තමන්ගෙ අය හමු වෙන්න වෙලාව වෙන් කරගන්න ඕනැ නෑ.... | සිළුමිණ

තමන්ගෙ අය හමු වෙන්න වෙලාව වෙන් කරගන්න ඕනැ නෑ....

අරලිය ගස යට පරමල් අහුලන තරුණයා දෙස සිරිමාන්න බලා සිටියේ හකුළාගත් දෑසිනි. පාසල නිම වීමෙන් පසු පැය කීපයක් රැඳී සිටින්නට ඔහු පුරුදුව සිටියි. බොහෝවිට ඒ විදුහල්පති භූමිකාවේ වගකීම් හේතු කොටගෙන නොවේ. මිනිසෙකු ලෙස හුස්මක් ගන්නට වන වුවමනාව නිසාය. ගෙදර ගොස් විවේක ගන්නට ඔහු කිසිසේත් නුපුළුවන. එවන් යුගයක් තිබිණ. එහෙත් බිරිය‍ගේ අතුරුදන් වීමෙන් පසු ගෙදර යනු විවේකය හෝ සහනය ගෙන දෙන ස්ථානයක් නොවේ.

දඟකාර අතුල් පතුල් ආදියේ හිරිහැරයෙන් මිදීම ගැන අරලිය ගසට ඒ හැටි සතුටක් නැතුවා වගේය. අරුණෝදයේ අසිරිය අංග සම්පූර්ණ කරන්නේ දඟකාර කමින් වගේම කටකාරකමින් ද අනූන පාසල් ළමයින් විසිනි. බිම හෙළන මලක් වුව ඉදලේ ගැහැටට ලක්වන්නට ඉඩ නොහැර අහුලන ළමයින් අකුරක ඉලක්කමක හිරිහැරයෙන් ගැලවුණු ඇසිල්ලේ අරලිය ගස් පෙළ වෙත දිව එති. පොකුරක පොහොට්ටුවකට පවා ඉනික්බිති කනක් ඇහෙන්නට ඉඩක් නොලැබේ. ඔවුන් කතා කරන්නේ ද හිනැහෙන්නේ ද තරගයට වගේය.

අරලිය ගස යට පරමල් අහුලන තරුණයා දෙස සිරිමාන්න බලා සිටියේ හකුළා ගත් දෑසිනි. පාසල නිම වීමෙන් පසු පැය කීපයක් රැඳී සිටින්නට ඔහු පුරුදුව සිටියි. බොහෝවිට ඒ විදුහල්පති භූමිකාවේ වගකීම් හේතු කොටගෙන නොවේ. මිනිසෙකු ලෙස හුස්මක් ගන්නට වන වුවමනාව නිසාය. ගෙදර ගොස් විවේක ගන්නට ඔහු කිසිසේත් නුපුළුවන. එවන් යුගයක් තිබිණ. එහෙත් බිරියගේ අතුරුදන් වීමෙන් පසු ගෙදර යනු විවේකය හෝ සහනය ගෙන දෙන ස්ථානයක් නොවේ. එකම දියණිය ගෙදර සිටියද නොසිටියද ඔහුට සැනසීමක් නැත. ඇය අතිශය අකාරුණික ලෙස සිය පියාගේ විවේකය හා සන්තුෂ්ටිය පැහැර ගනියි.

“රමේෂ්..?”

සිතිවිල්ලේ ගැලී සමීපයට පැමිණි සිරිමාන්න විමතිය පළ කළේය.

රමේෂ් උඩුකය කෙළින් කළේය. සිනාමුසු මුහුණ තාරුණ්‍යයේ ප්‍රභාව නොමඳව විහිදුවයි.

“පරවෙලා වැටුණු මල් අහුලන්නත් ප්‍රින්සිපල්ගෙන් අවසර ගන්න ඕන කියලා මම දැනගන හිටියෙ නෑනේ...”

සිරිමාන්නගේ මුව’ග නැගුණේ අතිශය ප්‍රසන්න සිනාවකි.

“එතකොට මේ ඉලන්දාරියා මේ තකහනියේ ආවෙ පරමල් ඇහිඳින්නමද..?”

මල් දෝත අරලිය ගසේ දෙබලක් මත තැබූ රමේෂ් සැහැල්ලුවෙන් හිනැහුණේය.

“මං ආවෙ අපේ ප්‍රින්සිපල් සර්ව මුණ ගැහෙන්න...”

“ඒ මොකටද අප්පේ...?”

සිරිමාන්න අපේක්ෂා කළ තරමේ බරසාර කරුණක් තරුණයා වෙත නොවීය. ඔහු විවාහය පිළිබඳ කතා කරන්නට පැමිණි වග සිරිමාන්න විශ්වාස කළේය. එහෙත් රමේෂ් ගේ සිතෙහි තදින් බල පවත්වන්නේ යෝජිත මනමාලියගේ අතුරුදහන් වීමයි.

“එහෙම විශේෂ දේකුත් නෑ අංකල්... කලින් නොදන්වා ආ එක නම් ලොකු වරදක් තමා...”

“තමන‍්ගෙ අයව මුණගැහෙන්න එහෙම කලින් වෙලාවක් වෙන් කරගන්න ඕන නෑ ඉලන්දාරියා...”

බැරෑරුම් බව අත් හරින්නට අකමැති මිනිසා මෙ’පරිද්දෙන් සැහැල්ලු විලාසයක් මවා පාන්නේ ඉඳහිටය. මිතුරු ඇසුරේදි පවා හෙතෙම තිරසාරය. බැරෑරුම්ය. අනෙක් අතට ඔහුට මේ වන විට මිතුරන් නැත්තේය. බිරිය පිළිබඳව නිතර ප්‍රශ්න කිරීම නොඉවසන නිසාම හෙතෙම මිතුරන් වෙතින් ඈත් විය.

“කෝ අපේ අමා...?”

සිරිමාන්න ඇසුවේ ඈත මෑත බලමිනි. රමේෂ් තනිව ආ බව අදහන්නටද ඔහු මැළිවිය.

“එයා අද අපේ මමී එක්ක ගාඩ්න් එකේ වැඩ... දෙන්නා කතුරු මුල්ලු සවල් අරගෙන යුද්දෙට යන්න වගේ...”

සිරිමාන්න දෙබැම ඉහළ නංවා අගය කළේ උද්‍යාන අංලකරණයෙහි නිරත දෙදෙනා නොවේ. නිවැරදි සිංහල බසින් කතා කරන තරුණයාය.

“පුතා බොහොම ලස්සනට සිංහල කතා කරනවනේ...”

රමේෂ් ලජ්ජාශීලි සිනාවක් පෑවේය.

“අපි ඉංග්‍රීසි වරද්ද වරද්දා කතා කරන්න හරි බයයි. හැබැයි සිංහල වරද්දන එක ආඩම්බරයක්. මට අපේ කට්ටියගෙ සමහර ආකල්ප තේරුම් ගන්නම බෑ අංකල්.”

සිරිමාන්න හඬ නඟා හිනැහුණාය.

“යමු.. අපි ඔෆිස් එකට ‍ගිහිල්ලම කතා කරමු...”

“ඇයි ඉතිං මේ තරම් ලස්සන එළිමහනක් තියෙද්දි අපි බිත්ති හතරක් මැද්දෙ දාඩිය පෙරාගෙන කතා කරන්නෙ?”

සිරිමාන්න විපිළිසර වූ සෙයකි. ඔහු රමේෂ් දෙස එක එල්ලේ බැලුවේය.

“ඒකත් ඇත්ත තමා..” යි ඔහු මඳ වේලාවකට පසු එකඟ විය.

“මල් පිරුණු මල් ගහක් යට කතා කර කර ඉන්න එක මහා වාසනාවක්... නේද අංකල්?”

සිරිමාන්න හිස සලන්නට අදිමදි කළේය.

“මල් ගහක් යට කතා කර කර ඉන්න ඕන කොල්ලෙකුයි කෙල්ලෙකුයි මිසක කොල්ලෙකුයි නාකියෙකුයි නෙමේ රමේෂ්...”

“ඔන්න... ඕවා තමා වැරදි ආකල්ප... කාට වුණත් කතා කරන්න හොඳ තැනක්නෙ මෙතන...”

“ඊට එරෙහිව කිව යුතු දෙයක් සිරිමාන්නගේ මුව’ග නොනැඟිණ.

ලොකු කුඩු ළමයින්ගේ බර දරන අරලියා ගසට රමේෂ් ගේ බර උසුලා සිටීම පීඩාකාරී නොවීය.

“වාඩිවෙන්න අංකල්”

විසිත්ත කාමරයක සිටින්නාක් මෙන් තරුණයා විදුහල්පතිවරයාට ආරාධනා කළේය.

සිරිමාන්න විමතියෙන් දෑස මහත් කළා මිස අරලියා ගසේ කඳ මත හිඳගන්නට නොසිතුවේය.

“එහෙනම් අපි බිම ඉඳ ගමු” යි කී රමේෂ් වියළි පතින්ද පර මලින් ද හැඩි වූ පොළොව මත හිඳගත්තේය. එයින් සිරිමාන්නගේ විමතිය දෙගුණ තෙගුණ විය.

“ඇයි?”

ඒ අහිංසක බැල්මෙන් හිත හදා ගත් කලෙක මෙන් ඔහු සුසුමක් හෙළුවේය.

“අපේ අමාට හරියට ම හරියන්නෙ රමේෂ් තමා...” යි ඔහු පැවසුවේ ආයාසයෙන් බිම හිඳ ගනිමිනි.

“ඇයි අංකල් එහෙම හිතන්නෙ?”

“නෑ ඉතිං අමාගෙත් තියෙන්නෙ මේ වගේ අමුතු වැඩ තමා...”

“බිම වාඩි වෙන එකේ මොකක්ද තියෙන අමුත්ත? මට නම් හරි පහසුයි... උපේ උද්දච්චකම ටිකක් අඩු‍ වෙන්නත් එක්ක අපි බිම වාඩිවෙන එක... තව පුළුවන් නම් බිම නිදාගන්න එක හොඳයිනෙ අංකල්...”

සැබැවින් ම සිරිමාන්නට යම්කිසි පහසුවක් දැනිණ.

සුව පහසුව දකින අසුන් සහමුලින්ම අමතක කිරීම පහසු නැත. එහෙත් පොළොව මත හිඳ ගැනීම ආයාසකර වුවත් වැඩි වේලාවක් ගතවන්නට පෙර නුහුරු නුපුරුදු සැහැල්ලුවක් සිරිමාන්නගේ සිත වසා පැතිර ගියේය.

“සමහර වෙලාවට අමා මිදුලෙ වැටිලා ඉන්නවා. මම හිතුවෙ ඒ මාව කේන්ති ගස්සන්න කරන වැඩක් කියලා. දැන් තමා මට තේරෙන්නේ බිම ඉඳගෙන ඉන්න එක මේ තරම් සුවයක් නම් නිදාගන්න එක කොහොමට ඇද්ද කියලා...”

රමේෂ් මුව පුරා හිනැහුණේය.

“මේකයි අංකල්... අංකල් තමන්ගෙ තනතුරෙන් මිදෙන්න ලෑස්ති නෑ කිසිම වෙලාවක. ඉතිං හැම තිස්සෙම ඉන්නෙ යන්නෙ කන්නෙ බොන්නෙ ඒ තනතුරට අදාළව. ඒක මහ වධයක්නෙ... ඔය තනතුරට යටින් ඉන්න මනුස්සයාට මොකද වෙන්නෙ?”

සිරිමාන්න කතා කළේ මඳ වේලාවක් නිහඬව සිටීමෙන් පසු ය.

“චම්පා යන්න ගියේ ඒ මනුස්සයත් මරාගෙන රමේෂ්... ඒ මනුස්සයත් එක්ක මට එයාගෙ වෙන්වීම උහුලගන්න එක ලේසි නෑ...” 

ඔහු‍ගේ හ‍ඬෙහි වූයේ ශෝකාකූල බවකි. ඉහළ අතු අග මල් කිණිති මත ඔහුගේ දෑස රැඳිණ.

“මට ඇත්තට ම ඕන වුණේ අංකල් එක්ක ආන්ටි ගැන කතා කරන්න තමා.”

“කවුද අමා ද කිව්වෙ මා එක්ක කතා කරන්න කියලා...?”

“අයියෝ නෑ... අමා දන්නෙත් නෑ මම අංකල්ව මුණගැහෙන්න එනවා කියලා..”

ඔහු රමේෂ්ගේ කතාව සැක නොකළේය. මේ තරුණයා මුසා බසක් නොකියන බව ඔහු තරයේ විශ්වාස කරයි.

“මං නං හිතුවෙ රමේෂ් එන්න ඇත්තෙ අමා ගැන කතා කරන්න කියලා...”

සිය දියණිය මෙන් මේ තරුණයා හැඟීම් මැඬ ගන්නට දක්ෂ නොවන බව පෙනී යයි. පැහැබර මුහුණ ඒ හදවත නොසඟවා හෙළි කරන කැඩපතකි.

ලබන සතියට‍...

Comments