BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

අර්ජුන් - ගාබ්‍රිලා එක වහලක් යට

අර්ජුන් රම්පාල් ගේ රුව සිනමා රසිකයන්ට අමතක වන්නේ නැහැ. පසුගිය මාස කිහිපය තිස්සේ ඔහු ගැන වරින් වර නොයෙක් ආරංචි පැතිරී ගියා. ඒ ආරංචිවල වැඩියෙන්ම සඳහන් වුණේ අර්ජුන්ගේ පෞද්ගලික ජීවිතයේ හැල හැප්පීම් මිස ඔහුගේ රංගන ජී‍විතය ගැන නොවෙයි.

අර්ජුන්ගේ විවාහක බිරිය මෙයර් ජෙසියා. ඇය සිනමා නිළියක්. 1998 දී විවාහ වූ අර්ජුන් සහ මෙයර්ගේ යුග දිවිය නිමාවට පත්වුණේ පසුගිය වසරේදීයි. ඔවුන් දෙදෙනා දියණියන් දෙදෙනකුගේ මවුපියන්. දෙදෙනා දෙපසට වී මාස කිහිපයක් ගත වෙද්දී ‍බොලිවුඩ්පුරයෙන් වාර්තා වුණේ අර්ජුන් දකුණු අප්‍රිකානු සුරූපිනියක වන ගාබ්‍රිලා ඩිමෙට්‍රියඩ්ස් සමඟ සමීප ඇසුරක් පවත්වන බවයි. ඇය නිරූපිකාවක්. අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ ‘මිස් .අයි. පී.එල්. බොලිවුඩ්’ ලෙස එම ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කිරීමටත් ඉදිරිපත් වී තිබෙනවා. ගාබ්‍රිලා සහ අර්ජුන්ගේ පෙම් සබඳකම මේ වන විට බොලිවුඩ්පුරයේ රහසක් නොවන තැනට පත්වෙලා.

පසුගිය සතියේ බොලිවුඩ් මාධ්‍යවල සටහන් වුණේ අර්ජුන් ගාබ්‍රිලා සමඟ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි පාලි හිල් නිවාස සංකීර්ණයේ නිවෙසක පදිංචියට ගිය පුවතකි. අර්ජුන් ගේ විවාහක බිරිය වන මෙයර් කලින් පදිංචිව සිටි නි‍ෙවසෙහිම දියණියන් දෙදෙනා සමඟ සිටිනවාලු. 1998 දී අර්ජුන් සමඟ මෙයර් යුගදිවි ගමන් ඇරැඹු පසුව මෙයර් අයත් වන සොරොරැස්ට්‍රියන් නම් වූ ජන වර්ගයෙන් ඇයට ඉවත් වන්නටත් සිදු වුණා.

 


කන්ගනාගෙන් ‘රන්බීර්ට’ කනේ පහරක්

‘මණිකර්නිකා’ චිත්‍රපටය දැන් තිරගත වන්නේ ලොව පුරා සිනමා රසික පරපුරේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ මෙවැනි සාර්ථකත්වයක් අත් කර ගැනීම නිමිත්තෙන් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු ඊට සම්බන්ධ වූ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් ඉහළ පෙළේ සාදයක් පසුගියදා පැවැත්වුණා. ඊට එක් වූ නළු නිළි පිරිස අතරින් කැපී පෙනුණේ ‘මණිකර්නිකා’ චිත්‍රප‍ටයේ ප්‍රධාන නිළිය වූ කන්ගනා රනවුත් ඇය එහිදී පැවසූ කරුණක් කාගේත් අවධානය දිනා ගත්තා. පසුගිය සති කිහිපය තුළ තමන් ගැන පළවූ එක්තරා පුවතක් අසත්‍ය යැයි පවසමින් ඇය මෙහෙම කීවා.

“මම දේශපාලනයට එනවාය කියලා ආරංචියක් පැතිරී ගිහින් තිබුණ. ඒක බොරුවක්. දේශපාලනයට එන්න මගේ කිසිම අදහසක් නැහැ. ඒ වුණත් රටේ තොටේ දේශපාලනය ගැන ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්න ගැන මම කතා කරනවා. පසුගිය දවසක රන්බීර් නම් කියල තිබුණා එයාගෙ ගෙදරට වතුර, ලයිට් හොඳට ලැබෙනවා නම් මොකටද දේශපාලනේ ගැන කතා කරන්නෙ කියල. සුඛෝපභෝගී නිවෙසක් තියෙන, කාර් බාර් තියෙන අයට එහෙම හිතෙනව ඇති. නමුත් රන්බීර් කරල තියෙන්නෙ වගකීමක් නැති ප්‍රකාශයක්. මගේ ගෙදරට වතුර, ලයිට් ලැබෙනව කියල දේශපාලනේ ගැන කතා නොකර ඉන්න පුළුවන්ද?” කන්ගනා මේ අයුරින් රන්බීර්ව විවේචනය කර තිබුණේ ඔහු විසින් පසුගියදාක රූපවාහිනී වැඩ සටහනකදී දැක් වූ අදහස්වලට එරෙහිවයි. ජනප්‍රිය නළු ජෝන් ඒබ්‍රහම්ද කන්ගනාගේ ප්‍රකාශය අගය කර තිබුණා.

 


මෙරිල් ස්ට්‍රීප්ට අත්තම්මාගේ සම්මානය

ඇකඩම් සම්මානයෙන් පිදුම් ලැබූ සහ විසි වතාවකට වඩා එම සම්මානයන් වෙනුවෙන් නිර්දේශිත වු ප්‍රවීණ නිළි මෙරිල්, ස්ට්‍රිප්, තම ජීවිතයේ පළමු වතාවට ‘අත්තම්මාගේ සම්මානය’ ලබා ගන්නට සමත් වෙලා.

ඒ මාහැඟි අවස්ථාව ඇයට උදාකර දු‍න්නේ ඇගේ දියණිය මෙමී ගමර්. මේ වන විට 35 වැනි වියෙහි පසුවන මෙමී, පසුගිය සතියේ කුලුඳුලේම ලැබුවේ පුතෙක්.

සිය ජීවිතයේ 69 වැනි වියේදී අත්තම්මා කෙනකු වූ මෙරිල් ස්ට්‍රීප් ගේ දූ දරුවන් සතර දෙනාගෙන් වැඩිමල් දියණිය තමයි, මෙමී ගමර්. සුප්‍රකට ‘ටෲ ඩිටෙක්ටිව්’ නම් වූ ටෙලි නාට්‍ය මාලාවේ චරිතයක් රඟන මෙමී, එච්.බී.ඕ. රූපවාහිනී නාළිකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නිළියක්.

ඇගේ සැමියා චිත්‍රපට නිෂ්පාදවරයෙකු වන මෙහර් සේති. මෙමී සහ මෙහර් විවාහ ගිවිස ගත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදියි.

එහෙත්, ඊට පෙර මෙමී, බෙන්ජමින් වෝකර් සමඟ විවාහ වී සිටියා. ඒ, 2011 දීයි. 2013 දී ඔවුන් දෙදෙනා වෙන් වුණා. මෙරිල් ස්ට්‍රීප්ගේ අනෙක් දූ දරුවන් වන්නේ හෙන්රි, ග්‍රේස් සහ ලුයිසා. මෙරිල්ගේ සැමියා ප්‍රවීණ මූර්ති ශිල්පියෙකු වන දොන් ගමර්.

 


‘ගුවන් නියමුවරිය’ට ඊනියා පුරුෂ විරෝධයක්

සුප්‍රකට මාවල් කාටුන් චරිත ඇසුරෙන් නිර්මිත කාන්තා වීර චරිතයක් රැගත් ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටය පසුගිය 8 වැනි දා සිට තිරගත කිරීම ආරම්භ කළා. ඇනා බෝඩන් සහ රයන් ෆ්ලෙක් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන්නී, ඇකඩම් සම්මාන ලාභී ජනප්‍රිය නිළි බ්‍රී ලාසන්. ඇය මේ චිත්‍රපටයේ ඇමරිකානු ගුවන් හමුදා නියමුවරියක ලෙස අපූර්ව රංගනයක යෙදෙනවා. කැරල් ඩැන්වර්ස් නම් වූ මේ චරිතය නිරූපණය කිරීම බ්‍රී ලාසන්ගේ සිනමා ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වූ බවයි හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ.

කැරල් ගේ චරිතය නිරූපණයට පෙර ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලබන්නට බ්‍රී ලාසන්ට සිදු වූණා. ගුවන් යානයක නියමුවරියක ලෙස දැඩි කැපවීමකින් යුතුව වෙහෙසකර පුහුණුවක් තමන් ලැබූ බවයි ඇය පවසන්නේ.

“මේ පුහුණුව ලබන කාලෙදී මට පුරුෂ පක්ෂයේ හුඟ දෙනෙකුගෙන් අකැමැත්ත ප්‍රකාශ වුණා. ඒ අය මට නියමුවරියකගේ වැඩ කටයුතු කියල දෙන්න කැමැති වුණේ නැහැ. නිතරම මාව විවේචනය කළා. බ්‍රී ලාසන් මාධ්‍ය හමුවකදී එලෙස පැවසුවා. මේ අතර ඇපල් සමාගම නිෂ්පාදනය කරන සී.අයි.ඒ. ටෙලි නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතය නිරූපණය කිරීමටත් බ්‍රී ලාසන්ව තෝරා ගෙන ඇතැයි වාර්තා වෙනවා.

Comments