ඔයාගෙ නෝටි මමීව බලාගන්න මට පුළුවන් | සිළුමිණ

ඔයාගෙ නෝටි මමීව බලාගන්න මට පුළුවන්

පෙරහරක පෙරටුව ගමන් ගන්නා කසකාරයන් මෙන් ම ඒ දැවැන්ත හා මනහර ගේට්ටුව ද උස් සවිමත් තාප්පයද සුවිසල් මැදුරක හා නිවැසියන්ගේ සෞභාග්‍යය සංකේතවත් කරයි. එහෙත් අලංකාර ගෙමිදුල හරහා ඇවිද යන කල පවා ඇය චංචල නොවූවාය. නොසන්සුන්ව සිටියේ ඇගේ ස්වාමි දියණියයි. ඇය සේවය කරන ඔසුසලේ හිමිකාරියයි. සේවිකාවකට මෙන් නොව නැගණියකට මෙන් අමාලිට ආදරයෙන් සලකන කාංචනාය.

“මිස්ට සිරිමාන්න මාව වරදවා තේරුම් ගනීද දන්නෙ නෑ අමාලි.”

අමාලි සිනාමුසුව ඇය අස්වැසුවාය.

“අයියෝ තාත්තා ගැන වද වෙන්න එපා මිස්... මම තාත්තට කියන්නම්.. ඔයා ගිහිං එන්නකෝ... බයවෙන්න එපා.”

කාංචනා හිස සැලුවේ සහනදායි හැඟීමෙනි.

“මල්ලි එන්නෙ අවුරුදු අටකට පස්සෙ අමාලි. මම එයාර්පෝට් යන්නම ඕන.”

“හරි... හරි... ඔයා ගිහිං එන්න. මම ඔයාගෙ මමීව හොඳට බලා ගන්නම්.”

ඇගේ ‍සැහැල්ලු හා කෙළිලොල් හැසිරීම කාංචනාගේ සිත් ගනියි. තෙමසකට ඉහත සේවයට ආ මුල්ම දිනයේ නම් මේ යුවතිය ඇය තුළ බලවත් හැඟීමක් ජනිත නොකළේය. රුව ඔප් නංවන ආලේපන හා විලවුන් ආදියෙන් තොරව ඇය පෙනී සිටි කල “ගොඩේ කෙල්ලක්” යි සිතුණේ නිරායාශයෙනි. එහෙත් අමාලි සේවයෙහි අනලස් වූවාය. ඔසු සොයා එන රෝගීන් වෙත කරුණාව දැක්වූවාය. ඔවුන්ට සාවධානව සවන් දුන් අතර ඔසු භාවිතය පිළිබඳව ඉතා ඉවසීමෙන් උපදෙස් දුන්නාය. නිහඬව නමුදු තියුණු දෙනෙතින් සියල්ල නිරීක්ෂණය කළ කාංචනා සිය මහළු මවගේ තනි නොතනියට ඇය හොඳින්ම සරිලන බව තීරණය කළාය. මෙතෙක් කල් මව රැක බලා ගත් සේවිකාවගේ සමීප ඥාතියෙකු හදිසියේ මිය යෑම නිසා කාංචනා පත්වූයේ බලවත් දුෂ්කර තාවයකටය.

“මොකක්ද මිස් ප්‍රශ්නේ...? ලොකු අවුලක ඉන්නවා වගේ මට නම් පේන්නේ.” යි පළමුව ඒ පිළිබඳව ප්‍රශ්න කළේ ද අමාලි ය.

“අමාලි මූණ බලලා සාත්තර කියන්නත් දන්නවා වගෙයිනෙ...” යි කී කාංචනා හිනාවෙන්නට තැත් කළාය. සාත්තු සේවිකාවක දිනකට දෙකකට ලබාගත නොහැකිවා නොවේ. එහෙත් එවැන්නියක බාරයේ මව තබා යෑමට කාංචනා මැළි වූවාය.

“අමරා මළ ගෙදර ගියායින් මම ලොකු කරද‍රේක වැටු‍ණේ අමාලි. හත්දවසේ දානෙ දෙනකම්ම එන එකකුත් නෑ එයා. මගේ මමීට ලොකු අසනීපයක් නෑ. ඒත් එයා හිතුවක්කාරයි. කියන දේ අහන්නෙම නෑ. එයා එක්ක ඉන්න මටත් අමාරුයි මම දුව වෙලත්. අමරා හරි අගේට ඉන්නවා. අනේ මංදා කොහොම ඉන්නවද කියලා.”

අමාලි සුපුරුදු පියකරු මඳහස සමඟ දෑස හකුලා ගත්තාය.

“මට බැරිද මිස් ඔයාට උදව් කරන්න...?”

කංචනා ඒ ප්‍රශ්නයෙන් තිගැස්සුණාය.

“ඒ කොහොමද?” යි අසන්නාක් මෙන් ඇය අමාලි දෙස බලාගත්වනම සිටියාය.

“නෑ ඉතිං මට පුළුවන්නෙ ඔයාගෙ ඔය ‍නෝටි මමීව බලාගන්න. මොකද මාත් නෝටි නිසා මට පුළුවන් වෙයි කියලා හිතෙනවා..”

දුෂ්කර කර්තව්‍යයක් වෙනුවෙන් මේ යුවතියගේ ප්‍රවේශය කොතරම් සැහැල්ලු හා සරල දැයි නොසිතා ඉන්නට කාංචනා අපොහොසත් වූවාය.

“ඒ කියන්නෙ දවස් ගානක් වුණත්...?”

“ඔයාගෙ ඇත්ගොව්වා එනකම් තමා ඉතිං... මට ප්‍රශ්නයක් නෑ දවස් ගාන... හැබැයි මිස් මට ගෙවන්න ඕන. නෝටි මමී කෙනෙක් බලාගන්න එක ලේසි වැඩක් නෙමේනේ...”

කාංචනා හඬ නඟා හිනැහුණාය. සාමාන්‍යයෙන් ඇය ඔසුසලේදී පමණට වඩා හිනැහෙන්නේ නැත. කතා කරන්නේ ද නැත. සිනාවද කතාවද ඕනෑවට වඩා වැඩි වූ විට ඕනෑම සේවා ස්ථානයක විනය හා කාර්යක්ෂමතාවය පහළ බසින බව ඇය සිතයි.

“ඉස්සෙල්ලා අපි වැඩ කරන්න ඕන. හිනාවෙන්න කතා කරන්න පස්සෙ පුළුවන්...” යි ඇය නිතර කියයි. ඒ කියුම ඇගේ ආදර්ශ පාඨය බවක් හැ‍ඟෙන තරමට ඇය එය අවධාරණය කළාය. එහෙයින් ඇගේ උස් සිනාහඬ අනෙකුත් සේවකයා හා සේවිකාව වික්ෂිප්ත කරවන සුලු විය.

“ඔයාට බලාගන්න තියෙන්නෙ ඇතෙක් අලියෙක් නෙමේ ළමයෝ... මගේ මමීව..”

“මමී හරි ඩැඩී හරි... ඕන මළ යකෙක් එක්ක ෆේස් ටු ෆේස් මම රෙඩි...”

එවරද කාංචනා හඬ නඟා හිනැහුණෙන් සේවකයා හා සේවිකාව ඔවුනොවුන් දෙස බැලුවෝය. ඒ සිනාව නොතකා සිටියේ අමාලි පමණි. එහෙත් ඇගේ දෙතොල’තරද මඳහසක් විය.

“මේක රෙස්ලිං හරි බොක්සිං හරි ගේම් එකක් නෙමේ අමාලි...”

ඒ කියුම අමාලිගේ සිත ගනියි. ඇය සිය ස්වාමි දියණිය දෙස විමසිලිමත් බැල්මක් හෙළුවාය. නීරස හා වියළි, දරදඬු ව්‍යාපාරිකාවක් සේ දිස් වුවද මේ ගැහැනිය වෙත සොඳුරු හදවතක් ඇතැයි ඇයට සිතිණ.

“මල්ලිට එයාර්පෝට් එකේ ඉඳන් ගෙදර එන එක ඒ හැටි දෙයක් නෙමේ අමාලි. ඒත් අවුරුදු අටකට පස්සෙ මේ රටට එන කෙනා වෙනුවෙන් මට ‍එයාර්පෝට් යන්න බැරි නම් මොකක්ද මේ සහෝදරකම...? මොකද මගෙ මමී ඇ‍ඳේ ඉන්න ලෙඩෙක් නෙමේනේ. එයාගෙ මුරණ්ඩුකම ඇරෙන්න එයාට වෙන කිසිම ලෙඩක් නෑ...”

කාංචනා තවදුරටත් පැහැදිලි කළද අමාලිගේ අවධානය දිනා ගත්තේ කලබලයකින් දිව ආ මහලු මිනිසාය. ඔහුගේ ජීවිතයෙන් අඩකට වඩා වැඩි කාලයක් මේ නිවෙස තුළ ගතව තිබෙන බව බැලූ බැල්මට හැඟිණ.

“මොකද පීටර්..? කෝ මමී?” කාංචනා වහා ප්‍රශ්න කළාය.

“මේ... මේ...”

“තටමන්නෙ නැතුව කියනවා... මමී කොහෙද...? මොනවද කරන්නෙ...?”

සිය මහලු මවගේ ස්වභාවය ඉඳුරා දත් කාංචනා කෝපයෙන් ද නොඉවසිල්ලෙන් ද වෙළී ගියාය.

ගෙතුළට අත දිගු කළා මිසක පීටර් කිසිවක් නොපැවසුවේය. කොතෙක් වෑයම් කළ ද ඔහ‍ුගේ වියැළුණු දෙතොල් අතරින් එකදු වචනයක් හෝ නොගිලිහිණි. තටමන, ඇඹරෙන සේවකයා අත් හළ කාංචනා ගෙතුළට දිව්වාය. අමාලි ද ඇය අනුගමනය කළේ උතුරා යන කුහුලිනි.

අලංකාර ආලින්දයෙහි අගනා සෝපාවට හා විසිතුරු බඩු භාණ්ඩවලට වඩා වෙසෙසින් කැපී පෙනුණේ වියපත් ස්ත්‍රියකි. සැහැල්ලු බ්ලවුසයකින් හා දිගු කලිසමකින් ඒ කෙසඟ සිරුරට එක් කළ අමුතු ඔපයක් නැතත් දෑතින් හා හිසින් ගත් පොල්තෙල් පහන් හේතුකොට ගෙන දිස්වූයේ අපූර්ව දසුනකි.

“මයිගෝඩ්...” යි පළමුව අප්‍රමාණ විමතිය පළ කළ කාංචනා දෙවනුව “මමී” යි බෙරිහන් දුන්නාය. උදාරම් බැල්මක් එක්ක නිහඬව සිටියා විනා දැල්වෙන පහන් අතින් හිසින් ගත් ස්ත්‍රිය සිය දියණිය වෙනුවෙන් කරදර නොවූවාය.

“දෙයියනේ ඔළුවෙත් එකක්. අනේ චුට්ට වැරදුණොත් පිච්චෙනවා නේද ඔළුව.... අනේ දැන් මොකද කරන්නේ?”

අමාලි සිය ස්වාමි දියණිය තරම් නොකැලඹුණාය. එහෙත් පළමු දර්ශනයෙන් ම ඈ ඒ මහලු ස්ත්‍රියට වසඟ වූවාය. පළමුවරට තමාට සරිලන ප්‍රතිමල්ලවයෙකු හමුවූ බවට හැඟීමක් උපන. එහෙත් ඒ හාම ඇගේ විකසිත දෑස අබියස අවඥාවෙන් හිනැහුණේ අර අශිෂ්ටයාය; දුගඳ හමන රිළවෙකු උරහිසින් ගත් තරුණයාය. ඔහුගේ ශක්තිමත් හා ස්ථිරසාර බවට අභියෝග කරන්නට තමා සමත් නොවන බව පසක් කරගනිමින් සුසුමක් හෙළුවාය.

“දැක්කා නේද අමාලි... අපේ මමී ඔහොම තමා. මොකක් කරයිද කියලා අපට හිතාගන්න බෑ.. අයියෝ කියන කිසි දෙයක් අහන්නෙ නැති මේ හිතුවක්කාර මනුස්සයා එක්ක අපි මොකද කරන්නෙ දැන්...?”

කංචනා කතා කළේ පහත් හඬිනි. මවට ඇසුණේ නම් බහින් බස්වන බැවිනි. දෑත මත පහන් කෙසේ වෙතත් හිසෙයි පහන ඇය මුළුමනින් ම අවුල් වියවුල් කර දමන්නට සමත් වෙයි.

“මිස් දැං යන්න.. මම බලා ගන්නම්..”

අමාලිගේ සන්සුන් ස්වරයම ඇයට අරුමයකි.

“ඔයා මොනවා කරන්නද අමාලි...? ඔයා කොහොම කිව්වත් මම කොහොමද යන්නෙ දැන්..?”

ඇයට පිළිතුරු දීමට නොවෙහෙසුණු අමාලි පහන් සහිත කාන්තාව වෙත ළං වූවාය.

“හානේ.. හරිම ලස්සනයි... මං කවදාවත් මෙහෙම දෙයක් දැකලා නෑ..”

දැරියකගේ විමතිය එක්ක ප්‍රාදුර්භූත වූ නාඳුනන යුවතිය දෙස යටැසින් බැලුවා විනා මමී කිසිවක් නොපැවසුවාය.

ලබන සතියට‍...

Comments