ජල ගැලීම් ක‍්‍රමයෙන් පහව යයි | සිළුමිණ

ජල ගැලීම් ක‍්‍රමයෙන් පහව යයි

අධික වර්ෂාවත් සමග ප‍්‍රදේශ කිහිපයකට බලපෑ ජල ගැලීම් තත්ත්වය මේ වනවිට ක‍්‍රමයෙන් පහව යමින් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ගංගා ජල මට්ටමද ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි. ශී‍්‍ර ලංකාවට මෙලෙස අධික වර්ෂාවක් ඇදහැළුණේ අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන්.

කාලගුණ විද්‍යා දත්තවලට අනුව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති අති ප‍්‍රචණ්ඩ මෙම සුළිකුණාටුව මේ වනවිට ඉතා ප‍්‍රචණ්ඩ සුළිකුණාටුවක් බවට පත්ව තිබේ.

කෙසේවෙතත් අද (20) පස්වරුව වනවිට අම්ෆන් සුළිකුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරන බවයි කාලගුණ දත්තවල සදහන් වන්නේ.

පැවති අධික වර්ෂාවත් සමග ගාල්ල දිස්ති‍්‍රක්කයේද ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවිය.

මාතර දිස්ති‍්‍රක්කයටද ඊයේ පස්වරුව වන තෙක්ම අධික වර්ෂාවක් ඇද හැලිණ.

මේ හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ සිට ඇද හැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක දෙනියාය සිංහරාජ ආශ‍්‍රිත ප‍්‍රදේශයට එකතුවන ජලධාරව පහළට ගලා එමින් නිල්වලා ගගේ ජලමට්ටමේ වැඩිවීමක් දක්නට ලැබිණ.

ඒ අනුව අකුරැස්ස පානදුගම ප‍්‍රදේශයෙන් නිල්වලා ගඟ පිටාර ගලමින් සුළු ගංවතුර මට්ටමක් ඇතිවී තිබෙන බවයි මාතර ආපදා කළමණාකරණ ඒකකය පැවසුවේ.

කෙසේවෙතත් ගංගාවල ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට තවදුරටත් වැසි ඇති විය හැකි බවයි.

Comments