ඇගේ ලස්සන අරගලය නිසැකයෙන්ම ඔබට ආදර්ශයක්ම වේවි... | සිළුමිණ

ඇගේ ලස්සන අරගලය නිසැකයෙන්ම ඔබට ආදර්ශයක්ම වේවි...

‘අඳුරක් තිබේනම් එතැන ආලෝකයක් ද තිබිය යුතුය. ජීවිතය අපට කියාදෙන්නේ ද ඒ පරම සත්‍යයයි. ඔබට මුහුණපෑමට සිදුවන අභියෝග කෙතරම් දුෂ්කර වූවත් කම් නැත. අඳුරු කාල පරිච්ඡේදයකදී පවා ඔබට ජීවිතය ආලෝකමත් කරගැනීමේ අවස්ථාව උදාවනු ඒකාන්තය.’

එසේ කියන්නේ කෙළිලොල් තාරුණ්‍යයේදිම රෝද පුටුවකට ජීවිතය සීමා කරගන්නට සිදුවූ එංගලන්තයේ සුරූපි තරුණියක්. රිය අනතුරක් නිසා ජීවිතයේ හොඳම දඟකාර කාලය රෝද පුටුවක ගෙවා දමන්නට ඇයට සිදුවූයේ අවුරුදු 15 සිටයි. එසේ වූවා කියා මේ සුන්දර යුවතිය ජීවිතය එපා කරගන්නට හෝ සිය දිවි හානි කරගන්නට හෝ උත්සාහ කළේ නෑ. ඒ වෙනුවට හිටි හැටියේම මුහුණ පාන්නට සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීමෙන් ඇය තව තවත් දිරිමත් වූවාය.

28 හැවිරිදි වියෙහි පසුවන මේ යුවතිය ජෝර්ඩන් බෝන්.

මාරාන්තික රිය අනතුර නිසා ජීවිතය වෙනස් වුවත් ජෝර්ඩන්ගේ අරමුණ වෙනස් වුණේ නෑ. ඒ වෙනුවට රිය අනතුර ඇගේ ජීවිතයට ආශිර්වාදයක් කර ගත්තා. මේ වනවිට ලොව පුරා අතිශය කීර්තියට හා ආදරයට පාත්‍ර වූ රූපලාවන්‍ය ශිල්පිනියක බවටත්, අභිප්‍රේරණ (motivational speaker) උපදේශිකාවක බවටත් පත්වී සිටින ඇය ඉන් නොනැවතී සිය ජීවිත කතාව පොතකට ගොනු කර මෙවැනි අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරුව සිටින සෙසු තරුණ තරුණියන්ට කදිම ආදර්ශයක් බවට පත්වුණා.

ඇය සිය ජීවිත කතාව ලොවට තිළිණ කරන්නේ අපූරු නමකිනුයි. මීට වසර දෙකකට පෙර එළි දැක්වූ ඇගේ කෘතිය නම් කර තිබුණේ ‘මගේ ලස්සන අරගලය‘ කියායි.

මුළු ජීවිත කාලයම ආබාධිතයකු ලෙස ගෙවා දමන්නට සිදුවී තිබුණත් මේ දිරිය යුවතිය කියන්නේ රිය අනතුරින් පසුව ගෙවී ගිය මුල් අවුරුදු කිහිපය පුරා ජීවිතය යළි ගොඩනගා ගැනීමට කළ දුෂ්කර අරගලය ඉතා සුන්දර වූ එකක් බවයි.

එය දෙපා තිබියදිත් ජීවිතය පරදින සමස්ත තරුණ පරපුරටම ලජ්ජා සිතෙන කතාවක්. ධනාත්මක චින්තනය, මිනිසුන් දිරි ගැන්වීමේ කලාව ප්‍රගුණ කර එය ජීවන වෘත්තියක් බවට පත්කර ගනිමින් මුදල් උපයන බොහෝ පුද්ගලයන්ටත් ලජ්ජා සිතෙන කතාවක්.

ජීවිතය ගැන, දිරිමත්භාවය හෝ අභිප්‍රේරණය ගැන මිනිසුන් දැනුවත් කිරීම වඩාත්ම සාර්ථක වන්නේ එවැනි දිරිය පුද්ගලයන්ගේ කතා තුළිනුයි. ජෝර්ඩන් වැනි දෙපා අහිමිවූවන් මෙන්ම විවිධ සිදුවීම් මත වෙනත් ආබාධවලට ලක්වූවන් ජීවිතය සාර්ථකව ගොඩ නගා ගැනීමෙන් පසුව වරින් වර කරනු ලබන ප්‍රකාශ එහෙම පිටින්ම උදාන පාඨ සමුදායක්. එවැනි උදාන පාඨ බිහිවන්නේ ද මෙවැනි ඉරණමකට ගොදුරු වූ පුද්ගලයන් වෙතින් පමණයි.

ඇය කතා කරන්නේ සිය ජීවිතයේ අත්දැකීම් තුළින්. එය හුදෙක් මුදල් ඉපැයිම සඳහා නොවේ. එහෙත් ඇය මෙන් දිරිය සම්පන්න පුද්ගලයන්ට වැඩි වටිනාකමක් ලබාදී ඔවුන්ගේ ජීවිතය ආලෝකයක් ලබා දෙන අතරම අපගේ ජීවිතවලටත් උත්තේජනයක් ලබා ගැනීමට හැකිනම් එය කෙතරම් අගනේද..?

උතුරු ලන්ඩනයට සැතපුම් 98ක් පමණ දුරින් පිහිටි වෙළෙඳ නගරයක් වන නෝෆෝර්ක් ටවුමේ දී ඇය මේ රිය අනතුරට මුහුණ පෑවේ 2005 වසරේ මැයි මාසයේදීයි.

‘මේ අනතුර තමයි මගේ ජීවිතය ගැන අලුතින් හිතන්න පුරුදු කළේ. මට මගේ නිදහස ගොඩාක් දුරට අහිමිවුණා. තනිවම කිසිවක් කරකියා ගන්න බැරි තරමට අසරණ වුණා. ඒ වසරේ ඔක්තෝබර් වෙද්දී මට ආපහු ගෙදර යන්න පුළුවන් වුණා. හැබැයි රෝද පුටුවෙන්. මට දැනුනේ මුළු ලෝකයම මට හිනාවෙනවා වගේ. මම මුල් වතාවට මගේ උපන්දිනය රෝද පුටුවක සැමරුවේ ඊට දවස් කිහිපයකට පස්සෙයි. මගේ 16 වැනි උපන්දිනය. එදායින් පස්සේ හැම උපන්දිනයකදීම මට ඉටිපන්දම් නිවලා කේක් ගෙඩිය කපන්න වෙන්නේ රෝද පුටුවේ ඉඳගෙන නේද කියලා හිතෙද්දී පුදුමාකාර වේදනාවකින් හිත කකියන්නට වුණා.

මාව මානසිකව ශක්තිමත් කරන්න හිතාගෙන අම්මා මට භාවනාව පුරුදු කරවන්න කාන්තාවක් ගෙදරට ගෙන්වුවා. ඒ උපදේශකවරියට මගේ මනස හදන්න පුදුමාකාර විදිහට මහන්සි වෙන්න සිද්ධවුණා. ඒත් ඒක අන්තිමට සාර්ථක වුණා.

මට ඇවිදින්න විතරක් නෙවෙයි අතේ ඇඟිලි පවා පාලනය කරගන්න බැරි තරමට ස්නායූ දුර්වල වෙලයි තිබුණේ. තේ කෝප්පයක්, හැන්දක්, ගෑරුප්පුවක් අතට ගන්න ඇඟිලි පහම පාවිච්චි කරන්න සිද්ධවුණා. මේක ද ජීවිතය කියන්නේ. ඇරත් ගැහැනු ළමයකුගේ...?

ඒත් අන්තිමට තනිවම මේකප් කරගන්න. ඇහි බැම හදාගන්න මම පුරුදු වුණා. කවදාහරි දවසක රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට අනාගතය හදාගන්න තිබුණු හීනය ආයෙත් අලුත් වුණා. මම ඒවා පුරුදු වුණේ කඳුළු පෙර පෙරා.

මට ජීවත්වෙන්න බලාපොරොත්තුවක් ඉන් ලැබුණා. රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කොහොමහරි අනාගතය පාට කරගන්නවා කියලා මං හිතාගත්තා. භාවනාව තමයි ඒකට හිත හදාගන්න උපකාර වුණේ. රිය අනතුර මගේ ජීවිතයට අලුත් මුහුණුවරක් ගෙනල්ලා. රෝද පුටුවේ රූපලාවන්‍ය ශිල්පිනිය...ඒක පුදුම හිතෙන කතාවක්.

මිනිස්සු මාව කොහොම පිළිගනීවිද කියලා හිතාගන්න අමාරුවුණා. මේක අභියෝගයක්. කොහොමද ජයගන්නේ. මම රාත්‍රීන් ගණනාවක් නින්දක් නැතිව අනාගතය සැලසුම් කළා තනිවම. ඒක හරි පුදුම අත්දැකීමක් වුණා. මට ඕන කළේ මුළු ලෝකයටම අලුත් පාටක් වෙන්නයි.

ඔව්. මම ජය ගත්තා. මම පුංචි කාමරේක රෝද පුටුවක ඉඳගෙන ජීවිතය ජයගත්තා. අඳුර මැදින් ආලෝකය දුටුවා. මිනිස්සු මගේ රූපලාවන්‍ය කටයුතු ගැන කතා කරනවා. කාට හරි මොනව හරි අලුත් දෙයක් කරන්න ඕනෙ නම් ඒක රෝද පුටුවක ඉඳගෙනත් කරන්න පුළුවන් කියලා මම ඔප්පු කළා.

‘ මේ දිරිය යුවතිය දැන් එසේ කියන්නේ ඉමහත් සතුටකින් යුතුවයි.

Comments