කරීනා, සයිෆ් පුතු සමඟ ලන්ඩන් සවාරියක | සිළුමිණ

කරීනා, සයිෆ් පුතු සමඟ ලන්ඩන් සවාරියක

නවක සුරූපී නිළියන් නිරතුරුව ම බොලිවුඩ්පුරයට එක්වූවත් තමන් සතු ජනප්‍රියත්වය දිගින් දිගට ම රඳවා ගන්නට සමත් වූ සුපිරි තාරකාවියක් තමයි, කරීනා කපූර් ඛාන්. වසර 2000 දී ‘රෙෆියුජී’ චිත්‍රපටයේ රංගනයෙන් ඇරඹුණු ඇගේ සිනමා ජීවිතය තවමත් නොනැවතී ඉදිරියට ම ගමන් කරනවා.

මෑතක සිට ඇය රියැලිටි වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවලටත් එක්වී කටයුතු කරනවා. ප්‍රේක්ෂකයින් බහුතරයක් දෙනා ඊට කැමැතියි. රියැලිටි වැඩසටහනක කරීනාත් සිටින බව දැන ගත්තොත් බොහෝ ප්‍රේක්ෂකයන් ඒ වැඩසටහන නරඹන්න අමතක කරන්නේ නැහැ. කරීනාට තිබෙන රසික ප්‍රසාදය කෙතරම්දැයි එයින් ම පැහැදිලි වෙනවා.

චිත්‍රපට රූගත කිරීම් සහ රියැලිටි වැඩසටහන් වෙනුවෙන් කාලය කැපකරන කරීනාට දවස් කිහිපයක නිවාඩුවක් ලැබුණොත් තමන්ගේ ආදරණීය සැමියා, සයිෆ් අලිඛාන් සහ පුංචි පුතු තයිමූර් සමඟ සංචාරයක යෙදෙන්නත් අමතක කරන්නෙ නැහැ. කරීනා රඟන අලුත්ම චිත්‍රපටය වන ‘ඇන්ග්‍රෙසි - මීඩියම්’. කරීනා මේ චිත්‍රපටයේ දිගටම රූගත කිරීම්වල යෙදී සිටින අතරවාරයේදීත් පසුගියදා එවැනි සංචාරයකට එක්වුණා. ලන්ඩන් නුවරට තමයි ඇය තම පුතු තයිමූර් සමඟ පිටත්ව ගියේ. නමුත් මේ ගමනට සයිෆ් එක්වුණේ නැහැ. ඒ, ඔහු ඒ වන විටත් ලන්ඩන් නුවර රැඳී සිටියා. සයිෆ් ලන්ඩන් නුවර සිටියේ අලුත් බොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීම් කිහිපයකට, සහභාගි වීමටයි.

මේ චිත්‍රපටයේ නම, ‘ජවානි ජානේමාන්’. නමුත් මේ ලන්ඩන් සංචාරයෙ විශේෂත්වයක් තියෙනවා. දින කිහිපයකට ලන්ඩන් ආවත්, පැය 12ක පමණ නිවාඩුවක් යළිත් ‘ලබාගත්’ කරීනා ‘ඇන්ග්‍රෙසි මීඩියම්’ චිත්‍රපටයේ තවත් දර්ශන කිහිපයක් රඟපෑමට යළිත් මුම්බායි නුවරට පිටත්ව ගියා. පැය කිහිපයක් මේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක්වූ ඇය, යළිත් ලන්ඩන් බලා පිටත්ව ගියේ පුතු තයිමූර් සහ සැමියා, සයිෆ් තමන් එනතුරු බලා සිටින බව දන්නා නිසයි. ඇය මුම්බායි නුවර රූගත කිරීම් වෙනුවෙන් රැඳී සිට එදිනම රාත්‍රියේ යළිත් ලන්ඩන් යන ගුවන් යානයකට ගොඩ වැදුණා. කරීනා යළි ලන්ඩන් නුවරට එන විට තවත් නෑදෑ පිරිසක් ඇය එනතුරු බලා සිටියා. ඒ තමයි, ඇගේ මව (බබිතා) සහ වැඩිමල් සොයුරිය වන ක‍රිෂ්මා කපූර් සහ දූ දරුවන්. මේ සියලු දෙනා සමඟ ලන්ඩන් වලදී කරීනා ගත කළේ ප්‍රීතිමත් දින කිහිපයක්. මේ දිනවලදී තමයි කරිෂ්මාගේ 45 වැනි උපන් දිනයත් යෙදී තිබුණේ. පසුගිය 25 දාට යෙදී තිබුණු මේ උපන් දිනය වෙනුවෙන් පුංචි සාදයකුත් පැවැත්වුණා. මෙ සාදයට කරීනා, මව බබිතා, කරිස්මාගේ දුව සමෙයිරා, පුතු කියාන්, කරීනාගේ පුතු තයිමූර් සහ සැමියා සයිෆ් අලි ඛාන් එක්වුණේ දැඩි සතුටකින්. මේ උපන් දින සාදයේදී ගන්නා ලද ඡායාරූප කරීනා තම ඉන්ස්ටග්‍රෑම් පිටුවටත් එක් කර තිබුණා.

උපන් දින සාදයට තවත් දෙදෙනෙකු සහභාගි වුණා. ඒ තමයි, මලෙයිකා අරෝරා ඛාන් සහ අර්ජුන් කපූර්.

සයිෆ් - කරීනා යුවළගේ පුත්‍රයාත් මේ දිනවල කාර්ය බහුල වෙලා. අම්මයි තාත්තයි එක්ක චිත්‍රපට රූගත කරන තැන්වලට යන්න වෙනනිසා තමයි පුංචි තයිමූර්ටත් එක තැනකට වෙලා ඉන්න බැරි. සයිෆ් සහ කරීනා චිත්‍රපට රූගත කරන තැන්වලට මේ පුංචි සුරතලා එනවට කවුරුත් කැමැතියි. ඔහුට කිසිවකු තහංචි දමා නැහැ. සමහර වෙලාවට ‍ඒ දර්ශන තල අසලදී අම්මා නැත්නම් තාත්තා එක්ක හුරතල් වෙන හැටි කවුරුත් බලා සිටිනවා. ලන්ඩන් සංචාරයේදී සයිෆ්, ‘ජවානි ජානේමාන්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් රඟපාලා මඳ විවේකයක් ගන්නා අතරතුරදීත් තයිමූර් ඔහු අසළට පැමිණ තමන්ව උරහිසෙහි තබාගෙන ඇවිදින්නැයි ඇවිටිලි කළා. තයිමූර්ව වැලඳගත් සයිෆ්, පුංචි පුතු උරහිසෙහි තබාගෙන විනාඩි කිහිපයක් ඇවිද්දා. ඒ සුන්දර මොහොත වීඩියෝ කළේ වෙන කවුරුවත් නොවෙයි, කරීනායි.

 

Comments