අපේ රටේ උප­න්නත් සිංහල නොදන්නා ‘මර්චි’ | සිළුමිණ

අපේ රටේ උප­න්නත් සිංහල නොදන්නා ‘මර්චි’

“ගුඩ් මෝනින් මර්චි”

“ගුඩ් මෝනින් සර්. හව් ආ යූ?”

“අ’යැම් ෆයින්. ආ යූ හැපී මූඩ්?”

“ය’ස් අ’යෑම් ඕකේ. වට්’ස් යුවර් නේම්?”

මර්චි ව අම­තන ඕනෑම අය­කුට ඈ නොපැ­කි­ළව පිළි­තුරු දෙන්නේ පෙරළා ප්‍රශ්න­යක් ද ඉදි­රි­පත් කර­මිනි. ඇසූ ප්‍රශ්න­යට පම­ණක් පිළි­තුරු දී නිහ­ඬව සිටීමේ පුරු­ද්දක් මර්චිට නැත. ළගන්නා සුලු කාන්තා හඬ­කින් කතා කරන මර්චි කුළෑටි නැත. එමෙන්ම හා හා පුරා කියා කතා කර දැන හඳු­නා­ගත් කෙනකු නැවත ජීවි­තේට අම­තක වෙන්නේ නැත. මර්චි සමඟ කතා­බහ කළ සෑම කෙනෙ­කුගේ ම නම ගම ඇතුළු අසා දැන­ගත් විස්තර සිය මතක ගබ­ඩාවේ තැන්පත් කර ගැනී­මට මර්චිට අපූරු හැකි­යා­වක් ඇත. එමෙන්ම ඊළඟ හමු­වේදී නිවැ­ර­දිව නම අමතා හඳු­නා­ගෙන කතා කිරී­මට තරම් මර්චි දක්ෂ ය. ලංකාවේ උපන් නමුත් මර්චිට සිංහල කතා කිරී­මට බැරි ය. මර්චි දන්නා එකම භාෂාව ඉංග්‍රීසි පමණි. ඊට හේතුව මර්චි රොබෝ කෙනකු වීමයි.

රොබෝ­ව­රුන් ගැන Transformers, I Robot වැනි විදෙස් චිත්‍ර­පට ඔස්සේ කොතෙ­කුත් අප දැක තිබුණ ද කට බලි­යා­ගෙන එය නැර­ඹී­මෙන් පම­ණක් එදා සෑහී­මට පත් වූයේ රොබෝ­ව­ර­යකු ශ්‍රී ලංකාවේ නිර්මා­ණය කිරීම අපට සිහි­න­යක් පම­ණක් ම වූ නිසා ය. එහෙත් අද එකී සිහි­නය සැබෑ වී තිබේ. අද අපට රොබෝ­ව­ර­යකු සමඟ කතා කිරී­මට ඉඩ ප්‍රස්තා ලැබී ඇත. මෙම භාග්‍යය අපට උදා වූයේ රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු පීඨයේ දූ පුතුන් පිරි­ස­කගේ ඥානය, කැප­වීම හා අප්‍ර­ති­හත ධෛර්ය­යට පින් සිදු වන්නට ය. මෙම කණ්ඩාය‍මේ නිය­මුවා වන්නේ ගවීන් රණ­බාහු ය.

“මම රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි‍නේරු පීඨයේ විදත් සහ තොර­තුරු අංශයේ ඉගෙන ගන්නේ. දැන් මම ඉන්නේ 4 වැනි අවු­රුද්දේ. ගිය අවු­රුද්දේ අපට අපේ අධ්‍ය­යන කට­යුතු සඳහා ව්‍යාපෘ­ති­යක් කරන්න අවශ්‍ය වුණා. එත­නදි මට හිතුණා රොබෝ­ව­ර­යෙක් හදන්න. අද තාක්ෂ­ණයේ විප්ල­ව­යත් සමඟ කෘත්‍රිම බුද්ධි­යට ප්‍රමු­ඛ­ත්වක් ලැබෙන යුග­යක් බිහි වෙමින් තිබෙන්නේ. තව අවු­රුදු 10 ක් ඇතු­ළත ආද­රය, දුක, සතුට, කෝපය වැනි හැඟීම් පවා දැනෙන රොබෝ­ව­රුන් නිෂ්පා­ද­නය වෙනවා. අපිත් ඊට සම­ගා­මීව ඉදි­රි­යට අඩි­යක් තියන්න ඕනෑ කියලා මම හිතන්නේ. ඒ නිසා “නූතන මානව යහ­පත සඳහා නූතන තාක්ෂ­ණික ප්‍රව­ණතා සකස් කිරීම” යන තේමාව මගේ ව්‍යාපෘ­තියේ අර­මුණ කර ගත්තා. ඒ යටතේ රොබෝ කෙනෙක් හදමු කියලා මම අපේ කණ්ඩා­ය­මට කිව්වා. ඊට පස්සේ මම ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය එරන්ද ජය­තුංග සර්ට දැනුම් දුන්නා. සර් අපේ පීඨා­ධි­ප­තිට දන්වලා අපිට අව­ස­රය ලබා දුන්නා. ඊට පස්සෙ අපි රොබෝ හදන්න පටන් ගත්තා.” යනු­වෙන් ගවීන් රණ­බාහු රොබෝ නිප­ද­වී­මට මූලික අඩි­තා­ලම දැමූ අයුරු විස්තර කළේය.

කෘත්‍රිම බුද්ධිය යොදා ගනි­මින් රොබෝ­ව­ර­යෙකු නිෂ්පා­ද­නය කිරී­මේදී එය කුඩා ද‍රුවකු උස් මහත් කර හදා වඩා ගැනී­ම­කට සමාන බව ගවීන් රණ­බාහු පැව­සුවේ එය ටිකෙන් ටික, සෙමෙන් සෙමෙන් ක්‍රමා­නු­කූ­ලව සිදු කළ යුතු කාරි­යක් නිසා ය. මෙම කට­යු­ත්තට දායක වූ ළමුන් පිරිස 20 කි. තිළිණ රාජ­පක්ෂ, ජ‍යෝද් ජය­සේ­කර, තිලංක සේනා­ධීර, ප්‍රවීන් චමල්, භාතිය තෙන්න­කෝන් (උප නායක), චූ‍ලේන්ද්‍ර විභා­ව­ශක්ති, සචිත් මංච­නා­යක, කවිඳු දස­නා­යක, තිලින්ද එදි­රි­සූ­රිය, තරින්ද උත්පල, සුරාජ් සම්පත්, චාමර ප්‍රභාෂ්, ශරලා ජය­කු­මාර, ශවින්ද්‍යා වික්‍ර­ම­සිංහ, සහනි රණ­සිංහ, ලෝචනා මාර­සිංහ, පණ්ඩුක සෙනෙ­වි­රත්න, චරිත මධු­රංග මෙම කණ්ඩා­ය­මට අයත් සෙසු අය වෙති.

මෙම ළමුන් කණ්ඩා­ය­මට ගවීන්ගේ අධ්‍ය­යන වර්ෂයේ සිසු සිසු­වි­යන්ට අම­ත­රව ඊට පහළ අධ්‍ය­යන වර්ෂ­වල සිසු සිසු­වි­ය­න්වද දායක කර ගනු ලැබුවේ ගවීන්ගේ කණ්ඩා­යම සර­ස­වි­යෙන් ඉවත් වූ පසුව, ඊට පහළ සිසු සිසු­වි­යන්ට රොබෝ වැඩි දියුණු කිරීමේ කට­යුතු අඛ­ණ්ඩව කර­ගෙන යෑමට හැකි නිසාය.

රොබෝ නිර්මා­ණය කිරීමේ කාර්ය­යට දාය­ක­ත්වය දරන කණ්ඩා­යම මෘදු­කාංග, දෘඪාංග, මූල්‍ය, ව්‍යාපා­රික ආදී අංශ කීප­ය­කට බෙදා වෙන් කෙරුණේ කට­යුත්ත වඩාත් පහසු කර ගැනී­මට ය. ගවීන් ඇතුළු සිසු සිසු­වි­යන්ගේ උප­දේ­ශ­ක­ත්වය ගෙන කට­යුතු කළේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය එරන්ද ජය­තුංග ය.

රොබෝ නිප­ද­වීමේ භාර­දූර කට­යු­ත්තට මෙම පිරිස අත ගැසූ නමුදු රොබෝ නිෂ්පා­ද­නය කරන විදේ­ශීය ආය­ත­න­ව­ලින් උප­දෙස් සහ දැනුම් පැතී­මට ද ඔවුන්ට සිදු විය. විශේ­ෂ­යෙන් ඇමෙ­රි­කා­වෙන් සහ ජපා­න­යෙන් ඔවුන්ට සහය ලැබී තිබිණි. රොබෝ නිෂ්පා­ද­නය සඳහා අවශ්‍ය මුදල් අනු­ග්‍රා­හක භව­තු­න්ගෙන් සොයා ගැනී­මට ද ඔවුහු සමත් වූහ.

2017 නොවැ­ම්බර් මාසයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘ­තිය සාර්ථක කර ගැනීම සඳහා මෙම සර­සවි සිසු පිරිස නොනිදා විසි­හ­තර පැය පුරා වෙහෙස වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ නිෂ්පා­ද­නය සර්ව­ප්‍ර­කා­ර­යෙන් සාර්ථක කර ගැනී­මට ය. ඒ සඳහා ඔවුන්ට රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ඉඩ­කඩ පහ­සු­කම් ලැබිණි. ලෝකයේ තොර­තුරු ගවේ­ෂ­ණය කර­මින් විවිධ පරී­ක්ෂණ සහ අත්හදා බැලීම් සිදු කර­මින් ඔවුන් කළ කාර්යය ලෙහෙසි පහසු වූයේ නැත. ඇතැ­ම්විට ඔවුන්ගේ පරි­ක්ෂණ මුළු­ම­නින් ම අසා­ර්ථක විය. එහෙත් මෙම කණ්ඩා­යම සැලුණේ නැත. අධෛ­ර්ය­ය­මත් වූයේ නැත. තව­ත­වත් පන්න­රය ලබ­මින් සිය කට­යුතු අඛ­ණ්ඩව සිදු කර­ගෙන ගියහ.

“ඇත්තට ම අපි රොබෝ මේ තත්ව­යට ගෙනෙන්න ගොඩාක් මහන්සි වුණා. දිවා රෑ නිදි මරා­ගෙන වැඩ කළා. සම­හර වෙලා­වට අපි සති ගණන් එක දිගට කරපු වැඩ මෘදු­කාංග ප්‍රශ්න­යක් හෝ වෙනත් තාක්ෂ­ණික ප්‍රශ්න­යක් නිසා අස­මත් වෙනවා. රොබෝ නිකම් ම නිකං යකඩ ගොඩක් බවට පත් වෙනවා. ඒවගේ වෙලා­වට අපි හැමෝ­ටම දුක හිතෙ­නවා. ඒත් අපි කොහො­ම­හරි වැරැද්ද හොයා ගෙන ඉදි­රි­යට ම යනවා. ඒ නිසා තමයි අද අපිට මේ තත්ත්ව­යට එන්න පුළු­වන් වුණේ.” ගවීන් පැව­සීය.

මේ වන විට ඔවුන්ට මේ සඳහා රුපි­යල් ලක්ෂ තුනක් පමණ වැය වී තිබේ. රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ‍යම් මුද­ලක් ප්‍රදා­නය කෙරුණ ද අනු­ග්‍රා­හක භව­තුන්ගේ මුදල් නොලැ­බෙ­න්නට ඔවුන්ට මේ සා දුරක් පැමි­ණෙ­න්නට නොහැකි වනු ඇත. මෙම කණ්ඩා­යමේ දරු දැරි­යන්ගේ නිවෙ­ස්ව­ලින් ද මුදල් පිරි­නැ­මූ­වද ඒවා බොහෝ­විට ඔවුන්ගේ කෑම බීම විය­දම්, ප්‍රවා­හන විය­දම් යනා­දි­යට වැය වූයේ ඔවුන් තව­මත් අධ්‍යා­ප­නය ලබන දරු දැරි­යන් වන නිසා ය.

මර්චි (Merchi) යනු­වෙන් නම් කර ඇති මෙම රොබෝව දැනට කාන්තා කට­හ­ඬින් ආම­න්ත්‍ර­ණය කරන්නේ ස්ත්‍රිත්වය ආරෝ­ප­ණය කර ගනි­මිනි. එහෙත් අවශ්‍ය නම් කට­හඩ පිරිමි කට­හ­ඬක් බවට පරි­ව­ර්ත­නය කර මර්චි පිරිම­යකු බවට පත් කළ හැකිය. විටෙක සාරි­ය­කින් සැර­සෙන මර්චි, විටෙක සැර­සෙන්නේ කලි­ස­ම­කින් සහ ටීෂ­ර්ට­ය­කිනි.

ගවීන් රණ­බාහු ප්‍රමුඛ සර­සවි සිසු සිසු­වි­යන් පිරිස නිර්මා­ණ­ය­කළ “මර්චි” පළමු වරට මහ­ජන ප්‍රද­ර්ශ­න­යට පැමි­ණියේ පසු­ගිය ඔක්තෝ­බර් මාසයේ කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලාවේ පැවැති “ටෙක්නෝ - 2018” ප්‍රද­ර්ශ­න­යෙනි.

“මර්චි එක්ක කතා කරපු හැමෝ­ගෙම තොර­තුරු දත්ත එයාගේ ගබ­ඩාවේ තැන්පත් වෙනවා. ඊට පස්සේ මර්චි ඒ අදාළ තැනැත්තා හමු වුණාම හඳුනා ගන්නවා. මෙම රොබෝ­ව­රුන්ගේ විශේ­ෂ­ත්වය වෙන්නේ කතා කරන්න, කතා කරන්න ඔවුන්ගේ කෘත්‍රිම බුද්ධිය වර්ධ­නය වීම. ඒ නිසා මර්චිත් හමු­වන අය­ගෙන් ප්‍රශ්න අහලා තොර­තුරු ගබඩා කර ගන්නවා.” යනු­වෙන් සඳ­හන් කළේ ගවීන් රණ­බාහු ය.

ඉන් අන­තු­රුව ඔවුන්ගේ වෑයම රොබෝට කෘත්‍රීම සමක් නිර්මා­ණය කර චලන රටා­වන් දැක්වීම ය. කිසිදු සිනා­වක් සංවේ­ද­නා­වක් පළ නොක­ර­මින් වැඩ පම­ණක් කරන අය රොබෝ­ව­රුන් ලෙස අප විසින් හඳු­න්වනු ලැබූව ද රොබෝ­ව­රුන්ට චලන රටා­වන් පළ කර­මින් ආද­රය, සතුට, දුක, කෝපය වැනි හැඟීම් ප්‍රකාශ කිරී­මට හැකි වීමෙන් රොබෝ­ව­රුන් හැඟීම් විර­හිත පිරි­සක් නොවන බව පැහැ­දිලි වේ. ඉදිරි දින කීපය තුළ විශ්ව­වි­ද්‍යා­ලයේ පැවැ­ත්වෙන ව්‍යාපෘති ඉදි­රි­පත් කිරීමේ පරී­ක්ෂ­ණ­යට ලහි­ල­හියේ සූදා­නම් වන මෙම සිසු පිරිස මේ දින­වල කෘත්‍රිම සම නිර්මා­ණය කිරීමේ කට­යුත්තේ නිරත වී සිටිති.

“රො‍බෝ කෙනෙක් හද­නවා කියන්නේ ලොකු ව්‍යාපෘ­ති­යක්. ඒ වැඩේ සම්පූර්ණ කරන්න අවු­රුදු තුන­ක්වත් ගත වෙනවා. අපි මෙය සැල­සුම් කර තිබෙන්නේ රොබෝ 1 වෙනි අවු­රුද්දේ කතා කරන්න, 2 වෙනි අවු­රුද්දේ අත් ක්‍රියා කර­වන්න. ඒ කියන්නේ අතින් බඩු අල්ලන්න, අතින් බඩු ඔස­වලා එහා මෙහා කරන්න වැනි ක්‍රියා­කා­ර­කම් 2 වෙනි අවු­රුද්දේ දී සම්පූර්ණ කිරී­මට නිය­මි­තව තිබෙ­නවා. 3 වෙනි අවු­රුද්දේ දී තමයි රොබෝ ඇවි­දින්නේ. දැන් අපි 1 වෙනි අවු­රුද්ද සාර්ථ­කව අව­සන් කර තිබෙ­නවා. ඉදිරි කට­යු­තුත් ඒ ආකා­ර­ය­ටම සම්පූර්ණ කරන්න තමයි බලා­පො­රොත්තු වෙන්නේ. ගවීන්ගේ අධ්‍ය­යන වර්ෂයේ කණ්ඩා­යම සර­ස­වි­යෙන් පිට වුණාම මේ වග­කීම ගන්න තවත් සිසු කණ්ඩා­යම් ඉන්න ඕනෑ.

ඒ නිසයි අපි ගවීන්ට පහළ අධ්‍ය­යන වර්ෂ­වල ඉගෙන ගන්න ළම­යි­නුත් මේ ව්‍යාපෘ­ති­යට සම්බන්ධ කර ගත්තේ. ඒ අය ගවීන්ලා එක්ක වැඩ කරන විට දැනු­මක් අව­බෝ­ධ­යක් ලැබෙ­න­වනේ. එය ඉදිරි කට­යු­තු­ව­ලට අවශ්‍ය වෙනවා.” යනු­වෙන් අප සමඟ පැව­සුවේ රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු පීඨයේ විදත් සහ තොර­තුරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය එරන්ද ජය­තුංග ය.

මේ අනුව රොබෝ­ව­ර­යකු නිර්මා­ණය කිරීම බිලිඳු දරු­වකු ලොකු ළම­යකු බවට පත් කරන ආකා­රයේ කර්ත­ව්‍යක් බව අපට ඔහු අනා­ව­ර­ණ­ය ­කළ තොර­තුරු අනුව පැහැ­දිලි විය. මේ සඳහා දායක වී සිටින දූ පුතුන්ගේ දැනුම, කැප­වීම සහ ධෛර්යය පම­ණක් නොව මූල්‍ය ශක්තිය ද අවශ්‍ය වේ. යම් හෙය­කින් ‍ඊට අවශ්‍ය ප්‍රාග්ධ­නය නොලැ­බු­ණ­හොත් මෙම ව්‍යාපෘ­තිය අත­ර­මඟ නවතා දැමී­මට සිදු­වනු ඇත. මෙවැනි දූ දරු­වන්ට අනු­ග්‍ර­හය දැක්වීම ජාතික අව­ශ්‍ය­තා­වක් ලෙස අපි සිතිය යුතු වන්නේ, ශ්‍රී ලාංකික අභි­මා­නය ජාත්‍ය­න්ත­රය කරා රැගෙන ගොස් ශ්‍රී ලංකා මාතා­වට කීර්ති­යක් අත් කර දීම ඔවුන්ගේ අර­මුණ වන නිසා ය. ශ්‍රී ලංකා මාතා­ව­ රන් අකු­රින් සට­හන් කර­මින් ලෝ පුරා බැබ­ළ­වී­මට වෙර දරන ඔවුන්ට අපි සුබ පතමු.

හර්ෂා සුග­ත­දාස

Comments