ගාමිණි ෆොන්සේකා නම් වූ සිනමා විශිෂ්ටයාගේ රංගන දිවියේ මහා අස්වැන්න | සිළුමිණ

ගාමිණි ෆොන්සේකා නම් වූ සිනමා විශිෂ්ටයාගේ රංගන දිවියේ මහා අස්වැන්න

සිංහල සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකා මහතාගේ රංගනයන් තුළට වඩාත් එබී බැලීමේදී ඔහුගේ විශිෂ්ට රංගනයන් ඇතුළත් ‘සරුංගලය‘ සිනමා පටයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වූ 1970 දශකයෙහි එළිදැක්වුණු සරුංගලය චිත්‍රපටය යනු ගාමිණි ෆොන්සේකා මහතාගේ රංගන දිවිය තුළද සුවිශේෂී කඩඉමක් විය. එහි වඩාත් සුවිශේෂීත්වය වන්නේ එම අවධිය තුළ ගාමිණි යනු සිංහල සිනමාවේ අතිශය කාර්ය බහුල නළුවා පමණක් නොව, චරිතයක් සඳහා වැඩිම මිලක් අය කළ නළුවා වශයෙන් සරුංගලය සිනමාපටය වෙනුවෙන් කිසිදු මුදලක් අයකරගැනීමේ කොන්දේසියකින් තොරව රඟපෑ චිත්‍රපටයක් ද නිසාවෙනි. සිනමාපටයේ නිමැවුම්කරුවා වූ සුනිල් ආරියරත්නයන් මා හමුවූයේ මේ පිළිබඳව වඩාත් තොරතුරු දැනගැනීමේ අටියෙනි.

‘‘ඇත්තටම සරුංගලය සිනමාපටය යනු ගාමිණි ෆොන්සේකා කියන විශිෂ්ට රංගධරයාගේ රංගන හැකියාව ගැන අපට දැකගන්න පුළුවන්වූ සුවිශේෂී සිනමාපටයක්. එහි අධ්‍යක්ෂකවරයා මම වුණත් ඇත්තටම මා මුලින්ම නිර්මාණය කරන්න සිටි චිත්‍රපටය සරුංගලය නොවේ. අද අප අතර නැති තිස්ස අබේසේකර මහතාගේ ‘පොඩි මල්ලි‘ තිරපිටපත රැගෙන මා ඔහුව හමුවුණා. ඔහු පහුවදාම මට කතාකරලා කිව්වා, ඔහුට එහි චරිතයක් නොමැති බවත්, ඔහු ළඟ වෙනත් කතාවක් තිබෙනවා සරුංගලය නමින් කැමැති නම් එයින් චිත්‍රපටයක් කරමු කියලා. එහි දමිළ සිංහල සංහිඳියාව ගැන එහි කියැවෙන නඩරාජා කියන චරිතයක් තිබෙන බවත්, ධර්මසිරි ගමගේ මහතා ළඟ කතාව තිබෙන බවත් ඔහු මට විස්තර කළා. එතනින් තමයි මේ චිත්‍රපටය ආරම්භ වුණේ.“

ගාමිණි ෆොන්සේකා මහතාගේම කතා සංකල්පයක් අනුව ගොඩනැඟුණු තිරපිටපත සරුංගලය සිනමාපටයක් ලෙස නිර්මාණය වන්නට කොළඹ මල් ශාලාවේ හිමිකරු වූ වයි. එම්. කරුණාතිලක මහතාගේ නිෂ්පාදන දායකත්ව ලැබුණි. එනමුත් ගාමිණිගෙන් ඊට කිසිදු කොන්දේසියක් හෝ ගිවිසුම් ගතවීමක් නොවූයේ එය ජාතික වටිනාකමක් ඇති නිර්මාණ කාර්යයක් සේ සලකමිනි.

‘‘ඔහු සිනමා පටය ආරම්භ කළේම එහි ප්‍රධාන චරිතය වූ නඩරාජා වෙලාමයි. සිනමාපටය නිර්මාණය කරන විට ඔහුගේ කැපවීම ඉතා ඉහළ අගයක තිබුණා. එහි වේශ නිරූපණය කළ ඊබට් විජේසිංහ සමඟ ඔහු ඒ සඳහා වේශ නිරූපණ ගණනාවක් කළා. ඔහුට නඩරාජා කියන චරිතය මොන ආකාරයෙන් නිර්මාණය විය විය යුතු දැයි ගැන අදහසක් තිබුණා. මුහුණ, රැවුල, අඳින ඇඳුම, පළදින සපත්තු, අතේ තිබෙන කුඩය ආදී සෑම දෙයක් ගැනම ඔහුගේ හිතේ අැඳිලා තිබුණා. ඒ සඳහා පැය දෙකකට වඩා කැපකිරීමක් කළා. අනික මේ නඩරාජා කියන චරිතය යාපනයේ දෙමළ චරිතයක් වුණා. ඒ නිසා ඔහුට ඕන වුණා යාපනයේ දෙමළ කතා කරන විදිහට වචන උච්චාරණය කරන්න. මොකද ලංකාවේ විධිධ ප්‍රදේශවල දමිළ භාෂාව කතාකරන විදිහ වෙනස් නිසා. මා මේ අවධියේ සේවය කළෙත් යාපනය විශ්ව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසයි. වික්ටර් රත්නායක ගයන' මීනා' ගීතය මා අතින් ලියැවිලා ඒ අවධියේ ජනප්‍රියව තිබුණා. අප මෙහි රූගත කිරීම් වැඩි හරියක්ම කළේ යාපනය ප්‍රදේශයේ. එහි හිටපු බාලචන්ද්‍රන් කියන දමිළ මහතා ඒ කාලය පුරාවටම අප සමඟ ගතකළා, මට මතකයි. මෙහි හඬකැවීම් සිදු කරන විට ඒ උච්චාරණය හරි හැටි ගන්න දහසය වතාවක් පමණ නැවත නැවත හඬ කැවීම් කළා.‘‘

ඔහුගේ රංගනය කොතරම් සාරවත් ලෙස සරුංගලය සඳහා වැපිරුවේ ද යත්, එහි ප්‍රතිඵලය ද ඒ හා සමානවම පෙරලා අස්වැන්න ලෙස ලැබුණි. ඒ කාල වකවානුව තුළ තිබුණු සියලුම සම්මාන උලෙළෙවලදී හොඳම නළුවාට හිමි සම්මානය ගාමිණිට හිමි වුණි. ඔහු එතරම් සාධාරණයක් සරුංගලය චිත්‍රපටයෙහි ප්‍රධාන භූමිකාව වූ නඩරාජා චරිතයට සපයා දී තිබුණි.

‘‘ඇත්තටම නඩරාජා කියන්නේ සිංහල සිනමාවේ බිහිවුණු විශිෂ්ට චරිතයක්. එවැනි චරිත බිහිවන්නේ ඉතාමත් කලාතුරකින්. වසර 60ක් වූ සිංහල සිනමාවෙහි සිංහල දමිළ සංහිඳියාව ගැන කතාවෙන පළමු චිත්‍රපටය වන්නේත් මේ චිත්‍රපටයයි. එයත් ඉතිහාසගත වෙනවා. ගාමිණි එහි රූගත කරන විට මට තවත් විශේෂ කතාවක් කිව්වා. ඒ සිංහල දමිළ සංහිඳියාව ගැන පළමු ගීය වන මීනා ලියූ ගීත රචකයා ලෙසත්, ඒ සංහිඳියාවම කතා වෙන පළමු චිත්‍රපටය වන සරුංගලය හි අධ්‍යක්ෂකවරයා මා වීමත් විශේෂයක් බවත්. වාසනාවකට මටත් අවස්ථාව ලැබුණා ඔහුත් සමඟ එවැනි සිනමා පටයකට දායක වන්නට. එයින් පසු අප අතර තිබුණු මිත්‍රත්වයත් ඉතා දැඩි වුණා. ‘‘

ගාමිණි යනු පොත පත නිරතුරු පරිශීලනය කළ සෑම විෂයයක් පිළිබඳවම මනා දැනුමක් ඇත්තෙකු විය. එය සිනමාවට පමණක් කිසිදු විටෙක ලඝු නොවීය. ඒ නිසාම යම් චරිතයක් ලැබීමේදී එය නිරූපණය කිරීමට ඔහු සතුවූ ඒ සුවිශේෂී දැනුම ඉවහල් විය.

‘‘ඇත්තටම සාමාන්‍ය රංගන ශිල්පියෙකුට එහා ගිය විශිෂ්ට රංගධරයෙකු වන්නට ඔහු සතු දැනුම මනා ලෙස උපයෝගී වුණා. ඔහු අසහාය වන්නේත් ඒ නිසාමයි. මේ නිසාම චිත්‍රපටය පුරාවටම මට ඔහුව මෙහෙයවන්න ඉතා පහසු වුණා. ඔහු ඒ චිත්‍රපටයෙහි එන නඩරාජා චරිතය තුළ සැබෑ ලෙසම ජීවත් වුණා. ඒ නිසා තමයි අදටත් ඔහුගේ චරිත අතරින් නඩරාජා චරිතය සුවිශේෂී වන්නේත්.

සුනිල් ආරියරත්නයන් පවසන ලෙස ගාමිණි ‍ෆොන්සේකා දේශපාලන දිවියට පිවිසීම නොකළ යුතුව තිබුණි. එයින් ඔහුට කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බව ඔහුගේ මතයයි.

‘‘ඇත්තටම ගාමිණි ෆොන්සේකා කියන්නේ කලාතුරකින් බිහිවෙන විශිෂ්ටයෙක්. ඔහු අයිති සහ සුදුසු කලාවට මිසක් වෙනත් ක්ෂේත්‍රයකට නොවෙයි. ඔහුගේ අවමංගල්‍ය උත්සවය වෙලාවෙදීත් මම කිව්වා දේශපාලනට පිවිසීම ඔහුගේ ජීවිතයේදී කරගත් අපරාධයක් බව. දේශපාලනය සඳහා ඔහු වැයකළ කාලය සහ ශ්‍රමය සිනමාවට කළා නම් එයින් තවත් විපුල සේවයක් සිදුවන්නට තිබුණා. ඔහු වැන්නෙකුට කිසිසේත්ම දේශපාලනය සුදුසු වන්නේ නැහැ. සිනමාව තුළ කොතරම් විශිෂ්ට චරිත නිරූපණය කළත් දේශපාලනඥයෙකුට තිබිය යුතු සටකපටකම ඔහුට නොතිබූ නිසා ඔහු එහි අසාර්ථක චරිතයක් වුණා. ඒ වෙනුවට තවත් සිනමාපට කිහිපයකට දායක වන්නට තිබුණා නම් අද ඔහු ගැන කතාබහ කළ හැකි තවත් චරිත ගණනාවක් බිහිවන්නට බොහෝ ඉඩකඩ තිබුණා.‘‘

මෙපණක් නොව සරුංගලය රූගත කිරීම් අතරතුර හොඳ සිනමා තිරපිටපත් හිඟකම ගැන ද ඔවුන් බොහෝ සෙයින් කතාබහකොට ඇත.සිංහල සිනමාවේ එක් පරිච්ඡේදයක් බඳු වූ මේ විශිෂ්ට රංගධරයා පිළිබඳව සුනිල් ආරියරත්නයන් අවසානයේ මෙලෙස පැවැසුවා.

‘‘ඇත්තටම පසුකාලීනව 'පරසතුමල්' සහ 'උතුමාණෙනි' චිත්‍රපට දෙක හැරුණුවිට ඔහුගේ විශිෂ්ට අධ්‍යක්ෂණය සමඟ රංගනයන් දැකගන්නට ලැබුණේම නැති තරම්. එයට හේතුව වුණේත් හොඳ තිරපිටපත්වල හිඟකමයි. ඔහු වානිජ සිනමාවේ අතිශය ජනප්‍රිය චරිත රාශියක් නිරූපණය කළා. නමුත් ඔහුට වැඩි අවධානයක් සහ ආදරයක් තිබුණේ කලාත්මක සිනමාවටයි. ඔහු කලාතුරකින් බිහිවෙන සුවිශේෂීම චරිතයක්. උතුම් මනුෂ්‍යයෙක්. යම් අර්බුදකාරී අවස්ථාවකට සිංහල සිනමාව මුහුණ දී ඇති මොහොතක ඔහු වැන්නෙකුගේ අඩුව එදාටත් වඩා අද දැනෙනවා.

Comments