ප්‍රේමය තිබුණේම එතැනයි | සිළුමිණ

ප්‍රේමය තිබුණේම එතැනයි

මීට අවුරුදු 14කට කලින් එක්තරා දිනෙක ඉන්දියාවේ නවදිල්ලි නුවර ඛාන් මාර්කට් නමින් හඳුන්වන වෙළෙඳපොලක් අසල බස් රථයක් පැමිණෙන තුරු බලා සිටි 15 හැවිරිදි රූමත් යුවතියකගේ ජීවිතය එහෙම පිටින්ම උඩුයටිකුරු කළ දුක්මුසු පුවතක් දැන් බොලිවුඩ් රිදී තිරයේ දිග හැරිලා. ‘චපාක්‘ (Chhapaak) නමින් පසුගිය 10 වැනිදා බොලිවුඩ් රිදී තිරයේ දිග හැරුණු මේ චිත්‍රපටය ගැනත්, එහි ප්‍රධාන චරිතයට දායකත්වය දෙන ප්‍රකට රංගන ශිල්පිනිය දීපිකා පදුකෝන් ගැනත් ඇති තරම් කතා කළත් ඒ සිදුවීමට මුහුණදුන් ලක්ෂ්මි අගර්වාල් ගැන කතා කරන්නේ අල්ප වශයෙන්.

ඇයට මේ වේදනාකාරී සිදුවීමට මුහුණපෑමට සිදුවූයේ ඇගේ නි‍ෙවසට පවා නිතර ආ ගිය ඇගේ මිතුරියකගේ වැඩිමල් සොයුරකු වූ 32 හැවිරිදි නයිම් ඛාන් ඇයට කළ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසයි. මේ තරුණයා ඇගෙන් පළිගත්තේ මුහුණට ඇසීඩ් ප්‍රහාරයක් එල්ල කරමිනුයි. ඇසීඩ් ප්‍රහාරය එල්ල වෙද්දී 15 හැවිරිදි වියේ පසුවූ මේ යුවතිය පොත් සාප්පුවක වෙළෙඳ සේවිකාවක ලෙස රැකියාවේ නිරතවයි සිටියේ. එදා ඇය සේවය නිමවී නැවත නිවෙස බලා යාමටයි බස් නැවතුම් පළේ රැඳී සිටියේ. ඇසීඩ් වැදීමෙන් ඇගේ මුහුණේ හා සිරුරේ සම පිලිසෙන්න ගත වූයේ නිමේෂයක් පමණයි. මොහොතකට පසුව කිසිවකු හෝ ඇය මෝටර් රථයක නංවාගෙන රෝහල කරා ගෙන ගොස් තිබුණා.

මාස ගණනාවක් රෝහල්ගතව සැත්කම් රැසකට භාජනය වූ මේ යුවතිය පළමුවරට තම මුහුණ කැඩපතකින් දුටු මොහොතේ කුමක් සිතෙන්නට ඇතිදැයි ඔබට අනුමාන කළ හැකි බව සහතිකයි.

ඇය හඬා වැටුණා. ඇති තරම් කෑ ගසා හැඬුවා. ඇය සනසාලීමට ඇගේ මාපියන් කොතෙකුත් උත්සාහ කළත් ඇයට සිතුණේම ජීවිතය නැති කරගන්නටයි. ඒත් තමා වෙනුවෙන් මාපියන් කළ කැපවීම ගැන සිතා ඇය අන්තිමට ඒ තීරණය අත හැර දැමුවා.

‘ඒ කාලේ අනිත් ළමයි වගේ මාත් සංගීතයට හරි කැමැත්තෙන් හිටියා. නටන්න, සෙල්ලම් කරන්න... ලස්සන ලස්සන ඇඳුම් අඳින්න මාත් කොයිතරම් ආසා කළාද..? ඒ කාලේ මගේ එකම හීනය වුණේ කවදාහරි දවසක වෘත්තිය ගායිකාවක් වෙන්නයි. රියැලටි වැඩසටහන්වලට මම තොරතෝංචියක් නැතිව ඇප්ලිකේෂන් දැම්මා. ඒත් හිටිහැටියේම මගේ ජීවිතයට එබුණු මේ මිනිහා ඒ හැම හීනයක්ම විනාශ කළා. ‘ සුවපත් වීමෙන් පසුව මාස ගණනාවක් නිවෙසේ කොටුවී සිටියදී ලක්ෂ්මි එක්තරා පුවත්පතකට එසේ කීවේ හැඬු කඳුළින් යුතුවයි.

යොවුන් වියේ පසුවන අ‍ෙනකුත් යුවතියන්ට උරුම අතීතයක් ලක්ෂ්මිට තිබුණේම නෑ. සැහැල්ලුවෙන් ගෙවා දැමිය යුතු සමනල විය ඇය ගෙවා දැමුවේ දරාගත නොහැකි පීඩනයක් සිතේ ගුළිකරගෙනයි. ඇයට යථාර්ථය තේරුම් ගැනීමට තවත් සෑහෙන කාලයක් ගත වුණා. සාධාරණය ඉල්ලා අවුරුදු හතරක්ම ඇය නඩු කීවා. සැබැවින්ම ඇයට ඇසීඩ් ප්‍රහාරය එල්ල කිරීමට එදා ඛාන් මාර්කට් අසලට යතුරු පැදියෙන් තරුණයා පැමිණ සිටියේ තවත් තරුණියක සමගයි.

එදා ඔහු යතුරුපැදියේ සිටියදී ඇයට ඇසීඩ් ප්‍රහාරය එල්ල කර තිබුණේ ඒ තරුණිය විසිනුයි. අවසන් ප්‍රතිඵලය වුණේ රාකී නමැති ඒ තරුණිය අවුරුදු හතකටත්, නයිම් ඛාන් අවුරුදු දහයකටත් බන්ධනාගාරගත වීමයි.

ඒත් නිදහස ලබා පැමිණීමෙන් පසුව ඔහු විවාහ වී සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න වුණා. ඔහු අතින් ඇසීඩ් ප්‍රහාරයට ලක් වුණු මේ අහිංසක යුවතිය ඒ වන විටත් නිවෙසේ බිත්ති හතර මැද සිර වුණු ජීවිතයක් ගත කරමිනුයි සිටියේ.

විරූපි මුහුණක් හා සිරුරක් ඇතිව මානසිකව ඇද වැටී සිටියත්, ලක්ෂ්මිට අලුත් හීන දකින්න ඇගේ පියා නිතරම දිරිගැන්වුවා. ඒත් ඇගේ ඥාතින් නම් ඇය මඟහරිමිනුයි සිටියේ.

‘ඔවුන් මාව මඟහැරියා. මට ගෙදරින් පිට යන්න එපා කියලයි ඔවුන් කිව්වේ. ඒක තමයි මගේ ජිවිතයේ වඩාත්ම දුෂ්කර කාලය වුණේ. අන්තිමට මම හිතාගත්තා මම මේ පීඩනයේ ගොදුරක් විය යුතු නෑ කියලා. මොකද මේ ප්‍රහාරය මගේ වරදක් නිසා සිද්ධ වුණු දෙයක් නෙවෙයි. මම නැවත ජීවිතය අලුතින් පටන් ගන්න තීරණය කළා. රූපලාවණ්‍ය ආලේපනවල පිහිට පැතුවත් මගේ මුහුණේ විරූපි බව එයින් මකාගන්න බැරි වුණා. රස්සාවක් කරන්න සම්මුඛ පරීක්ෂණවලට ගියත් ඔවුන් කීවේ මගේ මුහුණේ විරූපි බව දැකලා පාරිභෝගිකයන් බයවෙයි කියලයි.‘ ලක්ෂ්මි සිය ජීවිතයේ අසීරුම කාලය ගැන එසේ සිහිපත් කළාය.

‘ඒ කාලයේ තමයි මට රාජ්‍ය නොවන සංවිධානයක් ගැන ආරංචි වුණේ. ඔවුන් ඇසීඩ් ප්‍රහාරවලට ලක්වූවන් ගැන ව්‍යාපෘතියක් කරමිනුයි සිටියේ. මම ඉක්මනින්ම ඔවුන් සොයා ගියා. ඔවුන් මාව එවෙලේම රැකියාවට බඳවාගත්තා. අපි එකතුවෙලා ඇසීඩ් ප්‍රහාරවලට ලක්වූවන් සොයා ගියා.‘ ඇය කීවාය.

තරුණ පිරිස් රැසක් මේ ගැන සොයා බැලීමට ඔවුන් සමග එකතුවුණා. ලක්ෂ්මිට ආලෝක් ඩික්සිත් මුණගැසුණේ එහිදීයි. කාලයක් යද්දී ඇගේ ජීවිතයත් අනිකුත් යුවතියන්ගේ ජීවිත වගේම ලස්සන වෙන්න පටන් ගත්තා. ආලෝක් ඇයට සැබැවින්ම ආලෝකයක් වුණා. ඔහු ඇගේ පෙම්වතා බවට පත්වුණා.

‘මගේ මුහුණ තව දුරටත් මිනිසුන්ගෙන් සඟවන්න වුවමනා නෑ කියලා ආලෝක් මට කිව්වා. මගේ ජීවිතයට අලුත් විශ්වාසයක් ඇතිවුණා. ජයග්‍රාහී ලීලාවෙන් ලෝකය දිහා බලන්න මම පුරුදු වුණා. ‘

‘මිනිස්සු නිතරම හිතන්නේ කෙනකුගේ බාහිර සුන්දරත්වය වැදගත් දෙයක් බවයි. ඒත් ඇත්ත ඊට වඩා වෙනස්. මාව තේරුම් අරන් මගේ ආත්ම ශක්තිය වැඩි කරන්න...නිතරම පස්සෙන් හිටියේ අතළොස්සක් පමණයි. ආලෝක් ඒ අතරින් කෙනෙක්. සමාජය හරි කුරිරුයි. ඔවුන් සාමාන්‍ය සමක් ඇති ප්‍රසන්නශීලී අයට පවා එවැනි කුරිරුකම් කරනවා. ඉතිං මං මොකද...?‘ ඇය එසේ අසයි.

ඇය අවසානයේදී නතර වූයේ කාන්තා හිංසනයට පමණක් නෙවෙයි ඇසීඩ් අලෙවි කිරීම ගැන සමාජය තුළ විශාල විරෝධතාවක් ද ගොඩ නගමිනුයි. එපමණක් නෙවෙයි සාමාන්‍ය වෙළෙඳසැල්වල ඇසීඩ් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇය සේවය කරන රාජ්ය නොවන සංවිධානය හා තවත් සංවිධාන රැසක් සමග එක්ව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමකුත් ගොනු කරන්න මූලිකත්වය ගත්තා. 2013 වසරේදී ඇගේ උත්සාහය බොහෝ දුරට සාර්ථක වුණා. අවුරුදු 18න් පහළ පුද්ගලයන්ට ඇසීඩ් අලෙවි කිරීමට තහංචි පැනවුණා. ඒ වගේම ඇසීඩ් මිලදී ගැනීමේදී ඒ සඳහා පාරිභෝගිකයාගේ හැඳුනුම්පතේ පිටපතකුත් ලබා දීමට සිදුවන තැනට වැඩ සිද්ධ වුණා. ඒත් එය ඇගේ උත්සාහයේ එක් කොටසක් පමණයි. ඇසීඩ් අලෙවිය ගැන සටන තව දුරටත් ගෙනියාමයි ඇගේ අරමුණ වී ඇත්තේ.

ඇය දැන් අභිප්‍රේරණය සම්බන්ධව ප්‍රකට උපදේශිකාවක්. රට වටාම දේශන පවත්වමින් ඇය ඉන්දියාවේ තරුණියන් හා කාන්තාවන් හිංසනයට එරෙහි වන්නට දිරිගන්වනවා. ඇගේ මේ උත්සාහය ඇගැයීමට ලක් කරමින් 2014දී එවකට අමෙරිකාවේ පළමු ආර්යාව මිෂේල් ඔබාමා අතින් සම්මානයකුත් දිනාගත්තා.

ලක්ෂ්මි අගර්වාල් අද වෙද්දී එක් දරු මවක්. ඇගේ සැමියා ආලෝක් ජීවිත කාලය පුරාවටම ඇගේ සෙවණැල්ල වගේ ළඟින් හිඳීවි. ඔවුන් එක වහලක් යට ජිවත් වෙන්න තීරණය කළේ 2015දියි. ඒත් විවාහ නොවී සිටීමට දෙන්නම එකඟ වුණා.

‘ඒත් මැරෙනතුරු එකට ජීවත් වෙමු කියලා අපි ගිවිස ගත්තා. ආලෝක්ට වුවමනා වුණේ නෑ අපි විවාහ වෙලා අපේ විවාහ උත්සවයට අමුත්තන් ඇවිත් මගේ විරූපි බව බලනවාට. අපි විවාහ නොවී එකට ජීවත් වෙමින් සමාජයට තවත් අභියෝගයක් එකතු කළා. ආදරය කියන්නේ විවාහයෙන් කෙළවර නොවිය යුතු දෙයක්. අපේ ආදරේ එහෙම වෙන්නෙත් නෑ. ‘

Comments