“එයා ඉප­දිලා ඉන්න බව මට දැනෙ­නවා” | සිළුමිණ

“එයා ඉප­දිලා ඉන්න බව මට දැනෙ­නවා”

මනෝ විද්‍යාඥ කණ්ඩායම චම්පා කුමරිය ගේ කතාව ඇසීමෙන් පුදුමයට පත්වූහ. අවුරුදු දහස් ගණනක් තිස්සේ දරුවන්ට නම් තබා ඇත්තේ කුල ගෝත්‍ර අනුවය. ඉන්දියාවේ සම්ප්‍රදායන් අනුව, ජ්‍යොතිෂ්‍ය අනුව ගැහැනුන්ට, පිරිමින්ට නම් තබා ඇත. නිද්‍රාවට පත්ව සිටින කුමරිය පවසන්නේ ඉන්දියාවට ආවේණික නමක් නොවේ. බටහිර ජාතීන් ගේ සංක්‍රමණය නිසා කිතු දහම ව්‍යාප්ත විය. සාන්තුවරියනගේ නම්, අගට මුලට ක්‍රිස්තු නම් යොදන අවස්ථා ඇත. එහෙත් ‘රන්මලී මැණිකේ’ නම කුමන රටක කුමන ජාතියකට අයත් නමක් ද යන්න ‍තේරුම් ගැනීමට තවත් තොරතුරු විමසිය යුතුය.

“තමුන්ගෙ නම මොකක්ද කිව්වෙ?” ම‍නෝ වෛද්‍යවරයා යළිත් ඇසුවේය.

“දැන් මම කිව්වෙ. මම ‘රන්මලී මැණිකේ.”

“ගැහැනු ළමයෙකුට නමක් තියෙනකොට කුලය, ආගම සැලකිලිමත් වෙනවා.”

“මම සිංහල බෞද්ධ. ඒ දවස්වල මම ඉගෙන ගත්තෙ නුවර බෞද්ධ බාලිකාවෙ.”

පරීක්ෂකවරු එකිනෙකාගේ මුහුණු බලාගත්හ. මැය නිද්‍රාවෙන් පවතිද්දි දැනගත යුතු තවත් තොරතුරු ඇත.

“නුවර තියෙන්නෙ කොහෙද?” වෛද්‍යවරයෙක් ඇසුවේය.

“මගෙ මවු රට ලංකාවයි. මම ඉපදුණේ කන්ද උඩරට මැදමහනුවර.”

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී ඉතිහාසය වියයක් ලෙස අධ්‍යයනය නොකළත් ලංකාව පිළිබඳව කතා කිරීමෙන් තොරව ඉන්දීය ඉතිහාසය කතා කළ නොහැකිය. රාමා සීතා කතාව නොදත් ඉන්දීය ජාතිකයෙක් නැත. රාවණා සීතා පැහැ‍රගෙන ඒමේ කතාව ජනශ්‍රැතියේ විවිධාකාරයෙන් දැක්වෙයි. ඉන්දියාවේ ස්ථානගත වූ යුරෝපීය ජාතීහු ශ්‍රී ලංකාවට බලපෑම් කළහ.

නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණි ආර්යයෝ ජනපද පිහිටුවා ගත්හ. එළාර යුගය, උත්තර භාරතීය ආක්‍රමණ, ශ්‍රී වික්‍රම රාජසිංහ යුගයේ දමිළ බලපෑම් වශයෙන් හැම යුගයක ම ලංකාවට ඉන්දීය බලපෑම් සිදුව ඇත.

“ශ්‍රී වික්‍රම රාජසිංහ නායක්කර් රජ්ජුරුවො පන්නල ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍ය දෙන්න අදිකාරම්වරු කුමන්ත්‍රණය කළා.”

“අපේ අප්පච්චිලා රට පාවා දෙන්න කුමන්ත්‍රණය කරපු අයගෙන් පැවැතෙන්නෙ නෑ. අපි නියම උඩරට කුල කාන්තාවො.”

ඇය කතා ‍කළේ අමුතු උද්යෝගයකින් යුතුවය. මෙය ලෙහෙසියෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව ම‍නෝ විද්‍යාඥයන්ට හැඟී යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. මනුෂ්‍යයන් ගේ සිතේ තියෙන දේ පැවසීමට හැකි අධිමානසික තත්ත්වයක් සාමාන්‍ය කෙනකුට ලෙහෙසියෙන් පිහිටන්නේ නැත. ඇ‍ෙමරිකානු ජාතික එඩ්ගා කේසි විසින් තවත් පුද්ගලයකුගේ සිත් කියවීමට ඇති හැකියාව පිළිබඳ පළකරන ලද අදහස ලෝකය පුරා පැතිර ගියේය.

චම්පා චට්ටෝපාධ්‍ය පවසන කතාවලින් හැ‍ඟෙන්නේ පුනරුත්පත්තිය පිළිබඳ ප්‍රකාශයක් කරන බවය.

බුදු දහම හැර වෙනත් ආගම්වල පුනර්භවයක් පිළිබඳ සාකච්ඡා වන්නේ නැත. නිද්‍රාවට පත්ව ඇය පවසන්නේ ඇගේ පූර්ව ආත්ම භවය පිළිබඳ කතාවක් බව සැවොම තේරුම් ගත්හ. අතීත භවයේ ඇය රන්මලී මැණිකේ නමින් ලංකාවේ ඉපිද ඇති බවට ඇය කරන ප්‍රකාශය බැහැර කරලීමට පුළුවන්කමක් නැත.

මෙය කලකට පසු තමාට රචනා කළ හැකි හොඳ පරීක්ෂණ වාර්තාවක් බව ප්‍රතාප්සිංට වැටහිණි.

රාම් මෝහන් යුවළ දුව දෙස බලා සිටියේ පුදුමයෙන් යුතුවය. ජීවිතයේ කිසිදාක මෙවන් කතාවක් අසා නැත. බෙංගාලයේ සම්ප්‍රදායික පැරැණි චාරිත්‍ර නොවෙනස්ව පවත්වතී. ‘චෝට්සි මුලාකාත්’ නම්වූ බාල වයස්කාර විවාහ ක්‍රම තවමත් පැවැතෙයි. චම්පා කුමරියට එවන් යෝජනාවක් නාවේ ඇය රාජකීය පෙළපතකින් පැවැතෙන හෙයිනි. බාලකාලයේ සිටම ඇගේ හැසිරීමේ වෙනසක් මාපියන් හඳුනා ගත්හ. ‍

උපතින් ලද අද්භූත බලය මෝහනයට පත් කළ අවස්ථාවේ පැහැදිලි කරගත්හ.

“මේ බටහිර බෙංගාලයේ තවමත් බාල කාලයේදී කෙරෙන විවාහ තියෙනව. මෙච්චර වයස් ගත වෙලත් ඇයි රන්මලී කුමරි විවාහ වුණේ නැත්තෙ” මහාචාර්යවරයා ඇසුවේය. එක්වරම පිළිතුරක් නොදුන් ඇය සිනාවකින් මුව සරසා ගත්තාය.

“මම කවදාහරි විවාහ වෙන්නෙ පූර්ව ආත්මයක ඉඳන් පතාගෙන ආපු තැනැත්තා එක්කයි.”

“ඒ තැනැත්තා කවුද කිව්වොත්”

“මම විවාහ වෙන්න ඉන්න කෙනා දැන් ඉපදිලයි ඉන්නෙ”

“ඒ බව දන්නෙ කොහොමද?”

“එයා ඉපදිලා ඉන්න බව දන්නවා. මට දැනෙනවා.” ඈ කීවාය.

* * *

නීලක තවමත් ජීවත් වන්නේ දෙමාපියන් සමඟය. දුම්රිය රියැදුරකු මෙන් සේවය කළ නීලකගේ පියා වන ජිනදාස හේරත් දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළත් ඔහු වැඩි ඇල්මක් දැක්වූයේ ගොවිතැනටය. බොල්ලත, තිබ්බටුගොඩ, අකරවිට, මාකිලංගොමුව, උඩුගම්පළ කලෙක සරුසාර ලෙස වී වගා කළ ගොවි බිම්ය.

උඩුගම්පළ රාජධානිය කොට කෝට්ටේ සාමන්තයෙකු ලෙස රජ කළ සකල කලා වල්ලභ රජ දක්ෂ ගොවියෙකි. මාවී, කුරුලු තුඩ, රත්ඇල්, ඇල්වී, පච්චපෙරුමාල් වී දෙකන්නයේ වගා කර රට සහලින් ස්වයංපෝෂිත කිරීමට උර දී ඇත. එහෙත් අද ඒ කුඹුරු මඩ වගුරු බවට පත්ව ඇත.

නීලක සුවිශේෂ තරුණයෙකි. ඔහු උදේ සිට රාත්‍රිය වන තෙක් මේ කුඹුරු යාය දෙස බලා සිටිනවා විනා කිසිම දෙයක් ‍ෙනාකරයි. ගත කළ ජීවිතයේ ඔහු වෙතින් කිසිම දක්ෂතාවක් ප්‍රකට වී නැත. ඉගෙන ගත්තා හැර අන් අයෙකු පරයා ඉහළට යන කුහකකමක් ඔහුට තිබුණේ ද නැත.

ජිනදාස හේරත් තම පුතාගෙන් මීට වඩා දියුණුවක් අපේක්ෂා කළේය. ජූඩෝ, කරාතේ වැනි ක්‍රීඩා කිරීමේ ශක්තියක් ඇත්තෙකි. ගීත ගැයීමේ හැකියාවක් ද ඇත. ටී.ඇම්, ආත්මා, මහේන්ද්‍රකපූර්, ක්‍රිෂෝර් කුමාර්, මොහොමඩ් රාෆි වැනි ගායකයන්ගේ ගීත ස්වරස්ථාන පිහිටුවා ගැයීමට හේ දැන සිටියේය. එහෙත් ඔහු සිටින්නේ කිසි දේක උනන්දුවක් නැති උදාසීන තැනැත‍්තෙකු ලෙසිනි. පන්තියේ ගුරුවරුන් පැවසුවේ නීලක විශේෂිත පුද්ගලයෙකු බවය. කැපී පෙනෙන වෙනසකට තිබුණේ ඔහු ආගමට දහමට දැඩි ඇල්මක් දැක්වීමය. කාගෙවත් පෙලඹවීමක් නැතිව හේ හැම පෝය දවසකම සිල් සමාදම් වුණේය. වැඩිහිටියෝ මේ වෙනස පිළිබඳව සාකච්ඡා කළහ. ඉගෙනීම පිළිබඳකැපී පෙනෙන දක්ෂතා නොදැක්වූවත් හැම දෙයක් ම සාමාන්‍ය පරිදි කළේය. මෑතක සිට දෙමළ භාෂාව විෂය නිර්දේශයට ඇතුළු කර තිබුණේ ජාතික අවශ්‍යතාවක් මතය. දෙමළ කතා කරන්න ඉගෙන ගත්තේ ඔහු කිසිවෙකුගේ සහායක් නැතිවය.

තරුණ වයසේ පසුවන වෙනත් පිරිමින්ගේ චර්යාවන් හාත්පසින් වෙනස්ය. ඔවුන් ක්‍රීඩා, සංගීතය, නර්තනය වැනි ක්‍රියාවල යෙදීම ස්වාභාවිකය. ඇතැම්හු පෙමින් බැ‍ඳෙති. ඒවා තද බල වැරැදි ලෙස කිසිවෙක් නොසලකති. එහෙත් නීලක මේ පිළිබඳව උනන්දුවක් දක්වන බවක් නොපෙනෙයි. ඔහු චිත්‍ර ඇඳීම පිළිබඳ උනන්දුවක් දක්වයි. ඔහු කාමරයේ සිට එක් ගැහැනු රූපයක් අඳින්නේ කලෙක සිටය. එය සිංහල නොවන, නළලේ තිලකය තැබූ කාන්තා රුවකි. මැය කවුරුද?

 

ලබන සතියට

Comments