යහපත් ක්‍රියාවකින් ලැබුණු අයහපත් ප්‍රතිඵලය | සිළුමිණ

යහපත් ක්‍රියාවකින් ලැබුණු අයහපත් ප්‍රතිඵලය

ම් පුද්ගලයකු විසින් සිදුකරනු ලබන ඕනෑම ක්‍රමයක ප්‍රතිඵලය ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදයක් මෙන් අදාළ පුද්ගලයාගේ පසුපසින්ම එතැයි බුදු දහමේ සඳහන් වේ. එමඟින් කියැවෙන්නේ එක් එක් පුද්ගලයන් විසින් සිදු කෙරෙන කවර ක්‍රියාවලියක වුවද එහි හොඳ හෝ නරක ප්‍රතිඵලය ඔහුටම හිමිවන බවය.

මතුපිටින් පෙනෙන අන්දමට එම සිද්ධාන්තයට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත් සිද්ධියක් ගැන ඉකුත් සතියේ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේය. එහිදී සිදුවී ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ වෙසෙන එක්තරා මුස්ලිම් ව්‍යාපාරිකයකු ඉකුත් රමසාන් උත්සවය වෙනුවෙන් පංචිකාවත්ත ප්‍රදේශයේ වෙසෙන දිළිඳු ජනතාව අතර යම් මුදල් ප්‍රමාණයක් බෙදා දෙමින් සිටියදී ඇතිවූ තෙරපීමකින් වයස්ගත කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට බරපතළ තුවාල සිදුවීමයි.

සැබවින්ම එය අතිශය ඛේදජනක සිද්ධියකි. එය වඩාත් දුක්මුසු කරුණක් වන්නේ එම අවාසනාවන්ත සිද්ධියට ගොදුරු වී මියගිය සහ තුවාල ලැබූ සියලුම දෙනා ප්‍රදේශයේ විසූ අන්ත අසරණ කාන්තාවන් වීමයි. ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ එදිනම රාත්‍රියේ රූපවාහිනි නාලිකා මගින් විකාශය කරන ලද එක්තරා රූපරාමුවකි. සිද්ධියට ගොදුරු වූ කාන්තාවන් විසින් එම අවස්ථාවේ පැළද සිටී බව කියන සෙරෙප්පු තොගය දුටූ අපට පෙනී ගියේ පතුළ හිල්වුණු සෙරෙප්පු රාශියක්ම ඒ අතර තිබෙන බවය. එකී වයස්ගත කාන්තාවන් මුහුණ පා සිටී දරිද්‍රතාවයේ තරම එමගින් සිතාගත හැකිය. ඉස්ලාම් භක්තිකයන්ගේ රමසාන් සමය තුළ එම දිළිඳු ජනතාව අතර යම් මුදලක් බෙදා හැරීමට පියවර ගැනීමෙන් එකී ව්‍යාපාරිකයා විසින් සිදුකර ඇති ක්‍රියාව අතිවිශිෂ්ටය. එසේම එම අවස්ථාවේ ඔහුගේ අරමුණ වන්නට ඇත්තේ ද තම සහෝදර ජනතාවට යම් මූල්‍යමය ආධාරයක් ලබාදී ඔවුන්ට තාවකාලික වශයෙන් හෝ සහනයක් සැලසීම විය හැකිය.

බුදුදහමට අනුව දිළින්දන් සුවපත් කිරීම උතුම් පුණ්‍යකර්මයකි. එහෙත් මෙහිදී ප්‍රශ්නයක් වී ඇත්තේ එම ව්‍යපාරිකයා ගේ යහපත් ක්‍රියාව නිසා අයහපත් ප්‍රතිඵලයක් සිදුවීමයි. එය කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. එහෙත් එමඟින් එවැන්නක් සිදුවී තිබේ.

අපට සිතෙන අන්දමට එම මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් උතුම් අරමුණක් පෙරදැරි කරගෙන සිදුකළ සත් ක්‍රියාව ශෝකාන්තයකින් කෙළවර වීමට හේතු කිහිපයක්ම මුල්වී තිබේ. එයින් ප්‍රධානම සාධකය වන්නේ ඒ මොහොතේ පැවැති අයහපත් වාතාවරණය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වීමයි. විශේෂයෙන්ම කොරෝනා උවදුර නිසා කොළඹ දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවති එම අවස්ථාවේ ජනතාව එකම ස්ථානයකට රොක්වීම නීතියට ද පටහැනි ක්‍රියාවකි. අනෙක් අතට එම සිද්ධිය ඇතිවූ අවස්ථාවේ රැස්වූ ජන සමූහය අතර දුරස්ථකරණයක් ද නොපැවතිණි. එපමණක් ද නොව තමන් විසින් අසවල් ස්ථානයේ දී මෙවැනි සත් ක්‍රියාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවට එම ව්‍යාපාරිකයා ප්‍රදේශය භාර පොලිසිය ද දැනුවත් කර නොතිබිණි.

ඒ අනුව යහපත් චේතනාවෙන් වුවද එම ව්‍යාපාරික මහතා විසින් සිදුකර ඇත්තේ නීතියට පටහැනි ක්‍රියාවකි. එම අවස්ථාව වනවිට සති කිහිපයක් එකදිගට ඇඳිරිනීතිය ක්‍රියාත්මකව තිබීම නිසා අවට විසූ දිළිදු ජනතාවගේ සියලු ආදායම් මාර්ග ඇහිරී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඔවුන් සියලු දෙනාම කුසගින්දරෙන් පෙළෙමින් සිටීමයි.

ඒ අනුව එම ප්‍රදේශයේ දිළිදු ජනතාව ඒ මොහොතේ පසුවූයේ දුක්ඛදායක සහ ආවේගශීලී තත්ත්වයකටය. එවැනි ආවේගශීලී බවක් ඇතිවීම සඳහා පුද්ගලයන්ගේ වයස්ගත භාවය අදාළ නොවන අතර එය කවර වයස් මට්ටමක පසුවන අයකුට වුවද පොදුවේ බලපාන තත්ත්වයකි. එවන් දැඩි පීඩනකාරී තත්ත්වයක පසු වූ එම වයස්ගත කාන්තාවන් පිරිස මුදල් දුටුවිට ආවේගශීලී වීම අරුමයක් නොවේ. ඒ අනුව එම කාන්තාවන් පිරිසට ද දොසක් කිව නොහැකිය. රාමසාන් සමයේ එම අසරණ පිරිසට පිහිටක් වීමට ව්‍යාපාරිකයා ඉදිරිපත්වීම ද අගේ කළ යුතු ක්‍රියාවකි.

කෙසේ වෙතත් අපට පෙනෙන අන්දමට නම් මෙම ඛේදවාචකය කල්තියා වළක්වා ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබුණේය. ඒ අනුව අදාළ ව්‍යාපාරික මහතා සහ ඔහුගේ ගෝලබාලයන් පිරිස තමන් විසින් සිදු කිරීමට යන මෙම සත් ක්‍රියාව පිළිබදව ප්‍රදේශයේ පොලිසිය සහ සෞඛ්‍ය බලධාරින් මුලින්ම දැනුම්වත් කළේ නම් එම අසරණ කාන්තාවන් තිදෙනා තවමත් සිටින්නේ ජීවතුන් අතරය. අසාධාරණ තත්ත්වයෙන් රෝහල් ගත කළ සෙසු තුවාල කරුවන් ද සිතේ සැනසිල්ලකින් යුතුව රාමසාන් උත්සවය සැමරීමට ඉඩ තිබුණේය.

එහෙත් ඒ සියල්ල වැළකී අනපේක්ෂිත ඛේදවාචයකින් එම සිද්ධිය නිමාවට පත්වූයේ ඉහත සඳහන් මුස්ලිම් ව්‍යාපාරික මහතාගේ සහ එම සත් ක්‍රියාවට හවුල් වූ සෙසු පිරිසගේ ඉක්මන්කාරකම නිසාය. ඒ අනුව පංචිකාවත්තේ සිදුවූ එම ඛේදවාචකය අප හැම දෙනාටම මතක් කර දී ඇත්තේ අගනා පාඩමකි. එනම් ඉක්මන්කාරකම සහ නීතියට යටත් නොවීම නිසා කොපමණ යහපත් ක්‍රියාවකින් වුවද අයහපත් සහ අමිහිරි ප්‍රතිඵල ලැබිය හැකි බවය. එහෙයින් දැන් ඒ ගැන පසුතැවිලිවීමෙන් ද පලක් නැත.

කොපමණ යහපත් ක්‍රියාවක් වුවද මනාව සැලසුම් නොකර සහ නීතියට අනුව සිදු නොකිරීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබිය හැකිය යන්න සිහි තබා ගැනීම අතිශයින් නුවණට හුරු යැයි පසක් කරගැනීම මෙම කනගාටුදායක සිද්ධියෙන් තහවුරු වන අගනා පාඩමකි.

Comments