ලෝක ඉතිහාසය යනු ශ්‍රේෂ්ඨ විප්ලවවලින් පිරි ඉතිහාසයකි. දරුණු ආඥාදායකයන්ගේ කුරිරු පීඩනයෙන් ගැලවීම පිණිස දියත් වූ ඒ සෑම විප්ලවයක දී ම බොහෝ ප්‍රගතිශීලීහු තම ජීවිත පූජා කළහ. එම අසහාය ජීවිත පූජාවන්ගෙන් අලෝකවත් වූයේ එම විප්ලව දියත් වූ රටවල පීඩිත ජනතාවගේ ජීවිත පමණක් නොවේ. එම විප්ලවීය ජයග්‍රහණවලින් ආශ්වාදය ලැබූ බොහෝ රටවල පීඩිත ජනතාවගේ ජීවිත ද එමගින් ආලෝකවත් වූයේය.
ක්‍රි.ව. 1789 සිට 1799 දක්වා වසර 10ක් පුරා පැවති ප්‍රංශ විප්ලවය ද එවැනි සමාජ හා දේශපාලන පෙරළියක් ඇතිකළ ශ්‍රේෂ්ඨ විප්ලවයකි. එහි ආරම්භක වසර තුන තුළ දී එරට වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය හා ක්‍රිස්තියානි පල්ලියේ වරප්‍රසාද ඇතුළු බොහෝ සම්ප්‍රදායන් බුද්ධි විචාරමය යුගයේ අදහස්වලින් මෙන් ම, වාමාංශික අදහස් ඇති දේශපාලන කණ්ඩායම් අතින් මහත් වෙනසකට භාජනය විය.
වර්ෂ 1756 සිට 1763 දක්වා පැවති අධිරාජ්‍යවාදී යුද්ධ නිසා ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් හිස් වෙන්නට පටන් ගත්තේ ය. රජු සහ රජුට පාක්ෂික අමාත්‍යවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට අධිකරණ සහ පරිපාලන තනතුරු රදළයන්ට විකිණීමට පටන් ගත්හ. ඒ නිසා, රටේ අල්ලස හා දූෂණය වැඩි විය. එසේ මුදල් ගෙවා තනතුරු ලබාගත් රදළ පවුල් හාරදහසක් පමණ වූයේය.
ධනයට හිමිකම් කියූවත්, බුද්ධි විචාරමය යුගයේ අදහස්වලින් පෝෂණය වූ රදළයන් මෙන්ම, පල්ලියටත්, ආණ්ඩුවටත් බදු ගෙවීමෙන් බදු බරෙන් පීඩිතව සිටි එරට මධ්‍යම පාංතිකයන් සහ ගම්වැසියන් විප්ලවයේ හවුල්කාරයෝ වූහ. ඔවුන් සටන් වැදුණේ බදු එකතු කිරීමේ අයිතිය හිමි රදළ පංතියට, රාජාණ්ඩුවට හා පල්ලියට එරෙහිව ය.
වර්ෂ 1793 සිට 1794 දක්වා ප්‍රංශයේ පැතිර ගිය භීෂණ පාලන සමයේ නායකත්වය දැරුවේ ප්‍රංශ විප්ලවයේ පුරෝගාමියෙකු වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් නමැත්තා ය. ජනතා විරෝධීන් යනුවෙන් හඳුන්වන ලද 16,000ක්, 40,000 ක් අතර ජනතාවක් මේ සමයේ දී මරණයට පත්කොට තිබේ. ප්‍රංශ යුද ඉතිහාසයේ පැවති යුද්ධවලින් කැපී පෙනුණු හමුදා නායකයෙක් වූයේ නැපෝලියන් බොනපාට් ය. ප්‍රංශ දේශ සීමාවන් තුළ කැඩී බිඳී ගොස් තිබුණු නීතිය නැවතත් ස්ථාපිත කිරීම සඳහා ජනතාව විසින් ඔහු එරට අධිරාජයා වශයෙන් පත්කර ගන්නා ලදී.
වර්ෂ 1774 වනවිට යුරෝපයේ ජනගහණයෙන් වැඩි ම, සමෘද්ධිමත් ම රාජ්‍යය වූයේ ප්රංශයයි. එහි ජනගහණය මිලියන 25 ක් පමණ වූ අතර, අගනුවර වූ පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. පැරීසියේ පමණක් 650,000 ක ජනගහණයක් වාසය කළෝය. මුළු ප්‍රංශයේ මහජනතාව පූජකයන්, රදළයන් සහ සාමාන්‍ය ජනතාව ලෙස පංති තුනකට අයත් වූහ. තෙවැනි පංතිය වූ සාමාන්‍ය ජනයා තරමක ආර්ථික වර්ධනයක් අත්කරගෙන සිටියද, ඊට සරිලන දේශපාලන බලයක් හා සමාජයීය වැදගත්කමක් ඔවුනට නොතිබිණි. ඉහළ තනතුරු දරන පූජ්‍ය පක්ෂය අයත් වූයේ, ධනවත් රදළ පන්තියටය. ආගමික සංස්ථාවේ දුප්පතුන් වූයේ, ඉහළ තනතුරු නැති බහුතර පූජකවරුන් හා පල්ලි භාරකරුවන්ය. එකී දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආගමික නායකයන්ට එරෙහිව සමතැන් ඉල්ලා විප්ලවයේ දී විප්ලවකාරීන් හා එකතු වූහ.
ආර්ථිකයෙන් ශක්තිමත්, උගත් සාහිත්‍ය කල්ලි මුණගැසෙන අවන්හල් පැරිසියේ ගහණ විය. ප්‍රංශයේ දාර්ශනික හා සාහිත්‍ය හමු පැවැත්වූයේ ඒවායෙහිය. රදළ නොවූ එහෙත් ධනවත් හා උගත් පිරිස් “නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය” ඉල්ලා සිටියේ, තමන්ට ඉහළින් වූ අය හා සමානවීමට මිස තමන්ට පහළින් වූ අයට තමන් හා සමානවන්නට ඉඩකඩ සලසා දීමට නොවේ.
රටේ සදාචාර වර්ධනයට පල්ලිවල සහාය අපේක්ෂා කළ එරට පාලකයෝ දිගින් දිගටම ජනතාවගේ බදු මුදලින් පල්ලිය නඩත්තු කළෝය. මේ හේතුවෙන් ආගමික භක්තියන් 200,000 ක් පමණ රට හැර ගිය හ. ඒ, ප්‍රංශය හැරගිය පළමු සංක්‍රමණික කණ්ඩායමය. ප්‍රංශයේ දහසය වැනි ලුවී රජ රටක් පාලනය කරන අපේක්ෂාවෙන් සිටි කෙනෙකු නොවේ. වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වූයේ, 1765 දී සිදු වූ සිය පියාගේ හදිසි අභාවයත්, 1774 දී සිදු වූ තම සීයාගේ අභාවයත් නිසා ය.
ඔහු ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ප්‍රාදේශීය සභාවන් පිහිටුවා රජයත්, ජනතාවත් අතර පැවති ගැටලු විසඳන්නට උත්සාහයක් ගත්තේය. තමන් යටතේ සිටි වහලුන් නිදහස් කළේය. එහෙත්, රදළයන්ට හා පූජ්‍ය පක්ෂයට වහල් සේවකයන් තබාගන්නට හැකිව තිබූ අයිතිය අහිමි නොකළේය. සාක්කිකරුවන්ට හා අපරාධකරුවන්ට වදහිංසා කිරීම තහනම් කළේ ය. දුප්පතුන්ට 3% පොලියට ණය ලබා ගැනීමට හැකි ස්ථාන ආරම්භ කළේ ය.
මේ අතර, බොහෝ රදළ පිරිස් වෝල්ටෙයාර් වැන්නන් කියන්නේ කුමක් දැයි වටහා නොගත්හ. වෝල්ටෙයාර් යනු ආගම හා රජය වෙන්කළ යුතු යැයි කී දාර්ශනිකයෙකි. සියල්ලන්ගේම නිදහස් අයිතීන් සුරැකිය යුතු යැයිද, කැමති ආගමක් අදහන්නට ඉඩක් තිබිය යුතු යැයිද, අදහස් ප්රකාශනයට අවසරය තිබිය යුතු යැයිද ප්‍රකාශ කළ විද්වතෙකි.
1789 ගිම්හානයේ දී ප්‍රංශයට උදාවූයේ, නීතියක් නැති භීෂණ සමයකි. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික ලෙස බියට පත්ව සිටි එරට වැසියෝ අවි ආයුධ අතට ගත්හ. මාස හයක් තුළ තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු විණි. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියෝ, බදු එකතු කරන්නන්, වැඩවසම් රදළයන් ඇතුළු ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ට ම පහර දෙන්නටත්, කඩ සාප්පු හා ගෙවල් ගිනි තබන්නටත් පටන් ගත් හ.
ප්‍රංශ විප්ලවයේ පළමු අදියර වන්නේ රදළයන් දහසය වැනි ලුවී රජුට බදු ගෙවීම පැහැර හැරීමය. එහි දෙවැනි අදියර යනු රජුගේ බලතල සීමා කරන්නට 1789 ජූනි 20 වැනි දා 'ටෙනිස් පිටියේ ගිවිසුම' ප්‍රකාශයට පත්කර සම්මත කරගැනීමය. එදින රැස් වූ තෙවැනි තලයේ සාමාජිකයන් 577 දෙනාගෙන් 576 ක් ඊට අත්සන් තැබූ අතර, ඊට අත්සන් නොතැබූ එකම පුද්ගලයා වූයේ ජෝශප් මාටින්-ඩවුච් නැමැත්තාය.
බැස්ටීලය යනු පැරීසියේ රාජාඥාව යටතේ දේශපාලන විරුද්ධවාදීන් හා අපරාධකරුවන් සිරගත කළ කුප්‍රකට සිරකඳවුරය. බැස්ටිලය තුළ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබීමෙන් පසු ජනතාව විසින් පිහිටුවා ගන්නා ලද ජාතික ආරක්ෂක හමුදාව ඒවා අයිති කරගන්නට සැලසුම් කළේය. ඇමරියා කැහිලා නම් විප්ලවවාදියා ප්‍රමුඛ පිරිසක් ඊට පෙර 'ඉන්වාලයිඩ්ස්' හෝටලයට කඩා පැන එහි තිබූ මස්කට් තුවක්කු 29,000ක්, 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටිය හ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබුණු කිලෝග්‍රෑම් 13,600 ක් පමණ වූ වෙඩිබෙහෙත් තොගයක් පැහැර ගැනීම ය.
1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටීලයට මෙම විප්ලවකරුවන් කඩා වදිද්දී එහි සිටියේ සිරකරුවන් හත්දෙනෙකු පමණි. 16 වැනි ලුවී රජු අනිත් සියල්ලෝ ම නිදහස් කර යවා තිබිණි. බැස්ටීලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවූ අතර, තවත් බොහෝ රදළයෝ ඔහු අනුගමනය කළෝය. එය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදියර සේ සැලකේ.
1789 අගෝස්තු 27 දා එළිදුටු මිනිස් හා පුරවැසි අයිතීන් පිළිබඳ ප්රකාශනයට චන්දය ප්‍රකාශ කරන්නට සහ නිලතලවලට පත්වන්නට අවසර ලැබුණේ කොටසකට පමණි. නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට සිවිල් අයිතීන් අහිමි විය. නැවතත් දරුණු පාන් හිඟයක් ප්‍රංශය පුරා පැතිර ගියේ මේ අතරය. ප්‍රංශ කාන්තාවෝ පාරට බැස්සෝය. උරණ වූ පැරිස් වැසියෝ රජ මාලිගයේ මුර සෙබළුන්ගේ හිස් ගසා දමා ඒවා උල්වල ගසාගෙන ගියෝය.
1790 දී ස්ථාපිත කරගත් 'විප්ලවීය ව්‍යවස්ථාවෙන්' රජුගේ බලය අවම කළ ද, උපතින් හිමිවන ඔටුන්න ඔවුන් අහෝසි කළේ නැත. බංකොළොත් වූ භාණ්ඩාගාරය පුරවන්නට පල්ලිය වෙත හැරුණු ඔවුහු, ෆ්‍රෑන්ක් බිලියන තුනක් වටිනා පල්ලියේ බූදලය රාජ සන්තක කළ හ. 1793 දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂක කමිටුවක් මගිනි. මැක්සමිලියන් රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් වී ය. ඔහුගේ පිළිවෙත වූයේ භීෂණය යි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යවශ්‍ය බවත්, එය ප්‍රශංසනීය හා මග හැරිය නොහැකි දෙයක් බවත් කියා සිටි රොබෙස්පියර්, සද්ගුණවත් ජනරජයක් බිහිකිරීම සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේ ය.
ආඥාදායකත්වයෙන් ඉවත්වන්නට උත්සාහ දරමින් ප්‍රබුද්ධ වොල්ටෙයාර්ගේ අදහස්වලට සවන් දෙන්නට පටන්ගෙන සිටි අවුරුදු 20 දී ඔටුනු පැළඳි දහසය වැනි ලුවී රජුගේ හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි කළ විප්ලවවාදීහු ඊට ටික දිනකට පසු මාරි ඇන්ටොනෙට් රැජින ද ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුහු සියලු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්තෝය.
ඒ වකවානුව භීෂණයෙන් රට පාලනය වූ සමයකි. අසම්පූර්ණ හා අසාධාරණ නඩු තීන්දු මගින් මරණීය දඬුවම් 25,000 ක් පමණ සිදු විය. මහජන ආරක්ෂක කමිටුවල බලය අවම කළ මැක්සිමිලියන් රොබෙස්පියර් එරට ආඥාදායකයා විය. ඉන්පසුව ඔහුගේ අදහස් පිළිනොගන්නා හැම කෙනෙකුගේම හිස් ගසා දැමුණි. 1793 සැප්තැම්බර් 5 සිට 1794 ජූලි 28 දා දක්වා ප්‍රංශයේ පැවතියේ භීෂණ පාලනයකි. ඒම කාලය තුළ පැරිසියේ 2,639 ක් ඇතුළුව මුළු ප්‍රංශයේ ම 16,594 ක් මිනිස් ජීවිත ගිලටිනයෙන් ඝාතනය කර තිබේ. සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හෙළිදරව් වූයේ රදළයන් වෙත තිබූ අප්‍රසාදය සහ විරෝධයයි.
ඇමෙරිකන් නිදහස් අරගලයට සහාය දුන් ගිල්බට් ඩු මෝටියේර් නොහොත්, ලාෆායෙට් වැනි රදළයන් ද ප්‍රංශ නිදහස් අරගලයට දායක වූහ. එවැනි පුද්ගලයන් ද ගිලටිනයට හා සිරබාරයට ගැනෙද්දී ලාෆායෙට් ඔස්ට්‍රියාවට පැන ගියේය. මහජන ආරක්ෂා කමිටුවට ඉහළින් ගිය මැක්සිමිලියන් රොබෙස්පියර් නව නීති පනතක් සම්මත කර ගත්තේය. එම පනත මගින් කිසියම් පුරවැසියෙක් විප්ලවයට විරෝධී යැයි සිතූ පමණින් වැඩි නඩු විභාගයකින් තොරව මරණයට පත් කළ හැකි විය. ඒ නිසා ජනතා ආණ්ඩුවෙන් මරණයට පත් වූ අය දෙගුණයකින් වැඩි විය. පසු කලෙක රොබෙස්පියර් ද ජනරජයට එරෙහි වූ කුමන්ත්‍රණකරුවෙකු ලෙසින් 1794 ජූලි 28 වැනිදා නඩු විභාගයක් නොමැතිවම ගිලටිනයට නියම වී ය.
ප්‍රාදේශීය වෙනස්කම් සහිත බලසම්පන්න මධ්‍යම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටත්, ප්‍රංශ වැඩවසම් ක්‍රමය නැතිවීම හා සමාජ සමානාත්මතාව ඇතිවීමටත් ප්‍රංශ විප්ලවය හේතු පාදක විය. පැරණි අසාධාරණ බදු ක්‍රමය නැති වී සෑම අයකුම තම ආදායමට අනුව බද්දක් ගෙවන ලදී. රදළයින් හා පූජකයන් සතුවූ ඉඩම් සාමාන්‍ය ජනතාවට ලැබීම නිසා සුළු ඉඩම් හිමි මධ්‍යම පාන්තික ගොවි පන්තියක් බිහිවීම ද ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් විය. උපත මත නොව තම ධනය හා හැකියාව මත තත්ත්වය තීරණය වන සමාජ ක්‍රමයක් කරා ප්‍රංශය යොමු විණි.
විප්ලවයට පසු ප්‍රංශයේ ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතිවීම නිසා කාර්මික හා න්‍යාය ක්‍රම සංවර්ධනය වී කර්මාන්ත, වෙළඳාම, බැංකු ක්‍රමවල දියුණුවක් ද ඇති වී යහපත් මුදල් තත්වයක් ද ඇති විය. තව ද, 'සහෝදරත්වය' යන විප්ලවීය සටන් පාඨයට අනුව ජාතියක් වශයෙන් නැගී සිටීමට ද ප්‍රංශයේ කීර්තිය නංවාලීමට ද විප්ලවය හේතු විය.
ප්‍රංශ විප්ලවයේ තේමාව වූ 'නිදහස සහ සමානාත්මතාවය' යන සටන් පාඨයට අනුව නූතන ලිබරල් හා ප්රජාතන්ත්රවාදී පාලන ලක්ෂණ පෝෂණය වූ බව කිව හැකිය. යුරෝපයේ මෙන්ම ආසියාවේද ප්රජාතන්ත්රවාදී පිළිවෙත් අනුගමනය කිරීමට පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන් පසුවය. ප්‍රංශ විප්ලවයෙන් ඉස්මතු වූ ඉතා වැදගත් අදහස වන්නේ ජනතා ස්වාධිපත්‍යයය. එනම්, දේව වරම හෝ උපත අනුව නොව, ජනතාවට තමන් කැමති පාලකයකු තෝරාගැනීමේ අයිතිය මහජනතාවට ලැබීමය. ප්‍රංශ විප්ලවය යුරෝපය පුරා ඇතිවුණු බුද්ධි ප්රබෝධයේ ප්‍රතිඵලයක් මෙන්ම, රජුන්ගේ අත්තනෝමතික හා අදූරදර්ශී පාලනය නිසා පීඩා විඳි පොදු ජනතාව විසින් සම්පුර්ණ පාලන ක්රමයම වෙනස් කර තමන් කැමති පාලන රටාවක් සකසා ගැනීමට වසර දහයක් පුරා කළ විප්ලවයක් ලෙසද ප්‍රචලිත ය.