ජීවිතේ ගැන කියන්න ආලින්දයට එන නෑනලා | සිළුමිණ

ජීවිතේ ගැන කියන්න ආලින්දයට එන නෑනලා

 එක රටාවක්, පිළිවෙළක්, මෝස්තරයක් විදියට ‘එකක්‘කියලා දෙයක් දකින්න නැතිකම ජීවිතේ හැටි. අගක් - මුලක්, ඇරඹුමක් - නිමාවක් ඒක ඇතුළෙ හොයා ගන්න අමාරුයි. උදෑසනකම දුවන් ගිහින් තම තමන් වෙන්කරගත්ත මංතීරුවේ ඉන්න ඕන. නැතිනම් ඒ සුනංගුව පසුතැවිල්ලට හේතුවක් වෙන්න පුළුවන්. අද දෙනෝදාහක් කරකැවෙන්නේ ඒ ඉරණමේ. එහෙමයි මේ රේස් එකේ විදිය. හති අරින්න වෙලාවක් නැහැ. වැටුණත් රිදුම් පිරිමදින්නත් ආපිට නැගිටලා කොර ගගහා හරි ‘එන්ඩ්‘ එකට යන්න ඕනේ. නැත්නම් සුන්.

 

මේ අද ඊයේ එකපාරට අහසින් කඩාපාත් වෙච්ච ධර්මතාවක් නෙවි. පරම්පරාවෙන් පරම්පරාවට, කාලෙන් කාලෙට නඩත්තු කරන් ආ තත්ත්වයක්. එක තැනකින් විතරක් අල්ලා බලලා ජීවිතේ ‘මේකමයි‘කියලා තීන්දු තීරණ දෙන්න අපහසු ඒ නිසයි. ඒ ඇත්ත, රූප පෙළකට ඇමුණුවොතින් කොහොමට හිටීවිද? ඒත් කාලෙන් කාලෙට වෙනස් වෙවී මෙතෙක් පැමිණි ඒ ගමනේ සංධිස්ථාන, චරිත, සමාජ සංස්කෘතික පෙරළි ඔය සේරම එකට අමුණා නොතිබ්බොතින් ඒකත් අඩුවක්.

දැන් අපි කරපොවන්නේ ඒ දිහාට. ඉතිහාසයේ ඉඳන් අදට. අපිව ඒ සංචාරය කැඳවාගෙන යන්නේ පුංචි තිරේ ප්‍රවීණයෙක්. ජාතික රූපවාහිනිය හරහා දූ දරුවෝ, නෑදෑයෝ ආදී වශයෙන් ඒ පරම්පරා විත්ති පුරුකෙන් පුරුක අමුණපු ඔහු නාලන් ගේ මෙන්ඩිස්. ඔහුගේ කැමරා ඇසින් සිත්තම් කළ අම්මලා - තාත්තලා, අත්තම්මලා - සීයලා, අයියලා අක්කලා ගේ ජීවිත ප්‍රවෘත්තියට සමාජයෙ සියලු දෙනාගෙම අවධානය යොමු වුණා. නාලන් එවැනි තවත් අලුත් වැඩක් ජාතික රූපවාහිනිය හරහාම මේ දිනවල දිගහැරෙනවා. ඒ අපේ නෑ කම්වල ගැඹුර මතක් කරන අලුත්ම කතාවක්.

නෑනා - මස්සිනා සම්බන්ධය අපේ සංස්කෘතිය පුරාම දිවෙන්නක්. අසීමිත මානව සම්බන්ධතාවයක් එකතුපහදු වුණු අපූරු නෑකමක්. මස්සිනා කවදත් හයිකාරං කාරයෙක්. කොයි දීපංකරේ ගිහින් ආවත් එයාලා නාවලා ගෙට ගත හැකි සමාජයක අපි ජිවත් වුණේ. එහෙම බැලුවත්, පුරාණ සමාජයෙ නෑනාට පවුලෙන්ම ලැබී තියෙන්නේ තරමක අඩු සැලකිල්ලක්.

නාලන් පෙළ ගස්වන්නේ හත් විදියක ‘නෑනාලා‘ හත් කට්ටුවක් ගැන කතාවකටයි. ප්‍රවීණ තිරකතා රචක සුනන්ද සිල්වාගේ තිර රචනයෙන් උපදින නෑනලා හැඩ වැඩ වෙලා ටෙලි සිත්තමක් විදිහට රූපවාහිනියෙන් එළි දකින්නේ නාලන් මෙන්දිස්ගේ අදියුරුවෙන්.

සිතාරා කන්තෝරුකාරියක්. හොඳ කලදවස ගෙවී යන ඇගේ අපේක්ෂාව හොඳ සහකරුවෙක්. කාලෙකින් ඊයෙ පෙරේදා ඇගේ ගෙදරට ගොඩවැදුණු මනමාලයාගේ මූණ නොරොක් වුණේ ‘බෙගට්‘නිසා. බෙගට් එයාගේ ලොරි බාගෙන්, පරණ ටී.වී, කැඩිච්ච පුටු, පරණ යකඩ එකතු කරනවා. අපෙන් ඒවාට ඉහළ මිලක්.. කියලා යකඩ කටෙන් කියාගෙන ගිහින් ඒවා සල්ලි කරනවා. ඊට පස්සෙ කටගොන්නක් බොනවා. මනමාලයා ආපු වෙලාවෙම කටගොන්නක් බීගෙන මහගෙදරට කඩා වැටිච්ච බෙගට් දැකලා මනමාලයගේ මූණ ඇද වෙනවා... බෙගට්ගේ දූ සුභානි. සුභානි සිතාරාගේ නෑනා. ඒ එකක්.

රම්‍යලතා දැන් සල්ලිකාරි. ඒ පවුලේම දුවක් වන ඈ බිල්ඩින් කොන්ත්‍රාත්කාර වීරසේනගේ බිරිය නිසා ඒ අයට දැන් පොෂ් සමාජෙත් එක්ක පෑහෙන්න අමුතු දේවල් ටිකක් නඩත්තු කරගන්න සිද්ද වෙලා. සිතාරාගේ, රම්‍යලතාගේ නෑනලාගේ සමාගමටම ‘සරෝජනී‘ ඈදෙන්නේ කසාද උරුමයෙන්. චරිතා, වංශක්කා, සුභානි ලෙහෙසියෙන් කාටවත් ඔට්ටු වෙන්න බැරි අනෙක් නෑනලාගෙන් තවත් කිහිප දෙනෙක්. මාමණ්ඩිගේ උපන්දින තෑගි බෙදා හදාගන්න මේ කට්ටිය එන්නෙ වැළ නොකැඩී. එහෙමයි එහෙ වැඩ. එදා මුළුතැන්ගෙයට වැඩිපුර බරවෙච්ච, අද එහෙමම නොවෙන නෑනලාගේ කතාව මේ අය රඟ දක්වනවා. ඒ කෙනෙකු ගේ කඳුළ ද තව කෙනෙකු ගේ සිනහව ද ඒ දෙක අතර දෝලනය වන ජවනිකා ‘නෑනලා ‘ නාට්‍යයෙ බොහොමයි.

සැබෑ ජීවිතේ වසංගත - ලෙඩ දුක් බොහොමයකට මුහුණ දීලා ඉන් ජය අරන් කාලෙකට පස්සේ නිර්ධා උයන්හේවා නාලන්ගේ ටෙලියකට එක්ව සිටිනවා. ඒ වංශක්කා විදිහට. ඇයට ඉහළ ප්‍රතිචාර සමාජ මාධ්‍ය ඔස්සේ දැනටමත් ලැබෙනවා කියලයි ඇය රසඳුනට පැවසුවේ.

නාලන් මෙන්දිස් කවදත් වගේ වෙනස් වන සමාජය දිහා උපේක්ෂාවෙන් බලා සිටිනවා. “දැනට ‘නෑනාලා‘ නාට්‍යයෙ සැළකිය යුතු කොටස් ගණනක් රූගත කර තියෙනවා. කොටස් 20 ගණනේ අදියර 5ක් දක්වා ‘නෑනාලා‘ අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්තේදී මට ප්‍රවීණ සහ නවක සෑම ශිල්පියකුගේම දායකත්වය නොඅඩුව ලැබෙනවා.“ ඒ නාලන් මෙන්දිස්ගේ නිවුණු හඬයි.

කැමරාවෙන් ඉන්දික ලක්මාල් ද වේශ නිරූපණයෙන් ශනිල් වැලිවට ද කලා අධ්‍යක්ෂණයෙන් සුරංග ප්‍රදීප් ද සංගීතයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ ද සංස්කරණයෙන් තිලංක බණ්ඩාර ද සහාය අධ්‍යක්ෂණයෙන් උදය ප්‍රසන්න ආදින් ද නෑනලා වෙනුවෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා. එහි බරපැන බුද්ධික ලොකුකැටිය සහ හිරුණි රණසිංහගෙන්.

රම්‍යා වනිගසේකර, ලයනල් වික්‍රම, යශෝධා විමලධර්ම, ගීතා කාන්ති ජයකොඩි, දමයන්ති ෆොන්සේකා, ජනක කුඹුකගේ, රොෂාන් පිලපිටිය, නිර්ධා උයන්හේවා, රුවන්ති රත්නායක, නිල්වලා විශ්වමාලි, හිරුණි රණසිංහ, පූජනී භාග්‍යා, සංජය වෙදආරච්චි, ජගත් ඇලදෙනිය ‘නෑනලා‘ නාට්‍යයෙ චරිත මවනවා...

 

Comments