ඉක්ම­නින් ජන­ප්‍රිය වෙලා ඉක්ම­නින් බැස යන්න අද­හ­සක් නැහැ | සිළුමිණ

ඉක්ම­නින් ජන­ප්‍රිය වෙලා ඉක්ම­නින් බැස යන්න අද­හ­සක් නැහැ

ඔබ ඇතැම් විට ඒ ගීතය අසා තිබුණද ඒ ගීතය ගයන්නේ කවුරුන්ද යන්න නොදන්නවා ඇති. අසූව දශකයේ මහනුවර අඹතැන්න ප්‍රදේශයෙන් කලා ලොවට පිවිසෙන සම්පත් ශ්‍රී සෙනවිරත්න නම් වූ කලාකරුවා ගායනයට පමණක් නොව රංගනයටද එක ලෙස දක්ෂතා දක්වමින් මේ වන විට සිය දිවියට වසර හැටකුත්, කලා දිවියට වසර තිස්තුනක් ගතකරමින් සිටී. තම කලා හැකියාවන් සියල්ල කැටි කරමින් ඔහු අද (13) සුන්දර රාත්‍රිය නමින් ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වෙයි. සුන්දර රාත්‍රිය ප්‍රසංගය ගැන සම්පත් සමඟ කළ කතා බහයි මේ.

 

සුවහස් ලෝ දා කම්පිත වූ දා

නුඹේ සිරුරේ ලේ කිරට හැරෙනදා

බුදුවරු රජවරු පඬිවරු විරුවන්

ඒ කිරි කඳුළේ උපදින්නේ

අම්මේ ඔබේ ඒ කිරි කඳුළේ මහිමේ

 

• සම්පත් ශ්‍රී සෙනවිරත්න කියන්නේ කවුරුද කියලා හඳුන්වා දෙමින් කතාබහ පටන් ගනිමු?

මහනුවර කටුගස්තොට අඹැත්න කියන ගමේ ඉපදිලා අඹතැන්න ධර්ම රාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තමයි අසූව දශකයේ කලාවට පිවිසියේ. හැබැයි අපි පරම්පරාවෙන් කලාව රැගෙන ආව අය. මගේ තාත්තා, සීයා ප්‍රසිද්ධ කලාකරුවෝ. මම හිතන්නේ ඒ ආභාෂය තමයි මටත් ලැබිලා තිබෙන්නේ.

• මුලින්ම ඔබ කුමන කලා ක්ෂේත්‍රයටද පිවිසෙන්නේ?

ගායනය සහ රංගනය කියන ක්ෂේත්‍ර දෙකටම මම එක් වරයි පැමිණියේ. මෙහිදී එක් දෙයක් විශේෂයෙන්ම කිව යුතුයි. ඒ තමයි මම හින්දි ගීත ගායනයටයි දැඩි කැමැත්තක් දැක්කුවේ.

• ඒ කියන්නේ ඔබ හින්දි භාෂාව දැනගෙන සිටියාද?

ඇත්තටම මට ව්‍යක්ත ලෙස හින්දි භාෂාව කතා කරන්න බැහැ. ඒත් යම් අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මම හිතන්නේ එය මට උපතින්නම ආපු හැකියාවක්.

• ඒ කාලයේ ඔබ ඒක පුද්ගල ප්‍රසංග පටන් ගන්නවා?

මම හිතුණා මගේ හැකියාව ඉදිරියට ගෙන යන්න ඒක පුද්ගල ප්‍රසංග පැවැත්විය යුතුයි කියලා. ඒ අනුව ‘සූපර් ජේඩ්ස්‘ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා ‘සුන්දර රාත්‍රිය‘ නමින් ඒක පුද්ගල ප්‍රසංග පනස් එකක් පවත් වන්න පුළුවන්කම ලැබුණා.

• එතකොට ඔබේ පළමු ටෙලි නාට්‍යය ‘පහන් තරුව‘ ?

‘පහන් තරුව‘ ටෙලි නාට්‍යයෙන් තමයි නාට්‍ය කලාව ආරම්භ කළේ. මේ වෙන කොට නාට්‍ය සියයක විවිධ චරිත රඟපා තිබෙනවා. ඒ අතරින් උතුම් පැතුම්, මතු සම්බන්ධයි, සිඳු, හිරු තනිවෙලා වෙලා වගේ ජනප්‍රිය නාට්‍යවල රඟපෑවා. මේ දවස්වල රූගත කරන ‘සඳ එළිය‘ කියන ටෙලි නාට්‍යය තමයි මගේ සියවැන්න.

• වේදිකා නාට්‍ය ගැනත් සඳහන් කළොත්?

‘වැනීසියේ වෙළෙන්දා‘ගෙන් තමයි වේදිකා නාට්‍ය ගමන ආරම්භ කළේ. ඒ අනුව වේදිකා නාට්‍ය 18කට සම්බන්ධ වෙලා තිබෙනවා.

• වේදිකා, ටෙලි නාට්‍යවලට දායක වුණ ඔබ සිනමාවට එක් වුණේ නැද්ද?

සිනමාවටත් සම්බන්ධ වුණා. මේ වෙනකොට චිත්‍රපට 30ක පමණ වැඩ කරලා තිබෙනවා. මේ දිනවල තිරගත වෙන ‘යක්ෂාදේශය‘ චිත්‍රපටයේ රංගනයේ නියැළෙනවා.

• දැන් ඔබ අලුත් වැඩකට අතගහන්න සූදානම් කියලා ආරංචියක් ලැබුණා?

ඊයේට (ජනවාරි 12 වැනිදාට) මගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වුණා. කලා ජීවිතයට අවුරුදු තිස් තුනයි. චිත්‍රපට තිහයි. ටෙලි නාට්‍ය සියයයි. මේ සියල්ල සැමරීම අරමුණු කරගෙන අද (13) සුන්දර රාත්‍රිය ප්‍රසංගය පවත්වනවා. ආරාධිත ප්‍රසංගයක් විදියට කටුබැද්ද ටැලන්ට් ඒෂියා කලාගාරයේදී මෙය ආරම්භ වන්නේ සවස 7.00ට. මෙහි ආරාධිතයන් ලෙස මහාචාර්යවරුන් වන රෝහණ පී. ප්‍රනාන්දු, සාගර කරුණාතිලක මහත්වරුන් සහභාගි වෙනවා. ඒ වගේම ආරාධිත ගායකයන් ලෙස එඩ්වඩ් ජයකොඩි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, නාමල් උඩුගම යන ශිල්පීන් ගායනයෙන් එකතු වෙනවා. මෙහි විශේෂත්වය මගේ එකම පුතා ගීත් සෙනවිරත්න තමයි සංගීතය මෙහෙයවන්නේ.

• මීට සමඟාමීව ආගමික වතාවත්වලත් යෙදෙනව නේද,

ජනවාරි 12, ඒ කියන්නේ උපන්දිනේ දවසේ උදේ වරුවේ මොරටුව බෝධි පරිශ්‍රයේදී කිරි ගවයෙක් නිදහස් කරනවා. නෙළුම් මල් පූජාවක් පවත්එවනවා.

• ඔබ කලාවට පැමිණි කාලයේ සහ අද කලාව අතර ඇති වී තිබෙන වෙනස්කම් මොනවද?

අපි අසූව දශකයේ කලාවට එද්දි ගොඩක් දුෂ්කරතා තිබුණා. එක ට්‍රැක් එකකයි ගායන කරන්න තිබුණේ. අද එහෙම නැහැ. ට්‍රැක් ඕන තරම් තිබෙනවා. එහෙම බැලුවම සල්ලි තිබෙන ඕන කෙනකුට ගායකයෙක් වෙන්න පුළුවන්. ඒත් රඳා පැවැත්මක් නැහැ. අපේ වකවානුවේ කලාවට ආව අය අදත් ඉන්නවා. හොඳ නමක් තිබෙනවා. ඒත් අද එන අය කී දවසද ඉන්නේ. ඒ අයගේ නම් මතකද? ඒකයි මම කියන්නේ එන්න පුළුවන් ඒත් රැඳීම තමයි ප්‍රශ්නය වෙන්නේ.

• කලාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ?

කලාව ගැන කිසිම කලකිරීමක් නැහැ. එහෙත් මේ යන රටාව ගැන යම් පසුතැවිල්ලක් තිබෙනවා. අපි නිර්මාණ ප්‍රචාරය කරගන්න මාධ්‍ය ආයතනවලට මුදල් දෙන්න සිදුවෙන තත්ත්වයක් තිබෙන්නේ. ඇතැම් ගීත අරන් ගියාම කියනවා අද කාලේ අවශ්‍ය ආදර ගීත කියලා. මේ වගේ තත්ත්වයක් තමයි ඇති වෙලා තිබෙන්නේ. නිර්මාණයේ ගුණාත්මකභාවයට වඩා මුදල් ඉපයිය හැකිද යන කාරණය තමයි මුලට ඇවිත් බෙන්නේ. ඒ නිසා තමයි ඇතැම් ප්‍රවීණ කලාකරුවෝ පවා නිහඬව සිටින්නේ.

• අනාගත බලාපොරොත්තු මොනවද?

ඉක්මනින් ජනප්‍රිය වෙලා ඉක්මනින් බැස යන්න නොවෙයි. හැමදාම එකවගේ ක්ෂේත්‍රයේ රැඳීමයි බලාපොරොත්තුව. 

Comments