දෙනෝදාහක් පින්වතුන් අතරේ හමු වුණා ප්‍රමිලා | සිළුමිණ

දෙනෝදාහක් පින්වතුන් අතරේ හමු වුණා ප්‍රමිලා

එක්තරා සන්ධ්‍යාවක ඇය මට හමු වූවාය. ඒ හමුවීම කාලයකට පසුවය. ඈ දෑසේ කඳුළු පිරී තිබිණි. ඇයත් මාත් ආගිය තොරතුරු කතා කරන්නට වූයෙමු.

ඇය පාසල් වියේදී බොහෝ ලස්සනය. පන්තියෙන්ම හැඩකාරිය වූ ඇය දෙස කවුරුත් දෙතුන් වරක් බැලූහ. ඇය ඔහු හා යාළු වූයේ උසස් පෙළ පන්තියේ විභාගයට ඔන්න මෙන් කියා තිබියදීය. ඒ ප්‍රේම සම්බන්ධය කෙටි කාලීන වේවි යැයි අප කිසිවෙක් නොසිතූ වෙමු.

ඈ පෙම් කළ ඔහු දුප්පත් පවුලක තරුණයකු විය. නමුදු ඔහු අප පාසලේ අපත් සමඟ එකට අකුරු කළවුන් අතර දක්ෂයා විය.

තාත්තා කම්කරු රස්සාවක් කළේය. අම්මා නිවෙසක කෑම පිසින්නට ගියාය. ඔහුත් නැගණියත් සියලු අඩුපාඩුකම් පසෙක දමා හොඳින් ඉගෙන ගත්හ.

උසස් පෙළ විභාගයෙන් පසු අපි වෙන් වූයෙමු. ඇය ඔහුට පෙම් බැන්දද මාස කිහිපයක් යෑමේදි ඇය දීගෙක ගියාය. ඒ පාසල් වියේ සිට පෙම් බැඳි ඔහු සමඟ නොව තම අවැස්ස මස්සිනා සමඟය.

“ඇයි ඔයා එහෙම තීරණයක් ගත්තේ. අර ළමයා පව් නේද?”

යෙහෙළිය මදෙස බලා සිටියේ කුහුලිනි.

‘‘එයාට සල්ලි නැහැ. ඒ ගොල්ලෝ හරි දුප්පත්... මට දුක් විඳින්න බැහැ. අපේ අම්මලා මේකට කැමැති වෙන්නේ නැහැ.”

ඔහු අතහැර අැවැස්ස මස්සිනා හා විවාහ වීම ගැන ඇය සාධාරණීකරණය කළේ එලෙසිනි. කාලය ගෙවී ගියේය. යෙහෙළිය විසින් දුප්පත් යැයි කියා අත්හළ පෙම්වතා දුකින් තැවී නොසිට දිගු දුරක් ගියේය. ඔහු හොඳින් ඉගෙන ගත්තේය. ඒ නිසාම ඔහුගේ පවුලම ගොඩ ගත්තේය. කාලය ගෙවුණි. ප්‍රථම ප්‍රේමයෙන් පරාජය වූ ඔහු විවාහයක් ගැන නොසිතුවේය.

යෙහෙළිය මා හමුවන්නට ආවේ ඇගේ දුක කියන්නටය.

“මොකෝ මේ දුකෙන්.”

මට හැමදේම නැති වුණා. ජීවක බේබද්දෙක් කියලා දැන ගත්තේ බැන්දට පස්සේ. දරුවොත් එක්ක දුක් විඳිනවා මම දැන්. මට සමන් හමු වුණා. පහුගිය දවසක. අපි කතා කළා අපි ගැන. මම සමන්ට කළේ වැරැද්දක්. එයා මට එයත් එක්ක යන්න කතා කරනවා. දරුවත් බාර ගන්නම් ලු. එකවතාවක් මම සමන්ව අතහැරියා. මට බැහැ ආයෙත් එයාට ළං වෙන්න. ඔයා කියන්න එයාට මම කැමැති නැහැ කියලා.”

ඇය වෙන්ව ගියේ දෑසේ කඳුළු පුරවාගෙනය.

මේ එක් පෙම් කතාවක් පමණි. තවත් මෙවැනි පෙම් කතා බොහෝ ඇත්තේය.

සමන් තවමත් තනිකඩය. ඇය දුකින් ය. ජීවිතයම විඳව විඳවා ජීවත් වන්නීය. කලක් පෙම් කළ පෙම්වතුන් වෙන්ව ගියද, එකිනෙකා අතහැර ගියද දිනෙක මේ පුංචි රටේ කොතැනකදී හෝ හමු වෙති. ඇතැම් විට කතා කරති. ඇතැම් විට තම දුක, සතුට බෙදා ගනිති. ඉහත කී කතාව සැබෑවකි. ඒ සැබෑ කතාව මතක් වූයේ ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහයන් ගයන

“දුහුල් සළුවක නෙතු මුවා කර

වලාකුළු වැව් බැම්ම පාමුල

දෙනෝදාහක් පින්වතුන් අතරේ

හමුවුණා මට හමුවුණා ප්‍රමිලා....” ගීතය ඇසීමෙනි. මේ ගීතය රචනා කරන්නේ සුජිත් ප්‍රසංගය.

නව පරපුරේ අපූරු තනු නිර්මාණ ශිල්පියකු වන දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන් හැඩ වුණ මේ ගීතය පිළිබඳ සුජිත් පවසන්නේ මෙවැනි කතාවකි.

‘‘මේක මගේ යාළුවකුට වුණ දෙයක්. ඔහු යාළු වෙලා හිටිය ගැනු ළමයා වෙනත් කෙනෙක් එක්ක විවාහ වුණා. මගෙ යාළුවා දැනගෙන හිටියේ නැහැ ඔහුගේ පෙම්වතිය ඔහුට පෙම් කරන ගමන් තවත් කෙනකුට ආදරය කළබව. කොහොම වුණත් ඔහු සල්ලි කාරයකු නොවන නිසයි පෙම්වතිය ඔහුව අතහැරියේ. දවසක් මගේ යහළුවාට අර හැර ගිය පෙම්වතිය හමු වෙලා නුවරදි. ඇය පරණ සාරියක් ඇඳගෙන බොහෝම දුක්බර පෙනුමකින් වැඩ ඇරී ගෙදර යන ගමන්. ඔහුත් ඇයත් නුවර වැව රවුමේ වාඩිවෙලා ආගිය තොරතුරු කතා කරලා. දෙදෙනාම විවාහකයි. පැරැණි ආදරය හිත්වලින් මතු වුණත් ඔවුන් ඒ ආදරය හිත් ඇතුළේම තියාගෙන වෙන් වෙලා. මේ අත්දැකීම තමයි මගේ ගීතයේ පදවලට අත්දැකීම වුණේ. ඒත් කාලයක් ගියා මෙය ගීතයක් වෙන්න. නෙළුම් පොකුණේ තිබුණ උත්සවයකදි ජානක වික්‍රමසිංහ සොයුරාත් මමත් එක තැන වාඩිවෙලා හිටියේ. ආගිය තොරතුරු කතා කර කර ඉන්න අතරේ මම මේ ගීතය ගැන ඔහුට කිව්වා. ඔහු ඊට කැමැති වුණා. ඉන් පසුව තමයි දර්ශන සොහොයුරා මේ පදවලට සංගීතය නිර්මාණය කරන්නේ.”

සුජිත් මෙම ගීතය බිහි වුණු ආකාරය පවසන්නේ එලෙසය.

ප්‍රේමය මහ පුදුමය! කෙනකු වෙනුවෙන් බැඳුණු පෙම කාලයක් ගියද සිතින් අමතක කරන්නට බැරිය. එනමුදු ප්‍රේමය නිසා ජීවිත අනතුරේ හෙළාගත් ඇත්තෝ ද බොහෝය. ඉතිහාසය එවැනි කතාවලට බොහෝ උදාහරණ සපයයි. දස්කොන් ප්‍රමීලා එවන් යුවළකි. නමුදු දස්කොන් ප්‍රමිලා සිහිපත් කරමින් සුජිත් මෙහිදී ප්‍රමිලා යන නාමය යොදා ගන්නේ සං‍කේතයක් ලෙසය.

අදහස්