සංචාරක කර්මාන්තය යළි පිබිදේ | සිළුමිණ

සංචාරක කර්මාන්තය යළි පිබිදේ

සංචාරක කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගන්නා ලක්ෂ 5කට අධික පිරිසකගේ ජීවනෝපාය යළි ස්ථාපනය කිරීම උදෙසා අගෝස්තු 1 වැනිදා සිට විදේශීය සංචාරකයන්ට මෙරට ආරක්ෂාකාරී ගමනාන්තයක් ලෙස පත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

සංචාරක කර්මාන්තයෙන් පුද්ගලයන් ලක්ෂ 25කට අධික පිරිසක් යැපෙන අතර නිල ලේඛන අනුව සෘජු රැකියා කරන පිරිස 150,000කි.

වාර්ෂිකව රටට ඇමරිකන් ඩොලර් බිලියන 10ක් රටට උපයා ගැනීමේ අරමුණින් රට යළි සංචාරකයන්ට ආරක්ෂිත ලෙසින් විවෘත කිරීමට නව සැලසුම් හඳුන්වා දී ඇතැයි ද හෙළි කළ ඇමැතිවරයා, ඒ අනුව සංචාරකයන් කණ්ඩායම් වශයෙන් සෞඛ්‍යාරක්ෂිතව මෙරටට ගෙන්වීමටත්, ගුවන් තොටුපොලේ පීසීආර් පරීක්ෂණයන් සිදු කිරීමට හා නිරෝධායනයන්ට යටත්ව එම පිරිස් මෙරට සංචාරය පිණිස යෙදවීමට කටයුතු යොදන බව කීය.

මෙහිදී ආයුර්වේද, දේශීය පාරම්පරික උරුමයන් මෙන්ම පාරිසරික ගවේෂණයන්ට වැඩි අවධානයක් යොමු කර තිබේ.

කොරෝනා වසංගතය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය අත්හිටුවන විට මාර්තු මාසයේ පමණක් සංචාරකයන් 71,370ක් සංචාරය පිණිස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. එසේම 2019 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ මාස 3ක කාලය තුළ සංචාරකයන් 720,600ක් හා 2018 වසරේ එම කාලය තුළ සංචාරකයන් 707,924ක් මෙරටට පැමිණ තිබුණි.

පාස්කු ප්‍රහාරය නිසා පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 37,802ක් දක්වා පහළ ගියද එය ජූනි මාසය වන විට දෙගුණයකට ආසන්න වූ අතර පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 63,‍072කි. එය ජූලි මාසය වන විට 115,701ක් දක්වා තවත් විශාල වැඩිවීමක් පෙන්නුම් කර තිබූ අතර, දෙසැම්බර් මාසයේදී 241,663ක් දක්වා තවත් ඉහළ ගොස් තිබුණි.

එය එම වසරේ ජූලි මාසයට වඩා දෙගුණයකටත් අධික සංඛ්‍යාවක් වන අතර මෙරට සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම පිණිස යුරෝපා සංගමය විසින් පසුගිය සතියේ යූරෝ දසලක්ෂ 3.5ක මුදලක් ලබා දෙන ලදී. ඉකුත් දෙවසර තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ජර්මනිය, බ්‍රිතාන්‍ය වැනි රටවල සංචාරකයන්ය.

 

Comments