අද තිබෙන්නේ නිර්මාණ කොල්ල­යක් | සිළුමිණ

අද තිබෙන්නේ නිර්මාණ කොල්ල­යක්

ගීතයක කර්තෘ භාගය ගෙවීම සම්බන්ධයෙන් බොහෝ කලක පටන් විවිධ සංවාදයන් හා මතිමතාන්තරයන් සහ අරගලයන් පැවැති බව අපි දනිමු.ගීතයට හිමි කර්තෘ භාගය ගෙවිමට නීති සම්පාදනය වී තිබුණද මාධ්‍ය මෙය විවිධ අවස්ථාවන්හිදී මගහරින්නට විය. එහෙත් වර්තමානයේ නැවතත් කර්තෘ භාගය ගෙවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවී ඇත. ඒ සම්බන්ධයෙන් තතු දැනගැනීමට අප කතාකළේ ගායක ගායිකා සංගමයේ වත්මන් සභාපති ප්‍රවීණ ගායක විශාරද ජානක වික්‍රමසිංහ සමඟිනි.

අපේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ කතා කරද්දී විධිමත් ක්‍රමවේදයන් යම් යම් කාල වකවානුවලදී සාකච්ඡා වෙනවා.

සංගීතඥයන් වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් කර්තෘ භාගය ගෙවීම ප්‍රධාන යෝජනාවක්. එතනින් සාකච්ඡාව පටන් ගනිමු නේද?

සංගීත කලාකරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට අපේ රටේ වෘත්තීමය පසුබිමේ ඔවුන්ගේ නිර්මාණවලට ලැබෙන්නේ අඩු ලංසුවක්. ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කරලා නිර්මාණකරණයේ යෙදිලා තමන්ගේ හැකියාවෙන් මුළුමහත් සමාජයක්ම සුවපත් කරන්න මේ කලාකරුවන් කටයුතු කරනවා. ඔවුන් පිළිබඳ යම් ආකාරයක වගකීමක් සමාජයටත් තියෙනවා. අපි අහන දකින දෙයක් තමයි වියපත් වූ කලාකරුවන් වියපත්ව ජීවිත අසරණභාවයට පත්වෙලා. ඔවුන් රැකබලා ගන්න, සතුටින් තියන්න නොහැකි පසුබිමක වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ දුන් අවස්ථා. . නමුත් මේ රටේ ඒ කලාකරුවන් කරන නිර්මාණ මොන තරම් විඳිනවද? මෙය කනගාටුදායක තත්ත්වයක්.

 

කර්තෘ භාග පිළිබඳ අත්දැකීම් අපිට පෙර පැවැති වකවානුවක් තිබුණා?

ඔව්, කිසියම් උත්සාහයක් ජාතික මාධ්‍ය හරහා එක්දහස් නවසීය අනූව දශකයේ විතර ක්‍රියාත්මක වෙමින් තිබුණා. එහි කිසියම් ප්‍රතිලාභයක් ලබා ගත්ත ශිල්පියෙක් මමත්. නමුත් ඒ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න කටයුතු කළේ නැහැ. වර්තමානයේ මාධ්‍ය පුළුල් වෙලා. විශාල වශයෙන් සංගීතඥයන්ගේ නිර්මාණ විකාශය වන අවකාශයක් නිර්මාණය වෙලා. අඩු තරමේ ඒ නිර්මාණවල අනන්‍යතාව පිළිබඳවත් නිසි ඇගයීමක් සිදුවන බවක් අපට පේන්නේ නෑ. බොහෝවිට වාණිජමය කටයුතු සඳහා නිර්මාණ යොදා ගැනීම අපි දකිනවා. ඒ සඳහා නිසි අවසරයක් ,අනුමැතියක් ලබාගන්න බවක් පෙනෙන්න නැහැ. ඕනෑම රටක බුද්ධිමය දේපළ පනත යටතේ මේ නිර්මාණ සංරක්ෂණය වනවා. නමුත් අපේ රටේ සදාචාරාත්මක විදිහටවත් නිර්මාණකරුවාට මෙම අයිතිවාසිකම් පිළිබඳව බුක්තියක් නැහැ.

 

ඒත් ආධුනිකයන් ප්‍රවීණයන්ගේ නිර්මාණ මාර්ගයෙනුයි සංගීත ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ?

එදා අලුතෙන් ක්ෂේත්‍රයට එන්න උත්සාහ කරන ආධුනිකයන්ගේ ප්‍රවේශය ඉතාමත් අව්‍යාජයි. අද ඇතැම් රියැලිටි වැඩසටහන් හරහා ප්‍රවීණයන්ගෙන් නිර්මාණ ඔවුන් ඉදිරියේම මරා දමනවා. ඒ වගේම මුදලට අලෙවි කරනවා. පෞද්ගලිකව අලුත් පරම්පරාවට අපි සත් භාවයෙන් උදව් කරන්න කැමතියි. ආධුනික අවධියේදී අපිත් ප්‍රවීණයන්ගේ ගීත ගායනා කළා. නමුත් අද අලුත් පරම්පරාව ප්‍රවීණයන්ගේ ගීත තමන්ගේ ගීත බවට කරගනිමින් ගායනා කරනවා. සමාජය දන්නෙත් අලුත් ගීතය ගයපු ඒ අලුත් කෙනාව.මෙතනදී වෘත්තීය පසුබිම බිඳ වැටීම සංගීත ක්ෂේත්‍රයට ඍජුවම බලපානවා. ගායක ගායිකා සංගමය සහ ඔස්කා සංගමය මගින් මේ තත්ත්වයන් පිළිබඳ අප කතා බහට ලක් කර තිබෙනවා.

 

ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවරයා වන්නේ ඔබ. මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මොන විදිහේ වැඩපිළිවෙළක්ද දැනට ක්‍රියාත්මක වන්නේ?

කර්තෘ භාග ගෙවීම් සම්බන්ධ යෝජනාවන් සහ එහි ඉදිරි කටයුතු සාකච්ඡා වන්නේ ඔස්කා සංවිධානය යටතේයි. එහිදී ජයන්ත ධර්මදාස මහත්මා අප විශේෂයෙන් මතක් කරන්න ඕනා. මේ වන විටත් විශාල පිරිවැයක් දරා තාක්ෂණික උපකරණ ආනයනය කර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය මගින් මාධ්‍යවල දත්ත ලබාගෙන ගබඩා කිරිම, විශ්ලේෂණය ආදිය සිදු වනවා. ගීතයක මුල් ගායකයා, සංගීතඥයා, පද රචකයා පිළිබඳ අනන්‍යතාවන් පරිගණක මඟින් නිවැරදි දත්ත සටහන් කිරීම එහිදී සිදු වනවා.

 

ගීතයක නිර්මාණ අයිතිය ගායකයාට මෙන්ම පද රචකයාට සහ සංගීතඥයාටත් හිමියි. කර්තෘ භාග යෝජනාවේදී මෙය බලපාන්නේ කොහොමද?

ගීතයක ගායකයාට වගේම සංගීත නිර්මාණකරුවාට සහ පද රචකයාටත් එහි අයිතිය මෙන්ම කර්තෘ භාගය සමානව බෙදෙන ආකාරයට මුල්‍ය ප්‍රතිලාභ යෝජනා කර තිබෙනවා. ඇතැම් ගීතයන් මුල් ගායනයට අමතරව වෙනත් අය ගායනා කළ අවස්ථා තිබෙනවා. ඇතැම් නිර්මාණවලට පද රචකයන් දෙතුන්දෙනා අයිතිවාසිකම් කියනවා. සංගීත නිර්මාණය ද ඒ වගේ ඇතැම් ගැටලු තියෙනවා. එතනදි නීත්‍යානුකූල අයිතිය පිළිබඳ සොයා බලා සාධාරණව ඒ කටයුත්ත සිදුවිය යුතුයි. ඇතැම් නිර්මාණකරුවන්, කලාකරුවන් මේ වන විටත් ජීවතුන් අතර නැහැ. එතනදී ඔහුගේ අයිතිය හිමි පවුලේ සාමාජිකයෙකුට මේ කර්තෘ භාග ලබාදීමට යෝජනා වනවා.

 

කලාකරුවකුට හිමිවිය යුතු අයිතියක් පිළිබඳවයි, ඔබ මේ කතා කරන්නේ?

නිර්මාණයක අයිතිය ලෝකයේ දියුණු සමාජය තහවුරු කර තිබෙන්නෙ. නිසි ක්‍රමවේදයක් අවසරයක් නැතුව කිසිම නිර්මාණයක් අයාලේ යන්න දෙන්නේ නැහැ. පොතක් පල කළත් ලේඛකයකුට කර්තෘ භාග හිමිවනවා. එයත් අප රටේ නම් සාධාරණව සිදුවනවද කියලා මා දන්නේ නැහැ. ලෝකයම පිළිගන්න සාධාරණ තත්ත්වයක් පිළිබඳවයි අප හඬ නගන්නේ.

අද විවෘත වෙළෙඳ පොළේ නිර්මාණ මංකොල්ලයක් තිබෙන්නෙ. ඒ තරගයට අහිංසක කලාකරුවන්ට මුහුණ දෙන්න ශක්තියක් නෑ. මේ සඳහා නෛතික පිළිතුරක් ලබාදීම සාධාරණ තත්ත්වයක්. අපේ රටේ ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා අන්තර්ජාල නාලිකා. සැටලයිට් දහස් ගණනක් මේ වන විට ක්‍රියාත්මක වනවා. ඒත් ඉතාමත් දුක් මහන්සියෙන් ගොඩ නගාගත්තු නිර්මාණ අවභාවිත කිරීම තමයි පුදුමය.

කර්තෘ භාග ගෙවීම සම්බන්ධ කාරණයේදී බුද්ධිමය දේපළ පනත බලාත්මක වීමයි වැදගත් වන්නෙ?

1979 අගෝස්තු 21 පාර්ලිමේන්තුවට පනතකින් මෙය ගෙන එනවා. 2003 මාර්තු 13 එය නැවත සංශෝධන සහිතව සම්මත වනවා. 2011 ජනවාරි 05 සහ 2019 ජුනි 17 අති විශේෂ ගැසට් පත්‍ර වලින් මෙය ක්‍රියාත්මක කරන්න නෛතික ප්‍රතිපාදන සම්මත වෙනවා. බුද්ධිමය දේපල පනත මෙ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. කර්තෘ භාග සම්බන්ධ කාරණයෙදී ඔස්කා පදනමයි පෙනී සිටින්නේ. ඒ වගේම ඇට්කො සංවිධානයටත් අවසර තිබෙනවා. මෙතනදී කර්තෘ භාග සම්බන්ධයෙන් යෝජනාව වන්නේ රූපවාහිනී ආයතනයකින් එක් ගීතයක් සඳහා රුපියල් සියයක මුදලක්, එයින් සියයට දහයක් ඔස්කා සංවිධානය මගින් ක්‍රියාත්මක වන සාමාජිකයන්ගේ සෞඛ්‍ය රක්ෂණ අර මුදලට එකතු වනවා. අනෙක් මුදල ගායකයා, සංගීතඥයා, සහ පද රචකයා අතර සමව බෙදෙන්න යෝජනා කරලා තියෙනවා. ගුවන් විදුලි මාධ්‍ය සඳහා රුපියල් තිහක මුදලක් මුදලක් යෝජනා කරලා තියෙනවා. එයින් සියයට දහයක් ඔස්කා සංවිධානයටත් අනෙක් මුදල ගායකයා, සංගීතඥයා සහ රචකයාට වෙන් වනවා. එළිමහන් සංගීත ප්‍රසංග සංවිධානයේ දී නගර සභාව නියෝජනය වන පරිදි රුපියල් තුන් දහසක් උප නගර සභාවකින් රුපියල් දෙදහසක් සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක ප්‍රසංගයකදී රුපියල් එක් දහස් පන්සියයක්. එක් නිර්මාණයකින් අය කර ගන්නවා. එය අය කර ගන්නේ සංවිධායකවරයා ගෙන්. එම මුදල් සංගීතඥයා සහ පද රචකයා අතර සම සමව බෙදා දීමටයි කටයුතු කරන්නේ සමස්තයක් විදිහට එළිමහන් ප්‍රසංගයකදී රුපියල් පන්දහසක් අය කර ගනු ලබනවා. විදෙස් රට වල සංවිධානය වන සංදර්ශන සඳහාත් මුදලක් අය වෙනවා. ඒ වගේම බස් රථ වල ප්‍රචාරය වන ගීත සඳහා වසරකට එක් බස් රථයකින් රුපියල් සියයක මුදලක් අයකර ගැනීමට යෝජනා වෙලා තියෙනවා.

මෙතැනදී ගායක ගායිකාවන් ගෙන් මුදල් අය කර ගැනීමක් සිදු වන්නේ නැහැ. එවැනි වැරදි වැටහීම් ද සමාජ ගත වෙලා තියෙනවා.

 

ඒ කටයුත්තට මාධ්‍ය ආයතනවලින් ලැබෙන සහයෝගය පිළිබඳ සෑහීමකට පත් වනවාද?

දැනට සාකච්ඡා කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා යහපත් ප්‍රතිචාරන්. ඇතැම් මාධ්‍යයන්වලට මෙම කර්තව්‍යය පිළිබඳව සංවේදීතාවක් නැහැ. නමුත් යථාර්තවාදීව අපි මේ ගැටලුව දිහා බලන්න ඕනා. මං හිතනවා මේ තත්ත්වය අපිට ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වේවි කියලා. 

Comments