පාඨලී චම්පිකට එරෙහිව අධිචෝදනා | සිළුමිණ

පාඨලී චම්පිකට එරෙහිව අධිචෝදනා

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩුකර දෙකක් පවරන බව නීතිපතිවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වාට දැනුම් දී තිබේ.

නඩු පවරා ඇත්තේ, රාජගිරිය ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක් කර පළායාම, රියැදුරු මාරු කිරීම ඇතුළු අධිචෝදනා යටතේය.

2012 වසරේ පෙබරවාරී 28 වැනි දා සිදු වූ එම රිය අනතුරට අදාළ විමර්ශන අවසන් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

විමර්ශනවල උධෘත අධ්‍යයනය කිරීමෙන් පසු එකී සැකකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනුකර නඩු පවරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.

නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයයි.

ඔවුන් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී පැමිණිලිකාර පාර්ශවයට නියෝග කළේ, සැකකරුවන්ට එරෙහිව ගන්නා ඉදිරි පියවර පිළිබඳව ලබන සැප්තැම්බර් 2 වැනි දා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

 

Comments