ගී පද බැඳුමේ මා ඉන්නේ මැද මාව­තක | සිළුමිණ

ගී පද බැඳුමේ මා ඉන්නේ මැද මාව­තක

නිල් පාටින් හිරු එළියේ

සුදු රතු කොළ දම් සිහිනේ

සීත දිනෙක ගෙන ආවේ

සිතුවමකට සේයාවේ...

චාමර ජනරාජ් පීරිස් ගේ ‘අයාල්‘ ටෙලි නාට්‍යයයේ තේමා ගීතය වූ මෙම පදවැලේ අයිතිකාරිය ඔහුගේ ආදරණීය බිරිය වූ තුෂානි බුළුමුල්ලය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂිකාවක වන ඇය ව්‍යාපාර පරිපාලනය, සමාජ විද්‍යාව, විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. තවද ව්‍යාපාර කළමනාකරණය හා අන්තර්ජාතික සබඳතා පිලිබඳ පශ්චාත් උපාධිධාරිනියකි. මේ සියල්ල අතරේ ගී පද බැඳුමට, පොතපත ලිවීමට පෙම් බැඳි කලාකාරිනියකි.

 

ඔබේ පුංචි කාලෙන් පිළිසඳර අරඹමු?

මගේ ගම නුවර කිරිබත්කුඹුර. මුල්ම පාසල වුණේ ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලය. පස්සේ නුවර උසස් බාලිකාවට ඇතුළු වුණා. පොඩි කාලේ මං හරියට පොත් කියවනවා. ඒ කාලේ කවි, රචනා ලියන්න වගේම ක්‍රීඩාවටත් මම හරිම දක්ෂයි. බොහෝ වෙලාවට ලිවීමේ තරගවලට පාසලෙන් ඉදිරිපත් කළෙත් මාව. ඒ තරගවලින් ලැබුණු සහතික තවමත් මං ළඟ තියෙනවා. මගේ අම්මා හොඳ සිංහල ගුරුවරියක්. ඇයටත් හොඳට ලියන්න පුළුවන්.

කිවිඳියක් වෙන්නද ඔබ කැමැත්තෙන් හිටියේ?

මගේ කැමැත්ත තිබුණේ සින්දු කියන බෑන්ඩ් එකක ගිටාර් වාදන ශිල්පිනියක් වෙන්න. ඒත් ගිටාර් වාදනය ඉගෙන ගන්න බැරි වුණා.

ඇයි ඒ හීනය බිඳෙන්නේ?

විශේෂ හේතුවක් නැහැ. උසස් පෙළ කළාට පස්සේ මම මොස්කව් රාජ්‍ය සරසවියට ඇතුළු වෙනවා. අධ්‍යාපන කටයුතුවලට කාලය වැය වෙන්න පටන් ගත්තට පස්සේ පොත් කියවන්න, සින්දු අහන්න, ලියන්න තිබුණු රුචිය ටිකක් අඩු වුණා. එහේ අධ්‍යාපනය අවසන් කළාට පස්සේ මම මෙහේ පෞද්ගලික අංශයේ රැකියාවකට එකතු වෙනවා.

අර සැඟවුණු කිවිඳිය නැවැත සොයාගන්නේ ඔබේ සැමියා?

මගේ සැමියා චාමර පීරිස්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඔහු දැනගෙන හිටියා මට ලියන්න පුළුවන් බව. ඔහු තමයි ආරාධනා කරන්නේ ඔහුගේ පළවැනි නාට්‍යය වන ‘අයාල්‘ නාට්‍යයට ගීතයක් ලියන්න. ඒ වෙනකොට මම ලිවීම නවත්වලා වසර 10කට කිට්ටුයි. නමුත් ඒ අභියෝගය අරගෙන ලිව්වා.

කුලුඳුල් ගීතයෙන්ම ඇගැයීම් ලැබීම ඔබේ ජිවිතයේ සුවිශේෂි මතකයක් වෙන්න ඇති?

මගේ අතින් ලියැවුණු පළමුවැනි ගීතය සුමති සම්මාන උලෙළේ හොඳම පද රචනයට නිර්දේශ වුණා. ඒ ප්‍රවීණයෝ කිහිප දෙනෙක් එක්ක. මට ඒ මොහොත අදටත් හිතාගන්න බැහැ. සම්මානයක් ලැබුණා වගේ සතුටකින් එදා මම ඇඩුවා මතකයි. එදා ඒ ලැබුණු ඇගැයීමෙන් තේරුම් ගත්තා ගී පද රචනයෙන් මට යම් දෙයක් කරන්න පුළුවන් බව.

ඔබ එක්තරා තැනකට සීමා වූ ගී පද රචිකාවක් යැයි හිතෙන්නේ නැද්ද?

මගේ සැමියා ඒ අවස්ථාව මට ලබා දුන්නේ නැත්නම් මට නැවැත ලියන්න උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. අනෙක ඔහුගේ නිර්මාණවලට ගීත ලියද්දි මට පූර්ණ නිදහස ලැබෙනවා. මුදල් සෙවීමේ අරමුණෙන් මම ගීත ලියන්නේ නැහැ. මගේ ගීත අහලා ලැබෙන ප්‍රතිචාරය තමයි මගේ තෘප්තිය. ඒ ප්‍රතිචාර එක්ක ගීත ලියන්න ලැබෙන ආරාධනා සහ ඒ ජනප්‍රියත්වයට මම කැමැතියි. ඒ හැරුණු කොට ගී පද රචිකාවක් වෙන්නම අදහසක් මගේ ඔළුවේ නැහැ.

මේ වෙද්දි ගීත කීයක් පමණ නිර්මාණය වෙලා තියෙනවා ද?

12ක් 13ක් වගේ ලියවිලා ඇති. ඒ හැම ගීතයක්ම ප්‍රචාරය වුණා. නමුත් ටෙලිනාට්‍යය ගීත හැම නාලිකාවකම ප්‍රචාරය නොවන නිසා මගේ ගීත ලොකු පිරිසක් අතරට ගිහින් නැතුව ඇති.

ඒ අතර වැඩිපුර ලියැවුණේ මොන වගේ ගීතද?

මගේ මුල්ම ගී පද රචනය පිටසක්වළ ජීවියකුට ඇති වුණු ආදරයක් ගැන. දෙවැනි තුන්වැනි ගීත ලියැවෙන්නේ ආත්ම දෙකක ආදරයක් ගැන. කොහොමත් මම ලියන වචන ඕනැම කෙනකුට තමන්ගෙ ජීවිතයේ ඕනෑම තැනකට ආදේශ කරගන්න පුළුවන්. ඒ අතරේ බොහෝ වෙලාවට ආදරය ගැන තමයි ලියවිලා තියෙන්නේ.

නිර්මාණ එකතුවක් එළිදක්වන්න අදහසක් නැද්ද?

පහුගිය දවස්වල එහෙම අදහසක් තිබුණා. මට ඕනෑ වුණේ සිහිවටනයක් විදිහට සීඩී එකක් කරලා මගේ හිත මිතුරන් අතර බෙදා දෙන්න. මම ගීත ලියනවා කියලා මගේ යහළුවෝ සහ වටේ ඉන්න ගොඩක් අය දන්නේ නෑ.

ඔබ ප්‍රියතම ගී පද රචකයා හෝ රචිකාව?

රත්න ශ්‍රී විජේසිංහයන් සහ යමුනා මාලනියගේ ගීත ලිවීමට මම බොහොම කැමැතියි.

තුෂානි කියන ලේඛිකාව ගැනත් කියමු නේද?

ලේඛිකාවක් වෙන්න අවස්ථාව ලැබුණේ මෑතකදී. මම හිතුවේ පොතක් ලිවීම හරි බැරෑරුම් කටයුත්තක් කියලා. ඒත් පොතක් එළි දැක්වීමේ උත්සවයක එල්මෝ ජයවර්ධන මහතා කළ දේශනයකින් පස්සේ මගේ ඒ අදහස මුළුමනින්ම වෙනස් වුණා. ඔහු එදා කිව්වේ පොතක් ලියන්න, හිතට එන දේ ලියලා ඊට පස්සේ ඒක ෆොටෝ කොපි කරලා බෙදලා දෙන්න ඒකත් පොතක් තමයි කියලා. ඒ පණිවිඩය මට හරියට දැනුණා. එය ලියන්න මට පන්නරයක් වුණා. සුසර ප්‍රකාශකයන්ගෙන් අවස්ථාවක් ලැබුණා චෝගම් එකට පොතක් ලියන්න. ඒක පොඩි පොතක්. ඊට පස්සේ නෙල්සන් මැන්ඩෙලාගේ චරිතා ප්‍රදානය ලිව්වා 2014 දී. තවමත් ඒ පොතට ඉල්ලුමක් තියෙනවා. මේ දවස්වලත් පොතක් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා.

Comments