ලබන සුමානය ආයෙත් ආවේ නෑ... | සිළුමිණ

ලබන සුමානය ආයෙත් ආවේ නෑ...

ජන හද මතකයේ අමරණීය නාමයක් එක් කළ විජය කුමාරණතුංගයන් සිය කලා ජීවිතයේදී ඉතා කුලුපඟව ඇසුරු කළ මාධ්‍ය‍ෙව්දීන් අතර දෙදෙනෙක් සුවිශේෂී වේ. ඒ ඔබ අප කවුරුත් හඳුනන මෙරට මාධ්‍ය ලොවේ දැවැන්තයින් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සහ අර්නස්ට් වඩුගේ මහතා ය. විජය කුමාරතුංග මිය යන කාල සමය වන විට විජය හා අත්වැල් බැඳගත් හිත මිත්‍ර කිහිප පොළක්ම විය. ඒ අතුරින් එවකට සිටි ජනප්‍රියම ඡායාරූප ශිල්පීන් දෙදෙනෙක් ඔහුගේ හිත මිතුරු ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නට විය. ඒ බර්ටි දිසානායක හා අතුල මහවලගේය. බර්ටි දිසානායක මහතා දැන් දිවියෙන් සමුගෙන ඇතත් මාධ්‍ය හා අලෙවිකරණ උපදේශකයකු මෙන්ම සංකල්පවේදියකු ලෙස කටයුතු කරන අතුල මහවලගේ සහ අර්නස්ට් වඩුගේ මේ පවසන්නේ විජය හා ඔහු අතර තිබූ මිත්‍රත්වයේ මතක සටහන් කිහිපයකි.

 

 

අවසන් වතාවට මම විජයගෙ පින්තූර ගත්තෙ මිය යන්න දින හයකට පෙර. ඒ කියන්නේ පෙබරවාරි 10 වෙනිදා. මොන හේතුවක් හින්දද දන්නේ නෑ එදා හරිම නිදහස් දවසක්. මොකද එදා විජයට තිබ්බ හැම වැඩක්ම කැන්සල් වුණා. ශබ්දාගාරයක ඩබින් කරන්න වෙලාවක් දීලා තිබුණත් මුලින් ශබ්දාගාරයට දැනුම් දීල තිබුෙණ් නැති නිසා ඒකත් කැන්සල් වුණා. පස්සේ අපි අවන්හලකට ගිහිල්ලා දවල්ට කෑම එහෙම කාලා කාර් එකේ එනකොට විජය දැක්කා මගේ පර්ස් එකේ තිබ්බ මගේ අම්මගේ පින්තූරෙ. මගේ අම්ම මිය ගිහින් තිබුණේ තරුණ වියේදීමයි.

 

විජය මේක දැකලා කිව්වා අතුල මටත් ඕන රූපය ලස්සනට තියෙන කොට තරුණ කාලෙදිම මැරෙන්න. ඩී.ආර්. අංකල් වගේ (ඩී. ආර්. නානායක්කාර) වයසට ගිහින් මට මැරිල වැඩක් නෑ කියලා. මේ දවසෙ වුණු තවත් විශේෂ කාරණාවක් තමයි විජය එදා කතා කළේම ජීවිතය සහ මරණය ගැන විතරයි. මේ ෆොටෝස් ගන්න වෙලාවේ එතනට ආවා බන්දුල විතානගේ විජයට ආරාධනා පත්‍රයක් දෙන්න. එතකොට විජය බන්දුලට කිව්වා අපි හැමදාමත් හම්බ වෙන්නේ නෑනේ කියලා ඔහු එක්කත් ෆොටෝ එකක් ගත්තා. ටික වෙලාවකින් බන්දුල පද්මකුමාරත් එතැනට ආවා. විජය ඒ පාර කිව්වා අපි දෙන්නටම ඉන්න කියලා ඔහු අපේ ෆොටෝ එකක් ගැහුවා. අපි හිටියේ කවිච්චියක වාඩි වෙලා ඔහු හිටගෙන ෆොටෝ එක ගැහුවෙ. විජය හරි උසයිනෙ. ඒ පාර මම කිව්වා මේක තියෙයි නිකන් හෙළිකොප්ටර් ෂොට් එකකින් ගත්තා වගේ කියලා. ඒකටත් ඔහු හිනාවෙවී හිටියා.

මට විවේකයක් තිබුණොත් විජය එක්ක ඔහුගේ කාර් එකේම ෂූටිං තියෙන තැන්වලට යනවා. අන්තිමට එහෙම ගියේ මීගමුව පැත්තේ පද්මසිරි කොඩිකාර නිෂ්පාදනය කරපු ෆිල්ම් ෂූට් එකකට. එදා තිබුණේ නදීකා ව පැහැර ගනිද්දී විජය බේරගන්න සීන් එකක්. එදා තමයි මම මුල්ම වතාවට ස්ලෝමෝෂන් ෂූට් එකක් දැක්කෙ. විජයත් ඒකේ රඟපෑවේ ඔහුගේ ඇක්ෂන් ස්ලෝ කරලා. ඔහොම ඉන්න අතරේ විජය නිතරම කියනවා අතුල ඔයාගේ ලයිටින්වලට මම හරි කැමතියි ඔයා ෆොටෝ එකක් ගත්තත් ඒකෙත් මොකක් හරි කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා ඉදිරියේදී ෆිල්ම් එකක් කරන්නම ඕන. ඒකෙ මම රඟපාන්නේ නොමිලේ කියලා. ඒත් මට ඒක කරන්න බැරි වුණා. ඒ වුණත් අනාගතයේදී මම විජය කියපු විදිහට ෆිල්ම් එකක් කරනවා.

මම ෆොටෝස් ගන්නකොට කියන කියන විදියට ඔහු ඉන්නවා. මොකද ඔහු දන්නවා මම එතන නිර්මාණ ශිල්පියා කියලා. ගාමිණී ෆොන්සේකා මහත්තයටත් ඒ ගතිගුණය තිබ්බා. ඒ වගේම තමයි විජය අන් අයගේ මතයට ගරු කළා. වෙනත් අය කියන දේ හොඳට අහගෙන හිටියා. විජය දේශපාලනයට යනවාය කියලා තීරණය කළාට පස්සේ මම කිව්වා ඔයා දේශපාලනයට ගියාට චිත්‍රපට වෙනුවෙන් වෙන්කරලා තියෙන කාලය එක දශමයක් වත් අඩු කරගන්න එපා; ඒවාට දෙන දින ඒ විදියටම දෙන්න කියලා. අපරාදෙ කියන්න බෑ විජය ඒ විදියටම ඒ දේ කළා. ඔහු දේශපාලනයට ආවේ ලාභ ප්‍රයෝජන ගන්න නෙමෙයි. සේවයක් කරන්න හිතාගෙන. මම අර විදියට කිව්වම විජය කිව්වේ චිත්‍රපට කරන්නත් අතුල රටක් තියෙන්න ඕන නේද කියලා.

කොහොම හරි විජය 1988 පෙබරවාරි 10 වැනිදා අන්තිම ෆොටෝ ෂූට් එක ඉවර වෙලා කිව්වෙ "එහෙමනං අපි ලබන සුමානේ හමුවෙමු කියලා" ඒත් විජයටවත් මටවත් කිසිම දවසක ඒ කියපු විදිහට අපි මුණගැහෙන ඒ ලබන සුමානය ආවේ නෑ.

 


විජයගේ ඉලක්කය වුණේ කවදා හරි ජනාධිපති වීමයි

විජය සමඟ සමීපව ඇසුරු කළ ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ

“විජය කුමාරතුංග මට හා හා පුරා කියලා හමුවෙද්දී, අපි දෙන්නම ආධුනිකයි.

මම ලේක්හවුස් එකට ගිය මුල්ම ක‍ාලේ තමයි විජය රඟපාන්න ගියේ. විජයගේ තාත්තා අකාලේ මැරුණු නිසා විජය හැදුණේ වැඩුණේ ඔහුගේ තාත්තගේ අයියා සිඩ්නි කුමාරත් සමඟයි.

ඒ කියන්නේ ජීවන්ගේ තාත්තා. සිඩ්නි වමේ දේශපාලනයට සම්බන්ධයි. ඒ දවස්වල විජේ හරි කෙට්ටුයි. සිඩ්නි විජේව දේශපාලනයට ගත්තා. විජේ කියලයි කවුරුත් කීවේ. අවු. 15, 16 තරුණයා ක‍ාලේ විජේ, සීදුවේ ඉඳලා එන්නේ බස් එකේ.

මරදානෙ මාලිගාවත්ත ප්‍රේමසිරි කේමදාසගේ සංගීත මංජරියේ ‘සිතිජය’ කියන ඔපෙරාවේ රඟපාන්න විජයත් ආවා. එතනට තිලකරත්න කුරුවිට බණ්ඩාර, ඩබ්. ජයසිරි, ධර්මසේන පතිරාජ, සුනිල් ආරියරත්න, මාක් ඇන්තනී වගේ අයත් එනවා. රඟපාලා ඉවරවුණාම වඩේ එකකුත් ප්ලේන්ටියකුයි දෙනවා. ඒ කාලේ කේමදාස මාස්ටර්ටවත් වාහනයක් තිබුණේ නැහැ.

ඉස්සර මම සරසවියේ ඉන්න කාලේ විජේ මාව හමුවෙන්න ලේක්හවුසියට එනවා. මාලනී ෆොන්සේකා ප්‍රධාන චරිතයට අරන්, සරසවියට පින්තූර කථාවක් කළා. ෆොටෝ ෂූට් එකේ පින්තූර ගත්තේ බන්දු එස්. කොඩිකාර. ඒ දවස්වල විජේ හරි කුලෑටියි. මාලනීගෙන් කෙළින්ම ප්‍රශ්නයක් අහන්නෙත් නැති තරමට.

පස්සේ විජය - මාලනී පෙම්වතුන් වුණා. ඒත් මොකක්දෝ විරසකයක් වෙලා දෙන්නා වෙන් වුණා. විජේ දේශපාලනයට ළං වෙද්දි චන්ද්‍රිකා සමඟ සමීපව කටයුතු කරන්න ලැබුණා. මේ සම්බන්ධෙට මුලින්ම සිරිමාවෝ ටිකක් අකැමැති වුණත් පස්සේ ඇය විජයට හරි සෙනේවන්ත වුණා බෑනට. විජේ චන්ද්‍රිකා විවාහය චාමෙට ගත්තා. විජය අනුර සමඟත් සමීපව හිටියා.

විජය දේශපාලනයෙන් බැබළෙන්න ගත්තා. මමයි බන්දුල පද්මකුමාරයි යනවා විජේ හමුවෙන්න. සංවිධානය කරපු රැස්වීම්වලට විජේට යන්න බැරිවුණාම සංවිධායකයෝ එනවා හරිම ආවේගශීලීව. විජය පඩිපෙළ බැහැගෙන ඇවිත් කියනවා මොකද සහෝදරයා සද්දේ. දේශපාලනය සද්දේ දාලා කරන්න බැහැ. බුද්ධියෙන් මිසක් කියලා. විජේගේ පුදුම ආකර්ෂණයක් තිබුණේ. මිනිස්සු නිශ්ශබ්ද වෙනවා. ඔහු කාටත් හරියට ආදරය කළා. විජය තුළින් දිස්වුණේ නොපවතින බවක් තමයි කියලා මට දැන් හිතෙනවා.

ඒ කාලේ හැටියට වැඩියෙන්ම මුදලක් අයකරන නළුවා විජේ. රු. 150000 එක ෆිල්ම් එකකට. දැන්නම් එක්කෝටි පනස් ලක්ෂයක් වගේ. කොච්චර හම්බකළත් ජෝතිපාල වගේ තමයි, යාළුවන්ට මුදල් දෙනවා. ඉතුරුවක් කළේ නැහැ. චන්ද්‍රිකාටත් මුදල්වලින් අඩුපාඩුවක් තිබුණේ නැහැනේ. විජය හරියට කෙළෙහිගුණ තිබුණ කෙනෙක්. ඒ වගේ මනුස්සකම් තියන නළුවෙකුට කෙනෙක් බුලට් එකක් පත්තු කළේ කොහොමද කියලා හිතාගන්න බැහැ.

විජයට වුවමනා වුණේ රාජ්‍ය නායකයා වෙන්න. සෝනියා දිසාගේ ජය අපටයි මංගල දර්ශනය වැල්ලවත්තේ ‘ඔමෙගා ඉන්’ හෝටලයේ තියෙද්දි මම ඇහුවා මොකද ජනාධිපති වෙන්නද දඟලන්නෙ කියලා. විජේ ඇහුවා “ඇයි ඔයාගෙ යාළුවෙක් ජනාධිපති වුණාම නරකද? මගේ ඉලක්කය ඒක තමයි කියලා” විජය කටාන ආසනයෙන් ශ්‍රි.ල.නිදහස් පක්ෂයට ඉල්ලන්න සූදානම් වුණා. අවසාන රැස්වීම ති‍ෙයන දනෛ්ම යූ.එන්.පී. රැස්වීමක් සංවිධානය කරලා තිබුණා. ඒකේ ජෝතිපාල ගී ගයනවා කියලා දැනුම්දීලා තිබුණා. කටානෙම විජයගේ රැස්වීමක් තියනවා කියලා ජෝති දැනගත්තෙ මගදී. ජෝති රැස්වීමට නොයා විජේ හිටිය හෝටලේට ගිහින් විජය හමුවෙලා කීවා කෝටියක් දෙනවා කීවත් මම රැස්වීමට යන්නෙ නෑ කියලා. යූ.එන්.පී. සංවිධායකවරුන්ට කරුණු පහදලා දීලා ජෝති හලාවත ප්‍රසංගයකට ගියා.

විජය තමන්ගේ යශෝධරා, විමුක්ති දරු දෙන්නට හරියට ආදරය කළා. කොච්චර වැඩ මැද්දෙ වුණත් දරුවන් පන්ති ගෙනියන්නේ, එක්ක එන්නේ විජයයි.

විජයට හැමතිස්සේම ඕනෑ වුණා ජනප්‍රිය වෙන්න. හොඳ නළුවෙක් වෙන්නත් පසුව වුවමනා වුණා. විජය කීවා වයසට ගිහින් හරි හොඳම නළුවා වෙන්න පුළුවන්. ජනප්‍රියත්වය තියෙන්නේ තරුණ කාලේ විතරයි කියලා. ඒත් කොහොම හරි විජේ රඟ පෑ එකම චිත්‍රපටයට හොඳම නළුවා සහ ජනප්‍රිය නළුවා සම්මාන දෙකම ලැබුණා. මධුසමය, බඹරු ඇවිත්, අහස් ගව්ව වගේ චිත්‍රපටවල ඔහු සුවිශේෂ හැකියාවන් පෙන්නුවා.

ඕනෑම කෙනෙකුට එක් දුරකතන ඇමතුමක් දීලා රුපියල් ලක්ෂ 10-15ක් ගෙන්න ගන්න පුළුවන් තරමේ හැකියාවක් විජේට තිබුණා. ඒත් පෞද්ගලික ජීවිතයේ මොකක් දෝ අසාර්ථකත්වයක් තිබුණා. විජය අපට අහිමි වීම හරිම වේදනාවක්.”

 

• නිශානී හේරත් බන්නැහැක

Comments