පුන්සි­සිය දුටු මොහො­තක ලියැ­වුණු අපූරු ගීත­යක් | සිළුමිණ

පුන්සි­සිය දුටු මොහො­තක ලියැ­වුණු අපූරු ගීත­යක්

දුරින් ඉඳන් බලා හිඳිමි
නුඹ රූ සිරි රෑ අහසේ
වලා කුළක් මගෙන් මිදී
ඈතට යනවා

හෙමින් හෙමින් අන­න්තයට
පාවී යනවා...

සීතල හිම කඳු අතරේ
හැපී ගැටී තුරු සිරසේ
යළි එන­ තුරු නිදි නැති නෙත
බලා ඉන්නවා

මටත් හොරා ඔබ හෙමි­හිට
සැඟවී යනවා....

රන් තරු මුතු­වැල් නිදනා
ගන­ඳුරු රෑ නිසො­ල්මනේ
වියළි ලවන් දිය බිඳු­වක්
පතා ඉන්නවා

මම තාමත් හීනෙන් සඳ
සිසිල සොය­නවා...

ගාය­නය - සුනිල් එදි­රි­සිංහ
සංගී­තය - දර්ශන වික්‍ර­ම­තුංග
පද රච­නය - වෛද්‍ය දුමින්ද හඳ­පා­න්ගොඩ

මුහුණු පොතට, අන්තර්ජාලයට යොමු වූ ඔබේ ඇස් දැන් ඉස්සර මෙන් සඳ, තරු අහස නොබලනවාට සැකයක් නැත. එහෙත් බාල වියේ රැයක් දවාලක් නැතිව ඉරහඳ තරු වලාකුළු රටා සෙවූ මගේ ඇස් අද ද ඉඳහිට හැන්දෑ වරුවක, රාත්‍රියක අහස දෙසට යොමුවෙයි. එහිදී හඳ ලස්සනට පෑයු දිනයක් නම් ඒ සිරිය තනියෙන් නොවිද යහළු යෙහෙළියන් කිහිප දෙනකුටම කෙටි පණිවිඩ ද යවමින් එයට හවුල්කර ගනිමි. “දැන් අහස බලන්න ” ඒ කෙටි පණිවිඩය ලබන සහෝදර සමාගමේ යාවජීව සාමාජීකයෝ කිහිප දෙනෙකි.

ප්‍රභා, අරුණි, චතුර අමරසිංහ කෙටි පණිවිඩය ලද සැණින් අහසේ , සඳේ අපූරුව බලා කවි පදයක් ලියා එවති. එය හරි අපූරුය. නිර්මාණකරුවෝ කියා ගන්නට බැරි බොහෝ දුක් කතන්දර කියා ඇත්තේ සඳටය, හිස් අහසටය. කවියෝ ගී පද රචකයෝ තම රහස් සඟවා ඇත්තේ සඳ, තරු, මල්, හිමකඳු, ගංගා, ඇළ ,දොළ, මහ සයුර මතය.

රෑ අහසත්, සඳත් සිහිපත් වූයේ පසු ගිය දිනෙක යූ ටියුබයෙන් අසන්නට ලෑබූ ගීතයක් ගැන කියන්නටය. ගීතය මුලින්ම ඇසූ මොහොතේ හිත නිමේෂයකට නතර වූ සේය. ගී පද සරලය. එහි සංගීතය ගීතයේ වචනවලට නැවුම් බවක්, ගැඹුරක් එක්කර ඇත්තේය.

සුනිල් එදිරිසිංහයන්ගේ ආදරණීය හඬ ගීතයේ යටිපෙළ අරුත වඩ වඩාත් තීව්‍ර කරයි. මට දැනෙන විදිහට එහි යටි පෙළ අරුත විරහවයි. සඳ ඇත්තේ දුර ඈත ආකාසයේය. එය හිමි කරගන්නට අතපොවන්නටවත් බැරි තරම් දුරය. ඇතැම් විටෙක පෙමෙන් බැඳෙන්නන්ද එසේය. ඔහු හෝ ඇය හිඳින්නේ ළංකර ගන්නවත් බැරි දුරිනි.

එවන් විටෙක හිත සනසා ගන්නවා හැර වෙන කරන්නට දෙයක් නැත. නමුදු ඒ අවිහිංසක පැතුම හැමදාමත් සිත යට සැඟව තියේය. අප පවසන්නේ ගීතය අපට දැනෙන ලෙසිනි. නමුදු මෙහි පද රචකයා පවසන්නේ මෙවැනි අදහසකි. ඔහු වෛද්‍යවරයෙකි.

කාර්යය බහුල ජීවිතයෙන් මිදුණූ මොහොතක දුමින්ද ගේ සිතේ ' දුරින් ඉඳන් බලා ඉඳිමි ' පද නිර්මාණ වූයේ මෙලෙසිනි.

‘‘දවසක් රෑ දහයට එකොළහට විතර මම නිවෙසේ බැල්කනියට වෙලා හිටියේ. එදා හරි අපූරුවට හඳ පායලා තිබුණා. බොහෝම පැහැදිලි අහසක් දකින්න තිබුණේ . වලාකුළු ඇදි ඇදී යනවා. ඒ දර්ශනය හරිම අපූරුයි. ඇදී ගෙන එන වලාකුළු එන වේගයටත් වඩා මගෙන් බොහෝ ඈතට යනවා.

පළමුවැනි පද ටික මගේ සිතේ ලියැවුණේ ඒ මොහොතෙමයි. ටික දවසක් ගියා. ඉන් පස්සේ කිහි දවසකට පසුව තමයි ඉතිරි පද ටික ලියැවුණේ. ආදරය විරහව අපේ ජීවිත වලට බද්ධයි. ඒ හැම දෙයක් ගැනම හිතලා තමයි ඉතිරි පද ටික ලිව්වේ. මම දර්ශන මල්ලිට මේ පද ටික පෙන්නුවා.

ඔහු බොහෝම හොඳ තනුවක් නිර්මාණය කළා. තනුවත් සමඟ මේ පද ටික අහනකොට මට හිතුණේ මෙය සුනිල් එදිරිසිංහ මහත්මා ගයනවා නම් හොඳයි කියලා. දර්ශනටත් එයම හිතිලා තිබුණා. අපි මේ බව කිව්වාම සුනිල් එදිරිසිංහ මහතා බොහොම කැමැත්තෙන් එය ගයන්න භාර ගත්තා.”

සඳට පෙම්බැඳි, නිර්මාණකරුවකුගේ සොඳුරු පද රචනාවක අසිරියයි ඒ.  

Comments