සැබෑ ජීවිතේදී මම ටිකක් චණ්ඩි කෙල්ලක් | සිළුමිණ

සැබෑ ජීවිතේදී මම ටිකක් චණ්ඩි කෙල්ලක්

 

 

මම කැමැති ප්‍රේක්ෂක හිත්වල රැඳෙන චරිතයක් වෙන්න

හැමදේම හොඳ විදියට බාරගන්න කෙනෙක් මම

 

‘2020දෙරණ අවුරුදු කුමරිය‘තෙවැනි ස්ථානය හිමි කර ගත් සුරූපිණිය වූ ඩිලූෂි හංසිකා ගේ කුලුඳුල් රංගනය කෞෂල්‍යය මේ දිනවල විකාශනය වන ‘ධරණි‘ ටෙලිනාට්‍යයේ ‘විනුලි‘ගේ චරිතයෙන් දැක ගත හැකිය. අහම්ඹෙන් රංගනයට පිවිසි ඩිලූෂි ඒ නැවුම් අත්දැකීම බෙදා ගන්නට අප හා එක් වූවාය.

 

ඩිලූෂිගේ පුංචි තිරයේ කුලුඳුල් රංගනයට කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

 

බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මඟ තොටේදී වුණත් දැන් ගොඩක් අය ටිකක් මූණ දිහා බලන් ඉඳලා “මේ ධරණි එකේ නංගි නේද“ කියලා අහලා බොහොම සුහදව ප්‍රතිචාර දක්වනවා. මගේ චරිතය සාමාන්‍ය ගෑනු ළමයකුගෙ චරිතයට වඩා ටිකක් වෙනස් නිසා ගොඩක් අය කුතුහලයෙන් බලනවා කියලා ආරංචියි.

 

ඒ ප්‍රතිචාර අතර ඔබට සුවිශේෂී ප්‍රතිචාරයකුත් ලැබුණු බව ආරංචියි?

 

මම ආසම රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වන්න පුළුවන් කළණ ගුණසේකර. මම හැබැහින් ඔහුව තවම දැකලත් නැහැ. නමුත්‘ධරණි‘ෆෑන් පේජ් එකේ දාලා තිබුණු පෝස්ට් එකක මගේ ෆයිට් දැකලා ඔහු කමෙන්ට් එකක් දාලා තිබුණා..ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි.

 

ඒ කියන්නේ ඩිලූෂිත් දැන් ජනප්‍රියයි?

 

මට තේරෙන විදියට ජනප්‍රියත්වය කියන්නෙ අද තියෙනවා හෙට නැති වෙනවා වගේ දෙයක්. ගෑනූ ළමයෙක් විදිහට අපේ පෞද්ගලිකත්වය, අධ්‍යාපනය වගේ දේවල් කාටවත්ම ගන්න බැහැ. කෙනෙක් වැරැදි විදිහට ජනප්‍රිය වුණොත් මිනිස්සු කවදාවත් ඒ පුද්ගලයාට ආදරේ කරන එකක් නැහැ. මම කැමැති මිනිස්සුන්ගේ හිතේ රැඳෙන චරිතයක් වෙන්න.

 

රංගනයට පිවිසෙන්නේ අහම්ඹෙන් බව ඔබ කියනවා?

 

ඔව්. මට 2020 දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් තුන්වෙනි ස්ථානය ලැබෙනවා. නමුත් ඒ ඔස්සේ රංගනයට පිවිසෙන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. පස්සෙ කාලෙදී දෙරණෙන් අපේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා ඒකෙන් සමත් වුණාට පස්සෙ තමයි ‘ධරණි‘ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබෙන්නේ.

 

පුංචි තිරයේ රංගනය අහම්ඹයක් වුණාට රංගනය ඔබට තරමක් හුරු පුරුදුයි නේද?

 

මම මීට කලින් වෙළෙඳ දැන්වීම් වලට පෙනී හිටියා. ඉස්කෝලේ කාලෙදිත් වේදිකාවට ගොඩක් සම්බන්ධ වුණා. ඒ හුරුව නිසාදෝ කැමරාව ඉස්සරහ සබකෝලයක් දැනුණේ නෑ. ඒත් එක එක ඈන්ගල් ගන්න කොට ටිකක් නුහුරුයි. නමුත් මුල් දවසට වඩා දැන් යමක් කමක් තේරෙනවා කියලා හිතෙනවා.

 

මේ රංගනය වෙනුවෙන් ඔබේ පෙර සූදානමක්, විශේෂ හැදෑරීමක් තිබුණද ?

 

විනුලි කියන්නේ ඕනම දේකට මුහුණ දෙන්න පුළුවන්, ටිකක් චණ්ඩි අසාධාරණය වෙනුවෙන් පෙනි ඉන්න චරිතයක්. ඇය සටන් කලාවටත් දක්ෂයි. දක්ෂ සටන් අධ්‍යක්ෂවරයකු වන ඔසඳ සමන් බණ්ඩාර මහතා යටතේ මාස දෙකක් විතර සටන් කලාව පුහුණු වුණා. ඩ්‍රාමා එකේ අපේ අප්පච්චිට ඉන්නෙත් ඔසඳ මාස්ටර් තමයි.

 

ඩිලූෂි ගේ ජීවිතෙත් විනුලිගේ ගති පැවතුම් තියෙනවා කියන්නේ ඇත්තද?

 

ඔව්. සැබෑ ජීවිතේ මමත් ටිකක් චණ්ඩි කෙනෙක්. ඒත් විනුලි තරම් සැර නෑ. ඒ හැරුණම කිසිම දෙයක් ගැන බැරෑරුම්ව නොහිතන ජීවිතේ ලොකූ බලාපොරොත්තු නැති හැමදේම හොඳ විදියට බාරගන්න කෙනෙක් මම.

 

ඔබේ රංගන කාර්යයට ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

 

ඒ සහයෝගය ඇත්තටම මට ශක්තියක්. මට ඒ ලැබෙන මඟපෙන්වීමට අපේ අධ්‍යක්ෂකතුමාගේ ඉඳන් හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.

 

ඩිලුෂි ගේ රංගනය මෙගා නිර්මාණයටම කොටු වේවී යැයි හැඟෙන්නේ නැද්ද?

 

මම කෙටි චිත්‍රපවල, වෙළෙඳ දැන්වීම් වල වගේම නිවේදිකාවක විදිහටත් කටයුතු කරනවා. ඒ නිසා මම එකකට සීමා වෙලා හෝ වේවී යැයි හිතන්නේ නැහැ.

 

අනාගතයේදී රංගනය ඔබේ වෘත්තිය වේවිද?

 

මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ ශිෂ්‍යාවක්. ඊට අමතරව ජර්මන් භාෂාව ඉගෙන ගන්නවා. ඉදිරියේදි හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒ අවස්ථාව ගනීවි. නමුත් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්නයි මගේ කැමැත්ත. ඒ නිසා වෘත්තීය වශයෙන් රංගනය තෝර ගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.

Comments