියලු දෙනාම එක හිතකින් කොරෝනාවට එරෙහිව පෙළගැසුණුහොත් කොරෝනාව පරාජය කර ආපසු නොඑන්නටම පළවා හැරීම ඒ හැටි කජ්ජක් නොවිය හැකිය.

කෙසේ වෙතත් දැන් පෙනෙන්නට තිබෙන්නේ කොරෝනාව පසුපස තවත් මාරයකු දත් විලිස්සා ගෙන පැමිණෙමින් සිටින බවය. කොරෝනාව පසුපසින් එන ඒ මාරයා වනාහි අප ඉතා හොඳින් දැන හඳුනන කළුකඩ මුදලාලිය.

කොරෝනාව මිනිසුන් වළ පල්ලට යවනු ලබන්නේ ඔවුන් ලෙඩ කරවමිනි. එහෙත් කළුකඩ මුදලාලි අප සැම වළපල්ලට යවන්නේ අප කුසගින්නේ තබා නොමරා මරමිනි. නැතහොත් අපට දහජරාව කවා අතමිට ද අන්තිම සතයට ම හූරාගෙන අපට නැති ලෙඩ ද බෝ කරවමිනි.

වත්මන් ආණ්ඩුව දැනට සති දෙක තුනකට පෙර ලොකු ලූනු මිල කිලෝවක රුපියල් 100 දක්වා අඩුකර ඇතැයි මහ අඬහැරයක් නැගූවේය. එහෙත් ජනතාව ස.තො.ස ආයතනය වෙත ගොස් බලන විට කිලෝව රුපියල් 100 ට දෙන ලොකු ලූනු නැතැයි කී එහි සේවක පිරිස එම මිල ගණන් වලට ලූනු කියූ අයගෙන්ම ඉල්ලා ගන්නැයි කියමින් ඔවුන් පළවා හැරියහ.

එහෙත් ඊට පසුදාම ස.තො.ස ට ඉදිරිපිටින් ඇති පාරේ ලූනු ලොරි පිටින් ගමන් කරන අයුරු දකින්නට ලැබුණේය. ඒ මොහොත වන විටත් විවෘත වෙළෙදපොළේ ලොකු ලූනු කිලෝව රුපියල් 260 ගණනේ විකිණෙමින් තිබුණේය. ස.තො.ස ආයතනයෙන් සීනි කිලෝවක් රුපියල් 85 බැගින් ලබාගැනීමට නම් රුපියල් 600 කට වැඩි වෙනත් භාණ්ඩ මිලදී ගතයුතු යැයි ඒ අතරේ කතාවක් ගියේය.

ජනමාධ්‍යයෙන් ප්‍රකාශ කළ අන්දමට දඹුල්ල සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය වෙත තමන්ගේ එළවළු තොග ගෙන ආ ප්‍රදේශවාසී ගොවි ජනතාවට එම කෘෂි නිෂ්පාදන ආපසු ගෙන යාමට සිදුවූ බවක් ද මේ අතර අසන්නට ලැබුණේය. එසේ වූයේ ඒවා මිලදී ගැනීමට කොළඹ ඇතුළු පිටපළාත් වලින් ගැණුම් කරුවන් නොපැමිණි බැවිනි. ඒ අනුව වෙහෙස මහන්සි වී එම කෘෂි බෝග වගා කළ ගොවින්ට සිදුවී ඇත්තේ වහකෑමටය.

දඹුල්ලේ සහ කැප්පෙටිපොළ තදාසන්න නගරබද පෙදෙස්වල ජනතාව පසුවන්නේ දැඩි ආහාර හිඟයකට මුහුණ දෙමිනි. අද කොළඹ ප්‍රදේශයේ නාඩු කිලෝවක් විකිණෙන්නේ රුපියල් 120 – 140 අතර මිලකටය. මයිසූර් පරිප්පු කිලෝවක මිල රුපියල් 180 කි. කහ ගැන කතා කිරීම පවා නිෂ්ඵලය.

මෙලෙස උන්හිටි ගමන් සහල් හිඟයක් ඇතිවූවේත්, සහල් මිල උන්හිටි ගමන් ඉහළ නැගුණේත් මහා පරිමාණ මට්ටමේ සහල් මෝල් හිමියන් තමන් ගේ සහල් තොග සඟවා තබාගෙන සිටින නිසා බව ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අදහසයි. එය සත්‍යයක් නම් එමගින් අපට පිළිගැනීමට සිදුවන්නේ ධනපති සහල් මෝල් හිමියන්ගේ දෙපාමුළ දණින් වැටී ඇති බවකි.

රට තුළ විදුලි වේගයෙන් පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය මැඩලීම සඳහා ආණ්ඩුව දෙසතියකට ආසන්න කාලයක් බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවූවේ සියලුම කඩ සාප්පු වසා දමමිනි. ආණ්ඩුව එවැනි පියවරක් ගෙන තිබුණේ සද්භාවයෙන් බව සැබෑය. එහෙත් ප්‍රශ්නය වූයේ උන්හිටි ගමන් ඇඳිරිනීතිය පැනවීම නිසා එදා වේල හරි හම්බ කරගෙන ජීවිතය ගැට ගසා ගන්නා දිළිදු ජනතාව නොමැරී මැරෙන තැනකට පත්වීමය.

ආණ්ඩුව මුළු රටම වසා දමා කොරෝනා පළමු රැල්ලෙන් අපේ රටත්, ජනතාවත් බලවත් ව්‍යසනයකින් ගලවා ගත්තේය. ඒ ගැන මුළු රටම ආණ්ඩුවේ බලධාරින්ට කෘතඥ විය යුතුය. ඒ කොරෝනා උවදුර වැනි දරුණු වසංගතයකට අභීතව මුහුණ දෙමින් ඔවුන් ඉතා හොද ආදර්ශයක් දුන් බැවිනි. ඒ අනුව ජනතාවගෙන් ආණ්ඩුවට ඉහළින්ම ලකුණු ලැබුණේය. ජනතාව ආණ්ඩුවට 2/3 බලයක් ලබා දුන්නේ ද ඒ නිසාය.

එහෙත් මෙදා කොරෝනා දෙවැනි රැල්ල තමන් මුලින් සිතුවාට වඩා අතිශයින් අන්තරායකාරීය. ඒ අනුව දැන් මෙරට ජනතාවට තමන්ගේ ආරක්ෂාව ගැන වෙනදාට වඩා අවධානය යොමු කළ යුතුය.

Comments