‘දුර ගමනකට, සැරසෙන සින්දු ලියන දොස්තර | සිළුමිණ

‘දුර ගමනකට, සැරසෙන සින්දු ලියන දොස්තර

වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ ‘දුරගමනක්’ එළිදැක්වීම, 27 වැනිදා සවස 3.30ට කොළඹ පදනම් ආයතනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ,

මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්

නිදි නැති රාත්‍රියක අහස බලන දෑස් ඉබේටම සොයන්නේ සඳයි. සඳ දුටු විට නොයෙක් සිතුවිලි පහළ වේ. කිසිවෙකුටත් කියා ගැනීමට බැරි අපමනක් දේ කියැවෙන්නේ එක්කෝ ගහට කොළටය. නැත්තම් සඳටය. ඒ අප සඳට කියන දේ සඳ කිසිවෙක්ට නොකියාවිය යන විශ්වාසය නිසා ය. මා පමණක් නොව බොහෝ නිර්මාණකරුවෝ තම නිර්මාණවලදි සඳට කියූ රහස් අපමණය. ඔවුන් සඳට කියූ රහස්වලට රසිකයන් ලෙස අප අපමණ පෙම්බැද ඇත.

“දුරින් හිඳන් බලා හිදිමි.......” මේ එවන් නිර්මාණකරුවෙකුගේ අපුරු සිතුවිලි සමුදායක් ගීතයක් වූ අයුරුය. ඒ ගීතය ගයන්නේ ප්‍රවීණ ගායනවේදි සුනිල් එදිරිසංහයන්ය. බොහෝ රසිකයන් ආදරයෙන් වැලඳගත් මේ ගීතය රචනා කළේ නව පරපුරේ ගී පද රචකයෙකි. ඔහු අනෙකෙක් නොව වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩය. මහ ගොඩක් ගීත නොලිව්වද ලියූ ස්වල්පයක් තරම් වූ ගී පද නිමැවුම් නිසා ඔහු වටා අපූරු රසිකයන් පිරිසක් හිදී. වෛද්‍ය හඳපාන්ගොඩ ගීපද රචනයට පිවිසෙන්නේ බාල වියේ සිට තිබූ නිර්මාණශීලිත්වය නිසාය.

කොළඹින් දුරබැහැර රත්තපුර නිවිතිගල වටාපත ගමේ උපන් දුමින්ද බාල වියේදිම කොළඹට පැමිණෙන්නේ ඔහුගේ දෙමාපියන්ට තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට තිබු උනන්දුව නිසාය. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී වැඩිදුර අධ්‍යාපනය හදාරණ ඔහු පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළත් වන්නේය.

“ මම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්තට කලාවට, ගීතයට බොහෝ ප්‍රිය කළා. මම නිතර ගීත ඇසුවා. මා කැමැති ගායකයන්ගේ කැසට්පට එකතු කළා. ගීත රසවින්දා. මම ගීතය පමණක් නොවේ ගීතයේ සංගීතය වගේ ම ගී පද රචකයා පිළිබඳවත් විමසිලිමත් වුණා. මම ඉන්න ගමන් ගීත රචනා කළා. නමුත් ඒවා කාටවත් දෙන්න උනන්දු වුණේ නැහැ. ඔය අත‍ෙර තමයි මට නවරත්න ගමගේ මහතා දැන හඳුනා ගන්න ලැබුණේ. මම ඔහු හඳුනාගෙන බොහෝ කාලයකට පස්සේ ඔහුට දුන්නා මා විසින් ලියපු පද පෙළක් . ඔහු කියවා බලා කිව්වා එය ගීතයකට සුදුසුයි කියලා. පසුව ඔහු විසින් සංගීතවත් කරපු ඒ ගීතය ගායනා කළේ සුනිල් එදිරිසිංහ මහතා.

‘කටේ කිරි සුවඳ නොගියද

හිතේ මහ බරක් නැතුවද

පමා වී එන මහ සුළඟක

පුතු තනිවෙනවා”

වෛද්‍ය හඳපාන්ගොඩ පවසන්නේ ගීපද රචකයකු ලෙස ඔහුගේ ආරම්භයයි.

ඔහුගේ දෙවන ගීතය ගායනා කරනු ලබන්නේ වික්ටර් රත්නායකයන්ය.

“අපි නිතර දෙවේලේ රෝගීන් සමඟ ගැටෙන්නේ. ඔවුන්ගේ දුක වේදනාව අපට දැනෙනවා. රැකියාවෙන් ලැබෙන නිදහස් වෙලාවට හිතේ මැවෙන සිතුවිලි තමයි ගී පද රචනා ලෙස ලියැවෙන්නේ. මා ලියූ ගීත නිර්මාණ ඇත්තේ විස්සක් පමණ. ඒ නිර්මාණ ගැයූවෙ අද ක්ෂේත්‍ර යේ ඉන්න ප්‍රවීණයෝ. එය මට විශාල සතුටක්.

ඒ වගේම රසිකයෝ මගේ ගී ඇගයිම මට විශාල ශක්තියක්. මම කලක් තිසසේ ලියූ ගීත සීඩී පටය හා ඒ ගී පද ලියැවෙන්නට මා ලැබූ අත්දැකීම් පිළිබඳ ලියූ කෘතිය දුර ගමනක් එළිදැක්වීම මේ මාසේ 27 වැනිදා සවස 3.30ට කොළඹ පදනම් ආයතනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.”

වෛද්‍ය දුමින්ද හදපාන්ගොඩ විසින් රචිත ගීත ඇතුළත් සීඩී පටය, සහ පොත එළිදැක්වෙන දා ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් ගීත ගායනා කරනු ලැබේ.

ඉසවි

Comments