මිලිනවන රජරට යොවුන් ජීවිත | Page 3 | සිළුමිණ

මිලිනවන රජරට යොවුන් ජීවිත

පොලිසිය කළ වැටලීමකින් අනුරාධපුර ළාබාල පෙම්වතුන් රැසක් අත්අඩංගුවට

නුරාධපුර නගරය මැද පිහිටි පුරන්ව තිබූ කුම්බිච්චන්කුළම වැව නගරයේ අලංකාරය හා සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් විශාල පිරිවැයක් දරා නවීකරණය කරන ලද්දේ මීට වසර හයකට පමණ පෙරය. නමුත් වර්තමානයේදී අනුරාධපුරයේ වැව් අවට සිදු වන අසම්මත ක්‍රියා රැසකි. අනුරාධපුර පොලිසිය විසින් පසුගියදා (6) විශේෂ වැටලීමක් කළ අතර එහිදී කුම්බිච්චන්කුළම වැව අවට සැරිසරමින් නිකරුණේ රැඳී සිටි ළාබාල තරුණ තරුණියන් රැසක් පොලිසියට හසු විය. ඔවුන් අතර සිටි තරුණ තරුණියන්ගෙන් සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ වැවේ විවිධ ස්ථානවල මුළුගැන්වී සිදු කළ අසම්මත ප්‍රේම ජවනිකා හේතුවෙනි. මේ සියලු දෙනා සතිඅන්ත උපකාරක පන්ති සඳහා ඈත දුරබැහැර සිට අනුරාධපුරයට පැමිණෙන දිළිඳු පවුල් නියෝජනය කරන ළාබාල දරුවන් වීම වඩාත් ශෝචනීය තත්ත්වයයි.

“අපි මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අනුරාධපුර පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය අවස්ථා කිහිපයකදීම වැටලීම් සිදු කර ළමයි පොලිස් භාරයට ගෙන පසුව මවුපියන් කැඳවා දරුවන්ට අවවාද කර මුදාහැරියා. නමුත් ටික දවසකින් නැවත දරුවන්ගෙන් එවැනි හැසිරීම් දකින්නට ලැබෙනවා. ප්‍රජා පොලිස් කමිටුවේ නිලධාරීන් හැටියට අපි ගිහින් අවවාද කළාම ඔවුන් අප සමඟ ගැටුම් ඇතිකර ගන්නවා. සමහර අවස්ථාවල ඔවුන් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය පානය කරලා ඉන්නේ. මේ තත්වය හරිම භයානකයි. මේ විනාශ වෙන්නේ අපේ රටේ අනාගතයයි. උපකාරක පන්ති යන විදිහට නිවෙස්වලින් පිටත් වන දරුවන්ගේ ගමන කෙළවර වෙන්නේ වැව්බැම්මේ ඈත කෙළවර කැලෑරොද තුළයි. සමහර සිදුවීම් ප්‍රසිද්ධියේ කියන්න බැරි තරම් අශෝබනයි.”

අනුරාධපුර නගරයේ 251 වැනි තුළානට අයත් ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති කමල් ගුණසේකර එසේ පැවසීය.

“ළමයින්ගේ මේ අවිචාරවත් හැසිරීම් පිළිබඳව අපි දීර්ඝකාලීන අධ්‍යයනයක් කළා. ප්‍රධාන බස් නැවතුම, උපකාරක පන්ති, සිනමා ශාලා මේ සියල්ල පිහිටලා තියෙන්නේ මේ වැව ආසන්නයේමයි. උපකාර පන්ති සඳහා පැමිණෙන ළමයි කෙටි විරාමයක් ලැබුණු ගමන් එන්නේ වැවට. සමහරු එහිදී ආහාර ගන්නවා, සමහරු නිදැල්ලේ ඇවිදිනවා. මේ අතරේදී ඔවුන් දකිනවා සම වයසේ ළමයි කරන ක්‍රියාකාරකම්. එතැනදී ඔවුනුත් ඔවුනට නොදැනීම එවැනි කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. ඒ සඳහා ඔවුන්ගේම මිතුරන් උදවු කරනවා. මෙතන තියෙන බැරෑරුම් ම ප්‍රශ්නය තමයි මේ දරුවන් මත්ද්‍රව්‍ය, මත්පැන්වලට යොමුවීම.දවසක් අපි වැවේ පරීක්ෂාවක් කරද්දී පාසල් ළමුන් දෙදෙනකු මත්පැන් පානය කරලා ඇවිදගන්න බැරුව හිටියා. ඔවුන් අනුරාධපුරයට එහා ඈත දුෂ්කර පාසලක දරුවන් බව දැනගත්තා. අපි විශාල උත්සාහයක් ගන්නවා ළමයින්ට අගතියක් නොවන ආකාරයෙන් රහස්‍යභාවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. නමුත් අවාසනාවකට ඔවුන්ට මත්පැන්, මත්ද්‍රව්‍ය සපයන පිරිසක් ඉන්න බව දැන් තහවුරු වෙමින් තිබෙනවා.”

අනුරාධපුර නගරයේ ස්ථිර නිවාස මෙන්ම ප්‍රධානපෙළේ ව්‍යාපාරික මධ්‍යස්ථාන රැසක් අතරමැද පිහිටා ඇති කුම්බිච්චන්කුළම වැව් බැම්මට පහළින් ඇත්තේ අනුරාධපුර මහජන පොළයි. සති අන්තයේදී අතිවිශාල ජනකායක් රැස්වන මහජන පොළ අවට ඇත්තේ දැඩි කලබලකාරී ස්වරූපයකි. මහජන පොළට යාබදව උපකාරක පන්ති රැසක් පැවැත්වෙන අතර වැවේ එහා කෙළවරට වන්නට ඇත්තේ නිවාස මෙන්ම මධ්‍යම ප්‍රමාණයේ අවන්හල්ය. වැවත් ගෘහස්ත කොටසත් අතර ඇත්තේ කුඩාවට වැවුණු පඳුරු සහිත කැලෑරොදය. ඒ කැලෑරොද වාන දක්වා දිවෙන අතර තරුණ තරුණියන්ට එම ස්ථානය ප්‍රේම පාරාදීසයක් වී ඇත.

“ අපිට ගෙවල්වල ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. අපේ දරුවන්වත් හදාගන්න විදිහක් නැහැ මේ අඩුවයස් තරුණ ළමයි හින්දා. ඔවුන් ගෑනු, පිරිමි කියලා භේදයක් නැතුව මත්පැන්, බියර් බොනවා ” අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ වැව් කෙළවරේ පදිංචි එක්දරු මවක් එසේ කීවාය. “ සමහර දවස්වල සතිඅන්ත දිනවල අවුරුදු පහළොව, දාසයේ ගෑනු පිරිමි ළමයි වැවේ ගස්වලට මුවාවෙලා හරිම අශෝභන විදිහට හැසිරෙනවා. ඔවුන්ට අවවාද කරන්න ගිහාම අපිත් එක්කත් රණ්ඩුවට එනවා. ළමයිට මත්පැන්, මත්ද්‍රව්‍ය සපයන පිරිසත් අපි එක්ක රණ්ඩුවට එනවා. ඔවුන් අර ප්‍රේම කරන ළමයින්ගෙන් කප්පම් ගන්නවා. ඒ නිසා අපිට මේවට විරුද්ධව මුකුත් කරන්න බැහැ. මහමඟ යන්න එන්න අපිටත් ආරක්ෂාවක් තියෙන්න ඕන. දැනට මාස කීපයකට කලින් වැව වටා ඇවිදින මංතීරුවක් හැදුවා. නැත්නම් මේ හරිය සම්පූර්ණයෙන්ම කැලෑව වැවිලා තිබුණේ”ඇය වැඩිදුරටත් කීවාය.

කුම්බිච්චන්කුළම වැව් බැම්මට පහළින් කාර්මික වැඩක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන එස්.එම්.මනාස් අශෝභන අයුරින් හැසිරුණු යුවළකට අවවාද දීමට ගොස් සිදුවූ ගැටුමක් හේතුවෙන් දින හතරක සිරබත් කෑ අයෙකි.” දවසක් අසංවර විදිහට හැසිරුණු බොහොම ළාබාල තරුණ ජෝඩුවකට මම අවවාද කළා ඒ විදිහට හැසිරෙන්න එපා කියලා. එතකොටම තව ඒ වයසේම කොල්ලො තුන්දෙනෙක් ඇවිල්ල මට පහර දෙන්න සූදානම් වුණා.මගේ ආරක්ෂාවට එක් අයකුට පහර දීලා එලවලා දැම්මා. කොහොම හරි කවුරු හරි සිද්ධිය දුරකථනයකින් වීඩියෝ කරලා මට විරුද්ධව පොලිසියට පැමිණිලි කළා. අන්තිමේදී මම දවස් හතරක් හිරේ ගියා. මේ විදිහට හැමදාම වගේ කපල් මෙතෙන්ට එනවා. පොලිසිය එනකොට ම ඔවුන් පැනලා යනවා. පසුගිය ඉරිදා පොලිසිය ඔවුන් සියලු දෙනාම අල්ලගත්ත එක හොඳයි. ඒත් සඳුදා උදෙත් කපල් කිහිපයක් එහෙ මෙහෙ ඇවිදිනවා දැක්කා. මේ හැමෝම ටියුෂන් පන්ති යන අය. පන්ති යන්නෙ නැතුව තමයි මේ විදිහට ඇවිද ඇවිද ඉන්නෙ.”

රටේ අනාගතය භාර ගැනීමට සිටින යෞවන යෞවනියන්ගේ අශෝභන ක්‍රියා නැවැත්වීම සඳහා අනුරාධපුර පොලිසිය සිදු කළ මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.සංජිව මහානාම මහතා පැවසුවේ මෙම තත්ත්වය ඉතා කනගාටුදායක බවය.

“අවස්ථා කිහිපයකදී අපි උත්සාහ දැරුවා මේ කටයුතුවල එරෙහිව වැට බදින්න. නමුත් අපි ඒ ස්ථානයට ළඟාවෙනකොට ම ඔවුන් පලා යනවා. ඒ නිසා මෙවර අපි ඉතා හොඳ සැලසුමක් හැදුවා. අනුරාධපුර පොලිසියේ සියලුම ඒකකවල සහභාගිත්වයෙන් පොලිස් නිලධාරීන් අසූ පහක් මේ මෙහෙයුමට යොදා ගත්තා. අපිට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ දරුවන්ට හිරිහැර කරන්න. අපිට අවශ්‍ය වුණේ දරුවන්ට ඔවුන්ගේ වටිනාකම කියල දීල සමාජයට වැදගත් පුරවැසියන් වෙන්නෙ කොහොමද කියල දැනුවත් කරන්නයි.

අපේ මෙහෙයුම කුම්බිච්චන්කුළම වැව, නව බස්නැවතුම ඇතුළු විශාල ප්‍ර‍දේශයක් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කළා. එහිදී අපි භාරයට ගත් තරුණ ජෝඩුවල හැමෝම වයස අවුරුදු දාසයත් දහ අටත් අතර වයසේ පසුවන අහිංසක ගොවිපවුල්වල දරුවන්. නොච්චියාගම, කැබිතිගොල්ලෑව,තඹුත්තේගම,හොරොව්පතාන වගේ දුෂ්කර ගම්මානවල ජීවත් වන ඔවුන් සති අන්ත උපකාරක පන්ති ඇවිල්ලා තමයි මේ විදිහට විවිධ තැන්වල කාලය ගතකරන්නේ. මෙතනදී ඒ දරුවන්ගේ මවුපියන්, වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන් යන්නෙ එන්නෙ කොහෙද කියල හොයල බලන්න පන්ති එව්වා කියල නිහඬ වෙලා හිටියොත් කිසිම ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ තරුණ ජෝඩු බය කරලා කප්පම් ගන්න සුළු පිරිසක් හිටියා. විවිධ වැරදිවලට සම්බන්ධ ඔවුන් මේ වනවිට අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරමින් තිබෙනවා.”

අනාගතයේදී වෘත්තීයවේදීන් වීම සඳහා තම අධ්‍යාපන හැකියාවන් ඔප්නංවා ගැනීමේ අරමුණින් උපකාරක පන්ති සඳහා පැමිණෙන දරුවන් දැනුම්ත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ යෞවනය අකාලයේ මිලින වන්නට නොදී රැක ගැනීම සමාජයේ ජීවත් වන සියලු දෙනාගේ යුතුකමකි.

උපුල් තම්මිට - අනුරාධපුර

Comments