ජීවිතය දිනන්න එක ශක්තිමත් සිතිවිල්ලක් ඇති | සිළුමිණ

ජීවිතය දිනන්න එක ශක්තිමත් සිතිවිල්ලක් ඇති

උසස්පෙළ දෙපාරක් ෆේල්. සුළු රැකියා කරන ගමන් තුන්වෙනි පාර විභාගෙ කරලා කැම්පස් ගියා.

9 වසර අවසන් විභාගයේදී ගණිතයට ලකුණු 09යි. සාමාන්‍ය පෙළට විශිෂ්ට සාමාර්ථයක් ගත්තා...

“මගේ තාත්තා කම්කරුවෙක් විදිහටයි රැකියාව කළේ. ඔහු විශ්‍රාම ගියේ පාසලක ලිපිකරුවෙක් විදිහටයි. ඒත් අපිට හරියට ප්‍රශ්න තිබුණා. ආර්ථික ගැටලු ගොඩක් තිබුණා. මම ඉගෙන ගත්තේ මේ අගහිඟකම් මැද්දේ. මගේ ජීවිතයේ ලොකුම පංගුකාරිය තමයි මගේ සැලි ආච්චි. අම්මාගේ අම්මා. ඇය තමයි මට වේදනාව දරාගන්න හැටි, දුක් වේදනා ඉවසන හැටි කියා දුන්නේ. සැලි ආච්චි මීට අවුරුදු 12කට කළින් මෙලොවින් සමුගෙන ගියත් අදටත් ආච්චි ගැන මතකය නිතර අලුත් වෙනවා.“

සිනහව සහ කඳුළ අතරින් ගලා ගිය ළමාවියකට උරුමකම් කී ඔහු වර්තමානයේ පොලිස් පරික්ෂකවරයෙකි. විශ්වවිද්‍යාලයීය උපාධිධාරියෙකි. නීතිඥයෙකි. එමෙන්ම කවියෙකි. පොලීසිය, හමුදාව සහ රජයේ විවිධ ආයතනවල ජනප්‍රිය අභිප්‍රේරණ දේශකයෙකි. තවම 36 හැවිරිදි වියේ පසුවන දිමුතු ප්‍රදීප් ජයසිංහ සිය ජිවිතයේ සාර්ථකත්වය පිළිබඳ ‘රසඳුන‘ පිළිසඳරකට එක්වූයේ එලෙසිනි.

“එක අතකට මගේ ළමාවිය ඉතා සුන්දරයි. කොයිතරම් දුෂ්කරතා තිබුණත් මාත්, අයියාත්, නංගිත් මේ හැම බාධකයක්ම මැද ලස්සනට ළමාවිය ගත කළා. මගේ ගම මාතර, කිතලගම. මුලින්ම පාසල් ගියේ කිතලගම බටහිර මහා විද්‍යාලයටයි. ඒ කාලේ අපි ඇලේ, දොලේ වෙල් ඉපනැල්ලේ දුව පැන හිතේ හැටියට සෙල්ලම් කළා. හැබැයි අධ්‍යාපනයත් හොඳින් කරගෙන ගියා.“ මේ දිරිය සම්පන්න තරුණ පොලිස් නිලධාරියා එසේ කියමින් සිය අතීතය දිග හරින්නට වුයේය.

“මට නව වැනි වසරේ වාර අවසන් විභාගයෙන් ගණිතයට ලකුණු 9යි. ඒත් සාමාන්‍ය පෙළ විභාගයේදි ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබාගන්න පුළුවන් වුණේ කැපවීමෙන් මහන්සියෙන් පාඩම් කළ නිසයි. මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඩී 5යි, සී පහයි. ඒ කාලේ අපේ පාසලේ හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය වුණා.“ඔහු එසේ කියන්නේ සිනාමුසු මුහුණින් යුතුවය. ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලැබීම හේතුවෙන්ම ඔහුට උසස්පෙළ සඳහා ගණිත අංශයෙන් පෙනී සිටින්නැයි මාපියන්ගෙන් උපදෙස් ලැබිණි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ තම පුත්‍රයා ඉංජිනේරුවකු වීම දැකීමය.

“ඒ නිසා මම උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන්. ඒත් මම උසස් පෙළ අසමත් වුණා. දෙවැනි වතාවෙත් අසමත් වුණා. ඒ නිසාම අන්තිමට අධ්‍යාපනය අතහැරලා සුළු රැකියාවක නිරත වුණා. ඇත්තටම මම ඒ කාලේ රැකියා ගණනාවක්ම කළා. මගේ ඉරණම වෙනස් වුණේ ඒ කාලේ මාතර නගරයේ ප්‍රකාශනයක් වුණු ‘ළමා මුතු‘පුවත්පතේ රැකියාවකට යාමෙන් පස්සෙයි. ඒ පුවත්පත් කාර්යාලය තිබුණු තැනට යාබද ගොඩනැගිල්ලක නීති විද්‍යලයීය ප්‍රවේශයට පන්ති පැවැත්වුණා. ඒ දේශන මට නිතර නිතර ඇහෙන්න ගත්තා. ඔන්න මටත් නීතිඥයකු වීමේ සිහිනයක් ඇතිවුණා.“

නීති ප්‍රවේශ විභාගයට පන්ති පැවැත් වූ ගුරුවරයා මුණ ගැසුණු දිමුතු තම අභිලාසය ඔහුට කීවේය. නමුත් ඔහුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විමසූ ගුරුවරයා දුන් උපදෙස නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටින්නටය. ඒ අනුව දිමුතු නැවතත් පෞද්ගලික අයැදුම්කරුවකු ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. “තුන්වැනි වතාවේ මම තෝරාගත්තේ කලා විෂයන්. “ ඔහු පැවැසීය.

“මාපියන්ගේ කීමට මම ගණිත අංශයෙන් උසස්පෙළ කළත් ඇත්තටම මට උනන්දුවක් තිබුණේ නෑ. දරුවන් ඉගෙන ගත යුත්තේ තමන් කැමති විෂයන් බවයි මගේ අදහස. තුන්වැනි වතාවේ මම ඉහළින්ම විභාගේ සමත් වුණා. විෂයයන් තුනටම මට ‘ඒ‘සාමාර්ථ ලැබුණේ දිස්ත්‍රික්කයෙන්ම 64 වැනි ස්ථානයත් අත්කර දෙමිනුයි.“

ඒ අනුව දිමුතුට විශ්වවිද්‍යලය වරම් ලැබිණි. ඔහුට නීති පීඨයට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණ ද කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීමට හැකි විය.

“ඒ අතරතුර ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගන්න මම රැකියා ගණනාවක්ම කළා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ගත කළ කාලයේදි කැපී පෙනෙන සිසුවෙක් වුණා. දේශපාලනයත් කළා. ඒ කාලේ මගේ සමකාලීන සිසුන් මට ‘අරටුව‘කියලා නමකුත් දැම්මා.“ඔහු සිනාසෙමින් එසේ කීවේය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක තනතුර ලැබුවේ විශ්වවිද්‍යලයේ අවසන් විභාගයට පෙනී සිටීමටත් පෙරය. ඔහු විභාගයට පෙනී සිටීමට පෙර ඊට අයැදුම් කර තිබිණි.

“2009 දී මම පොලිස් දෙපාර්තමේන්තුවට එක් වුණා. ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මම පුහුණුව ලැබුවේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ. එවකට එහි සිටි ප්‍රධානින්ගේ අනුමැතිය මැද මම විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිට උපාධියත් සමත්වුණා.“වසර 2010දී කොහුවල පොලිස් ස්ථානයට සිය පළමු පත්වීම ලැබූ දිමුතු එහි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඒ කාලය අතරතුරදීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හැදැරූ ඔහු ඊට වසර දෙකකට පසු නීතිඥ සිහිනය සැබෑ කරගැනීමේ අභිලාෂයෙන් නීති ප්‍රවේශ විභාගයට ද පෙනී සිටියේය.

“මම නීති ප්‍රවේශ විභාගය සමත්වුණේ හතරවැනි වතාවේ. අවුරුදු 5කට වැඩි කාලයක් නීතිවේදී උපාධිය හැදෑරුවා. ඒ අතරතුර කාලයේ මට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහටත් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. “ඔහු නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙන්නේ පසුගිය වසරේදීය. ඒ වසරේදීම ජනවාරි පළවැනිදා ඔහු පොලිස් පරික්ෂකවරයකු ලෙස ද උසස්වීම් ලැබුවේය. දිමුත් ප්‍රදීප් වර්තමානයේදී ධනාත්මක චින්තනය පිළිබඳ පාසල් දරුදැරියන්ට මෙන්ම විවිධ ආයතනවලත්, නීතිය සම්බන්ධව පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ දේශන ද පවත්වයි.

දිමුතු ප්‍රදීප් කලාවට ද උපන් හපනෙකි. ඔහු සාහිත්‍ය මාසය වෙනුවෙන් පසුගියදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ‘මල් වට්ටි යට පිස්තෝල‘ නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ද එළි දැක්විය. ඊට සමගාමීව ‘රිදුම් පිරිමැද නීතිය දෝතට‘නමින් කෘතියක් ද එළි දැක්විය. එදිනෙදා ජීවිතයේදී ජනතාවට උපකාරී වන නීතිමය තත්ත්ව ඉතා සරළ විදියට ඉදිරිපත් කිරීම ඔහුගේ අරමුණ විය.

“අධ්‍යාපනයට වයස බාධාවක් නෙවෙයි. අපි ඉගෙන ගනිද්දි හිතන්න ඕනා කවදාවත් මැරෙන්නෙ නෑ කියලයි. එහි තේරුම මහළු වියේදී පවා ඉගෙන ගන්න පුළුවන් බව. අනිත් කරුණ ජීවත් වෙද්දී හිතන්න ඕනා අපි කවදාහරි මැරෙනවා කියලයි. එහි තේරුම අපිට කවදාහරි ජීවිතයෙන් සමුගන්න සිදුවෙන බව දැනගෙන යහපත් කටයුතුවල නිරතවීමයි. “ ඔහු එසේ කීවේය.

 

Comments