මිනි­සුන් හික්ම­වීම සාර්ථ­කව කළ හැක්කේ සුභා­විත කලා­ව­කට පම­ණයි | සිළුමිණ

මිනි­සුන් හික්ම­වීම සාර්ථ­කව කළ හැක්කේ සුභා­විත කලා­ව­කට පම­ණයි

මාධ්‍යවේදියෙකු, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු හා රංගන ශිල්පියෙකු ලෙස විවිධ භූමිකා ඔස්සේ කලාවේ ගැවසෙන දක්ෂ කලාකරුවකු ලෙස අරවින්ද හෙට්ටිආරච්චි හැඳින්විය හැකිය. නිහඬව දිගු ගමනක යෙදෙන අරවින්ද අද රසඳුන හා එකතු වෙන්නේ ඔහුගේ නවතම භූමිකාව පිළිබඳ මෙසේ කතා කරන්නයි.

 

ඔබ අලුතින් ආරම්භ කළ සංස්කෘතික අවකාශය ගැන කතාකරමු ?

ඔව්. එය සංස්කෘතික පුනරුදයක ආරම්භයක් කිව්වොත් හරි. මේ සංස්කෘතික අවකාශය අපි ආරම්භ කළේ ද්වි භාෂාවෙන් කටයුතු කරන අලුත් පරම්පරාවක් පිළිබඳ විශ්වාසය ඇතිව. ඉංග්‍රීසි භාෂාව මූලික කරගෙන මේ කටයුත්තට එළැඹෙන්න උත්සාහ කළත් එය එතරම් සාධාරණ නොවන නිසා සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකින්ම අපි මේ කටයුත්තට ආරම්භය ලබාගත්තා.

 

තවදුරටත් මේ කාරණාව විස්තර කළොත්?

වර්තමාන තරුණ පරපුර වෙත සංස්කෘතික හා තාක්ෂණික වැඩ පිළිවෙලක් ඔස්සේ ඔවුන්ට අවස්ථාවක් දීමයි මෙහි මූලික පරමාර්ථය. අපි දැනටමත් රංගනය පිළිබඳ නාට්‍ය වැඩමුළුවක් ආරම්භ කර තිබෙනවා. එයින් ඉංග්‍රීසි ස්වතන්ත්‍ර නාට්‍යයක් නිර්මාණය කරන්නයි සූදානම. එයට කැමැති ඕනෑම කෙනකුට මේ දිනවල අප එක්ක එකතුවෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම කොළඹ පාසල් ආශ්‍රිතව නාට්‍ය වැඩමුළු මාලාවක් නොමිලේ පැවැත්වීමටත් අදහස් කරනවා..

 

මේ සඳහා අවකාශය සැලසෙන්නෙ කාටද?

මේ සඳහා අපට කතා කරන අයට අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් මෙන්ම පාසලෙන් නික්මෙන තරුණ පරපුරටත් ගුරුවරුන්ටත් මේ අවස්ථාව වැදගත් වේවි.

 

ඉංග්‍රීසි මාධ්‍ය යොදාගන්න විශේෂ හේතුවක් තියෙනවද. ?

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල ඉංග්‍රීසි වේදිකාව අපේ රටේ ප්‍රචලිතව පැවැතුණා. අයිරාංගනී සේරසිංහ, විල්සන් සේරසිංහ, රිචර්ඩ් ද සොයිසා වැනි ශිල්පීන් කලාවට එකතු වන්නේ එතැනින්. රොහාන් පොන්නයියා වැනි සිංහල භාෂාව භාවිතය නුහුරු ඇතැම් දක්ෂයින් භාෂා ගැටලුව නිසා එදා මාධ්‍යයට එකතුවන්න නොහැකි වුණා. ඒ අතර අපේ සමකාලීන සොයුරියක වූ තුසිතා ජයසුන්දර ඉතාමත් දක්ෂව ඉංග්‍රීසි වේදිකාවේ කටයුතු කළ අයෙක්. නමුත් සිංහල හැසිරවීමේ ගැටලුව නිසා ඇය එංගලන්තයේ ශේක්ස්පියර් නාට්‍ය කණ්ඩායමකට සම්බන්ධ වී අන්තර්ජාතික වේදිකාවේ කටයුතු කරනවා. ඇය ලංකාවේ හිටිය­ානම් දක්ෂ රංගන ශිල්පිනියක්.. පසුකාලීනව නාට්‍යවේදී ධම්ම ජාගොඩ විසින් එක්තරා වකවානුවක තවත් උත්සාහයක් ගන්නවා. එහිදී හඳුනාගත් ඉන්දිරා ජොන්ක්ලාස් පසුකාලීනව ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවට හඳුන්වලා දෙනවා.

 

සුභාවිත කලාවක් අද අපට අවශ්‍ය වන්නේ ඇයි?

ප්‍රාග්ධනය පිළිබඳ කතා කරද්දී සංස්කෘතික ප්‍රාග්ධනය ඉංග්‍රීසි කතා කරන පන්තිය තුළ අපි දකිනවා. මහාකවි ශේක්ස්පියර්ගේ රෝමියෝ-ජුලියට් කියවූ කෙනෙක් ආදරය දකින්නේ වෙනස් විදිහකට. එය නොකියූ කෙනෙක් ඊට වෙනස්ව ආදරය හඳුනා ගන්නේ. ඒ සඳහා රෝමියෝ-ජුලියට් පොත අපිට හමුවෙන්න ඕන. එය කියවා තියෙන්න ඕන. රෝමියෝ ජුලියට් නාට්‍ය හා සිනමා කෘතිය නරඹා තියෙන්න ඕන. ඒ පිළිබඳ සංවාද කර තිබීමත් මෙතනදි වැදගත්. එවන් පසුබිමක තමන්ගේ පෙම්වතියට තවත් මිතුරකු විසින් ප්‍රේම යෝජනාවක් කළොත් එයට මුහුණ දීමේ ශක්තියක් ඇති වෙනවා. නැත්නම් එතැනදී කපා කොටා ගන්න තත්ත්වයක් අපි දකිනවා. මෙය එක්තරා උදාහරණයක් පමණයි. මිනිසුන් හික්මවීමේ වැඩේ සාර්ථකව කරන්න පුළුවන් සුභාවිත කලාවකට පමණයි කියලයි මං විශ්වාස කරන්නෙ.

 

කලාව පිළිබඳ විවෘත සාකච්ඡාවක්, සංවාදයක් අවශ්‍ය බව ඔබ පුන පුනා කියන කාරණයක් ?

මෙතැනදි අන්තර් සංස්කෘතික හුවමාරුවක් අප අතර පැවැතීම ඉතා වැදගත්. අද වත්මන් පරපුරට අපේ අක්මුල් පිළිබඳ නිවැරදි අවබෝධයක් නැහැ. මධ්‍යම පන්තියේ ස්ථරයටවත් මේ සවිඥානිකත්වය නෑ. කලාවෙන් මිනිසකුට ජීවන දර්ශනයක් හමුවනවා. මෙය එක්තරා ආකාරයක ජීවන අරගලයක්. කාර්යක්ෂම බව මහන්සිය සතතාභ්‍යාසය නිර්මාණකරණයේදී අනිවාර්යය සාධකයි..

 

මෙය එක්තරා ආකාරයකට අභියෝගාත්මක කාර්යයක්?

වර්තමානයේ අපේ රටේ පෞද්ගලික මාධ්‍ය විසින් සංස්කෘතියෙහි පැවැත්ම තීරණය කිරීමේ බලය අතට අරගෙන. ඔවුන් ජනප්‍රිය සංස්කෘතිය තුළ සුභාවිත කලාව විනාස කරමින් ඉන්නවා. භාරතය තුළ රබීන්ද්‍රනාත් තාගෝර් කවිය තුළින් පුනරුදයක් ඇති කළා. සුභාවිත කලාව ස්ථාපනය වූ පසුබිමකයි එහි ජනප්‍රිය සංස්කෘතිය පවතින්නෙ. එහිදී ජනප්‍රිය කලාවට සිද්ධ වෙනවා සුභාවිත කලාවට වගකියන්න. මෙය අප රටේ සිදුවන්නෙ නෑ.

 

මේ කාරණය සරල නෑ?

එය කොහොමටත් සරල නැහැ. එදා ගැටවරයෝ චිත්‍රපටය ජනප්‍රිය මාවතේ නිර්මාණය වුවත් ගීත රචනා කළේ මහගම සේකර. සංගීතය පණ්ඩිත් අමරදේවයන් එවැනි පසුබිමකයි අතීතයේ අප කටයුතු කළේ. වර්තමානයේ අපි ලොකු අනතුරක ඉන්නවා. කලාව තුළ ප්‍රමිතියක් නැති තත්ත්වය බරපතළ ප්‍රශ්නයක්. සමාජ මාධ්‍ය තුළින් පවා ජනතාව අතරට කලාව සරල වීම අර්බුදයක්. ඒ නිසා සංස්කෘතික කාන්තාරයක සිට කලාවේ තෝතැන්නක් නිර්මාණය කරන්නයි අද අපට සිද්ධ වෙලා තියෙන්නෙ. කලාව සම්බන්ධව පදනමක් පැවැති රටක් අපි. ඒ සඳහා වගකිවයුත්තන් මැදිහත්වීම සිදුවිය යුතුයි. අද තරුණයන් සංස්කෘතික හිරකරුවන් බවට පත්වෙලා. සංස්කෘතිය තුළින් සිදුවිය විය යුත්තේ මානවීය සමාජයක් ගොඩනැගීමයි. අපි ඒ සඳහා සමාජය යාවත්කාලීන කළ යුතුයි. එය තමයි මෙහිදී අපේ මූලික පරමාර්ථය වන්නේ.

Comments